මහනුවර විද්‍යාර්ථ සහ ධර්මරාජ, කොළඹ රාජකීය සහ ඉසිපතන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරයි

209

ඩයලොග් ලීග් ශූරතා පාසල් රග්බි තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ඩයලොග් ලීග් ශූරතා පාසල් වයස අවුරුදු 20 න් පහළ රග්බි පාපන්දු තරගාවලියේ 05 වැනි සති අන්තයේ තරග ආශ්‍රිතව ජයග්‍රහණ සටහන් කර ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විණි.

මෙවර ආරම්භක සතියේ සිටම ජයග්‍රහණ සටහන් කර ගනිමින් පෙර ගමනක නිරත වන කොළඹ ඉසිපතන විදුහල තම අපරාජිත බව සනාථ කර ගැනීමට සමත් වීම මෙම සති අන්තයේ දක්නට ලැබුණු විශේෂත්වය විය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 26 – 12 ක පහසු ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් ප්‍රමුඛ පෙළ 2 කාණ්ඩයේ දී තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන්ට හැකි වූහ.

ඉසිපතන විදුහල ගෝල් දිනුම් 03 ක් සහ එක් උත්සාහක දිනුමක් මගින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත ධර්මරාජ පිලේ ලකුණු එකතුව ගෝල් දිනුමක් සහ එක් උත්සාහක දිනුමක් ආශ්‍රිතව සටහන් විණි.

ප්‍රමුඛ පෙළ 1 කාණ්ඩය තුළ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි කොළඹ ශාන්ත ජෝශප් විදුහලට මෙම සති අන්තයේ දී පරාජයේ අමිහිරි රස අකැමැත්තෙන් වුවද පානය කිරීමට සිදු විය.

මෙම තරගයේදී රාජකීය විදුහල ලකුණු 17 ක් සටහන් කර ගන්නා අතර වාරයේදී ශාන්ත ජෝශප් විදුහලට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 03 ක් පමණි.

රාජකීය පිල තම ලකුණු එකතුව ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුම් 02 ක් ආශ්‍රිතව සටහන් කර ගත් අතර ශාන්ත ජෝශප් පිල දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගත්තේය.

පාසල් රග්බි පාපන්දු ලීග් ශූරතාව අවස්ථා කිහිපයකම දිනා ගනිමින් කැපී පෙනුණු මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 53 – 06 ක දැවැන්ත ජයග්‍රහණය සටන් කර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් වීම ද මෙම සතියේ විශේෂත්වයක් ගත්තේය.

ගෝල් දිනුම් 04 ක් සහ උත්සාහක දිනුම් 05 ක් වාර්තා කර ගැනීමට ත්‍රිත්ව පිල සමත් වන අතර වාරයේ දී කිංග්ස්වුඩ් පිලට සාර්ථක කරගත හැකි වූයේ දඬුවම් පහර 02 ක් පමණි.

තියුණු තරගයකින් අනතුරුව ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කිරීමට මහනුවර විද්‍යාර්ථ විදුහලට හැකි විය. ඒ ලකුණු 13 – 09 ක් ලෙස පෙරමුණ ගනිමිනි.

උත්සාහක දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් විද්‍යාර්ථ පිල තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිතව පිලේ ලකුණු එකතුව දඬුවම් පහර 03 ක් ආශ්‍රිතව සටහන් වුණි.

ලකුණු 17 – 17 ක් ලෙස සම තත්ත්වයක පසු වන්නට වෙස්ලි සහ ශාන්ත පීතර දෙවිදුහලට හැකියාව ලැබුණේ තවත් තියුණුම තරග නිමාවක් ද සටහන් කරමිනි. ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුම් 02 ක් ආශ්‍රිතව ශාන්ත පීතර පිල ද ගෝල් දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් ආශ්‍රිතව වෙස්ලි විදුහල ද තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment