මහනුවර භීතිය වපුරන අම්පිටිය පාතාලය

741

සා.පෙ. ඒ 9ක් ගත්ත සිසුවෙක්ට ගිනි තබයි

දළදා හේවිසි හඬ ඇසෙන මානයේ පිහිටි අම්පිටිය ප්‍රදේශයේ දී මෑත කාලයේ සිදු වූ බිහිසුණු හා දරුණුතම සිද්ධීන් කිහිපයකි. නිවසට පැන ධනවත් කාන්තාවක් කපා කොටා මරා දැමීම, කුරුසයක හැඩයට ඇති ලීයක තබා පුද්ගලයකුට ඇණ ගසා දරුණු ලෙස තුවාල සිදු කිරීම ඉන් කිහිපයකි.

ඉකුත් සතියේ සිදු වූයේ සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ හයක් බී සාමාර්ථයක් සහ සී සමාර්ථයක් ලබාගත් දරුවකුගේ ඇඟට භූමිතෙල් දමා පුළුස්සා දැමීමේ අන්ත කටුක සෝචනීය බිහිසුණු සිදුවීමය.

මේ සිදුවීම් මාලාව වළක්වාලීම පිණිස පොලිසිය හෝ වගකිවයුතු ආයතන මැදිහත් වූයේ නම් මේ දරුවාගේ ජීවිතයේ අවදානම පහව යන්නට තිබිණි. අම්පිටිය මීකණුව ප්‍රදේශයේ දී මෙම පාසල් සිසුවා මහ රෑ මහ මගදී තම පියාට සිදුවන්නට ගිය දරුණු ප්‍රහාරය වළක්වාලනු පිණිස ඉදිරියට පැන ඇත.

පියා ආරක්ෂා කර ගැනීමට යෑමේදී වූ අකරතැබ්බය තමාගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියට මුහුණ දීමට සිදු වීමය. මෙම සිදුවීම එම ස්ථානය අසළ නිවසක සී.සී.ටී.වී. කැමරාවක පටිගතව තිබූ අතර එහි දර්ශන පොලිසිය භාරයට ගෙන තිබේ. සිද්ධියට අදාළව ගම්වැසියන් භීතියෙන් ඇලලී සිටින බවට ලද තොරතුරු මත එම තත්ත්වයන් සමනය කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ඇතුළු මහනුවර පොලිසියේ කණ්ඩායමක් ඉකුත් දා එම ග්‍රාමයට ගියහ.

සැකකරු ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කණ්ඩායමක් ප්‍රදේශවාසීන් බිය ගන්වමින් කප්පම් ගැනීම්, බැන තර්ජනය කිරීම්, පහර දීම් සිදු කරන බවට ලැබුණු පැමිණිලි මත අදාළ පොලිස් කණ්ඩායම අම්පිටිය මීකණුව ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසීන් හා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූහ.

එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ජනතාවගේ ප්‍රශ්න විමසමින් ගම්වැසියන්ට කිසියම් තර්ජනයක් ඇත්නම් ඉදිරියට ඒ සම්බන්ධයෙන් බියක් සැකක් ඇති කර නොගන්නා ලෙස ද දැන්වීය.

මෙම අවස්ථාවට පවුල් තුන්සියයක් පමණ සහභාගි වී ඇති අතර සමෘද්ධි නිලධාරී ග්‍රාම නිලධාරී ඇතුළු සියලුම නිලධාරීන් හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ මෙම පිරිස් කිසියම් ආදායම් මාර්ග උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් සඳහා යොමු කරන ලෙසයි. තවදුරටත් තරුණ කොටස් මත්ද්‍රව්‍ය මත්කුඩු ඇබ්බැහිවීම් සඳහා යොමුවී ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා වහා පොලිසියට දැනුම් දෙන ලෙස ද ඔහු දන්වා සිටියේය.

මොහු කඩු පොලු රැගෙන රාත්‍රී කාලයේ මග රැක සිට විවිධ පුද්ගලයන් බිය ගන්වා මුදල් පැහැර ගැනීම් සිදුකර තිබෙන බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ. මහනුවර අම්පිටිය පල්ලේගම පදිංචි මලින් නිසංසල නොහොත් පැතුම් මේ කතාවේ ප්‍රධාන සැකකරුය. ඔහු දහනම වතාවක් සැකකරුවකු ලෙස මහනුවර පොලිසියට ඉදිරිපත් කළ අයෙකි. ඒ සෑම අවස්ථාවකදීම ඇප මත නිදහස්ව නැවත ගමට ගොස් ගම් වැසියන් බිය ගන්වා තමන්ට රිසි පරිදි ජීවත්ව ඇති අයෙකි.

සිසුවාට භූමිතෙල් දමා ගිනි තැබීමට පෙර මේ කියන පුද්ගලයා රටම කලඹන වැඩ රැසක් කර ඇත්තෙකි. ඉන්ධන හිඟය පැවැති සමයේ මොහු ප්‍රදේශයේ ත්‍රිරෝද රථ හා යතුරුපැදි නවතා ඒවායෙහි රියැදුරන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ඉන්ධන පවා ලබාගත් බව ජනතාව ප්‍රකාශ කරති.

දාමරික චරිතයක් වීමට නම් ඔහු මානසික රෝගියෙක් ද විය යුතුය. ඒ සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ හිටපු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, මෙවන් පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතයේ අත්දැකීම් සමග මානසික ව්‍යාධීන්ට ගොදුරු වන බවයි. පලිගැනීම් ප්‍රකෝපකාරී හැසිරීම් තර්ජන කිරීම් සහ බිය වැද්දීම් යන අයහපත් හැඟීම් මතු කරන පුද්ගලයන්ගේ ජීවිතයේ අත්දැකීම් ඉතා කටුක සහ දරුණු විය හැකි බවද වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

එය සැබෑවක් විය හැකිය. පැතුම්ගේ අතීතය අන්ධකාරය. ඔහුගේ පියා ඉදිච්චා ලෙස මහනුවර නගරයේ ප්‍රකට ය.

ඉදිච්ච මධ්‍යම වෙළෙඳපොළ ආසන්නයේ පලතුරු වෙළෙඳාමේ නිරත වූවෙකි. ඔහුගේ පසුබිමෙහි මහනුවර පලතුරු වෙළෙන්දන් එළවලු වෙළෙන්දන් මස් වෙළෙන්දන් සේම විවිධ ව්‍යාපාරිකයන් සිටී. විවිධ කාලවලදී විවිධ අවස්ථාවලදී ඉදිච්ච ගේ හාම්පුතා වූයේ පලතුරු වෙළෙඳාමේ යෙදෙන ප්‍රධානීන් ය. එක් අවස්ථාවක ඔහුගේ බලවතා වූයේ ටෝනි අයියා ය. එතැන් සිට ඔවුන්ගේ ජීවිත කතාව වෙනතකට යොමුව තිබිණි. ඕනි අයියත් ඉදිච්ච බිරිඳ අතර ඇතිවූ සම්බන්ධතාවේ අතුරු ඵල ලෙස ඒ සම්බන්ධතාවය දුක්ඛදායී සිදුවීම්වලට දූ දරුවන් ද සම්බන්ධ වී සිටියහ. මේ සියල්ල සිදුවූයේ පැතුම් ගේ දෑස් ඉදිරිපිට දීය. පාලනය ගෙනිච්ච ටෝනි අයියාගේ දරුණු බලපෑමට නතුව සිටියේත් කෙටි කලකින් ඔහුගේ ඉවසීමේ කට්ට පැන්නෙ අහම්බයෙන් නිවසේ සිදු වූ සිදුවීමක දී ය.

ඉදිච්චා හෙවත් පැතුම්ගේ පියා ටෝනි අයියා මරා දැමුවේ මහනුවර නගරයේ මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට දීය. ටෝනි අයියා වටා සිටි මධ්‍යම වෙළෙඳපොළේ බලවත්තු මේ මිනීමැරුම හරහා ඉදිච්ච සමඟ වෛර බැඳගත්හ. වෛරයේ ගිනිදලු ඉදිච්චා වටා එතී වෙලී ගියේ හොර රහසේය. මේ වන විට මධ්‍යම වෙළෙඳපොළේ වැඩ කාරයන් ලෙස සිටි සුදු මල්ලීද ඉදිච්චා ගෙන් පළි ගැනීමේ සැලසුමට එක්ව සිටියේය. ඒ පලිගැනීම දළු ලා වැඩෙමින් මධ්‍යම වෙළෙඳපොළේ පලතුරු කාමරයකට දමා පහර දී කපා කොටා ඉදිච්ච ඝාතනය කෙරුණේ දැනට වසර දහයකට පමණ උඩදීය.

ඒ වන විට ඉදිච්ච ගේ පුතා වන පැතුම්ගේ වයස අවුරුදු පහළොවක් දහසයත් අතර විය. ඔහු මේ සියලු කටයුතු දෙස බලා සිටින්නේ සිය පියාට අත්වන දරුණු ඉරණම සිතේ දරාගෙනය. පියාගේ මරණයෙන් පසු පැතුම් ගේ එකම අරමුණ පියා මැරූ මිනීමරුවන් නො මරා මරා දැමීමය.

වයස අවුරුදු 20 ඉක්ම වූ තැන සිට පැතුම් දාමරිකයකු ලෙස ප්‍රදේශයේත් මහනුවරත් කටයුතු කරන්නට අරඹන්නේ මේ සියල්ල හරහා ය. පැතුම්ට තවදුරටත් ඌණ පූර්ණ සපයන්නේ ඔහු හරිහැටි දඬුවමක් නොලබා සිටීමය. පැතුම්ගේ මේ ක්‍රියාකාරකම් අපරාධකරුවකුගේ ක්‍රියාවන්හි පමණක් දකිමි, ඔහු ඉන් මුදවා ලන්නට මේ රටේ කවුරුත් සමත් වූයේ නැත. වසර දහයක කාලයක් තිස්සේ ඔහු හිංසාකාරී පීඩාකාරී ම්ලේච්ඡ ක්‍රියාවන්හි නිරතවෙමින් දිගින් දිගටම ජනතාව තලා පෙළා දමන විට ඔහුව පාලනය කරන්නට කිසිවකුත් මහනුවර සිටියේ නැත.

අහිංසක දරුවකු පිළිස්සී යන තෙක්ම කාගෙවත් දෑස් ඇරුණේ නැත. භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පැතුම් ලබන දෙසැම්බර් 12 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මහනුවර මහෙස්ත්‍රාත්වරයා මහනුවර ජාතික රෝහලට පැමිණ නිරීක්ෂණය කර ඉන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ පැන යෑමට උත්සාහ ගනිද්දී පාදවල’ අස්ථි බිඳුමක් සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා පවසයි. ඒ හේතුවෙන් සැකකරු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මහනුවර ජාතික රෝහලේ 24 වැනි වාට්ටුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

පිළිස්සුම් තුවාල ලත් සිසුවාද මහනුවර ජාතික රෝහලේ දී සැත්කමක් සිදුකර තිබෙන අතර මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බව වෛද්‍යවරු පවසති. දැන් මේ සිදුවීම සිදු වී අවසන් ය.

මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සියලු සැලසුම් දියත් කොට තිබුණි. ඉදිරියටද කළ යුත්තේ යළි මෙවන් සිදුවීම් සිදු වීම වළක්වාලීම ය. පොලිසියේ පරම රාජකාරිය විය යුත්තේ කිසියම් වෙච්ච සිදුවීමක් සිදුවී පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන වරද කරුවන්ට දඬුවම් කිරීම නොව යමක් සිදුවීමට පෙර වළක්වාලීමය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment