මහනුවර සහ හැව්ලොක්ස් ජයග‍්‍රහණ ලබති – අන්තර් කී‍්‍රඩා සමාජ ලීග් රග්බි තරගාවලිය

151

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක අන්තර් ක‍්‍රීඩා සමාජයීය ලීග් ශුරතා පිරිමි රග්බි පාපන්දු තරග මාලාවේ ආරම්භක සතියේ ජයග‍්‍රහණ සටහන් කර ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සමත් විය.

ඉකුත්වර ශූරතාව තහවුරු කර ගැනීමට සමත්වී සිටින මහනුවර ක‍්‍රීඩා සමාජය හමුවේ ගුවන් හමුදාව ද හැව්ලොක්ස් සමාජය හමුවේ නාවික හමුදාව ද ඒ අනුව පරාජය ලැබීය.

සී. ආර් ඇන්ඞ් එෆ්. සී. පිල සහ යුද හමුදාව අතර පැවති තරගය තියුණු මුහුණුවරක් උසුලමින් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඉරිදා (24) ආරම්භ කිරීමට නියමිතව තිබුණු සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ පොලිස් පිල අතර තරගය ඉදිරි දිනක දී පැවැත්වීමට තීරණය කර තිබේ.

සැලසුම් කර තිබුණු පරිදි මෙවර තරගාවලිය නියමිත දිනම ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබීම කැපී පෙනුණි. නිල අනුග‍්‍රාහක ආයතනයක් නොමැතිව මෙවර ලීග් ශූරතා තරගාවලියට මුල පුරා තිබීම ඒ අතරේ විශේෂයකි.

සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. 16

යුද හමුදාව 16

යුද හමුදාව සහ අගනුවර සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. යන දෙපිල අතර කොළඹ හැව්ලොක් පිටියේදී පැවති සමාරම්භක තරගය ලකුණු 16 – 16 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

තරගය ඇරඹී ප‍්‍රථම භාගය අවසානයේදී ලකුණු 16 -06 ක් ලෙස පෙරමුණේ පසු වන්නට සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලට හැකි වුවද දෙවන භාගය පුරා වැඩි ගෞරව අත් කර ගනිමින් ලකුණු තත්ත්වය 16 – 16 ක් ලෙස සම කිරීමට යුද හමුදා ක‍්‍රීඩකයන් සමත් වීම කැපී පෙනුණි.

උත්සාහක දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් මගින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගන්නට යුද හමුදාව සමත් වූ අතර සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. කණ්ඩායමේ ලකුණු එකතුව උත්සාහක දිනුම් 02 ක් දඬුවම් පහරක් සහ එක් ඩ්‍රොප් ගෝලයක් මගින් වාර්තා වුණි.

යුද හමුදාව වෙනුවෙන් කැපී පෙනුණු තිරූෂ අධිකාරම් 01සහ චලික සදරුවන් 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර තරිඳු හෙට්ටිආරච්චි ඩ්‍රොප් ගෝලයක් මගින් හා ගයාන් සාලින්ද දඬුවම් පහරක් මගින් ලකුණු පුරුව ඉහළ නංවා ගත්තේය.

සී. ආර්. ලකුණු පුවරුව ඉහළ නැංවූ

කාංචන රාමනායක 01 සහ සුපුන් වර්ණකුලසූරිය 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කර ගත් අතර කවිඳු කොස්තා ගේ පාදයෙන් දඬුවම් පහර 02 ක් නිවැරදි එල්ලයට යොමු කෙරිණි.

මහනුවර 34 ගුවන් හමුදාව 12

රත්මලාන ගුවන් හමුදා කඳවුර ක‍්‍රීඩාංගණයේදී පැවති මහනුවර ක‍්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර තරගයෙන් ලකුණු 34 – 12 ක පහසු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට මහනුවර ක‍්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 15 – 12 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නට ජයග‍්‍රාහී මහනුවර පිලට හැකි විය.

මහනුවර පිල ගෝල් දිනුම් 03 ක් උත්සාහක දිනුම් 01 ක් සහ එක් දඬුවම් පහරක් ආශ‍්‍රිතව තම ලකුණු එකතුව සටහන් කරගත් අතර පරාජිත පිලේ ලකුණු එකතුව ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් වාර්තා කර ගත්තේය.

වසරේ පළමු ජයග‍්‍රහණය මහනුවර පිල වෙත ලබා ගැනීම සඳහා ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් කැපී පෙනුණු ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර සටහන් කළ උත්සාහක දිනුම් සංඛ්‍යාව 02 කි. ඒ අනුව ගිය දමිත් දිසානායක 01 බුද්ධිම පියරත්න 01 සහ තරින්ද රත්වත්තේ 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළහ.

එහි ප‍්‍රවර්තන 03 ක් සහ එක් දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කරමින් කැපී පෙනෙන්නට තරින්ද රත්වත්තේ ට හැකි විය.

පරාජයේ අවමානය අවම කර

ගැනීමට සමත් වෙමින් ගයන්ත ඉද්දමල්ගොඩ 01 සහ පරාක‍්‍රම රත්නායක 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කිරීමට ගුවන් හමුදා පිල වෙනුවෙන් සමත්විය. එහි එක් ප‍්‍රවර්තනයක් නුවන් පෙරේරා ගේ පාදයෙන් සාර්ථක වුණි.

හැව්ලොක්ස් 21 නාවික හමුදාව 05

තම හුරුපුරුදු ක‍්‍රීඩාංගණයේ දීම ආරම්භක තරගයට අවතීර්ණ වූ හැව්ලොක්ස් සමාජය හමුවේ ලකුණු 21 – 05 ක් ලෙස පරාජය ලැබීමට නාවික හමුදා පිලට සිදු විය.

තරගය ආරම්භ වූ ප‍්‍රථම භාගය පුරා ආක‍්‍රමණශීලි ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල සමත් වූයේ ලකුණු 21 – 00 ක් ලෙසිනි.

ඒ අනුව තම කණ්ඩායමේ සියලූ ලකුණු ප‍්‍රථම භාගය තුළදීම එක් කර ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ සමත් වීම එහිදී කැපී පෙනුණි.

තම දරාගැනීමේ හැකියාව සමග උපක‍්‍රමශීලී ක‍්‍රීඩා රටාවක් අනුගමනය කළ නාවික හමුදාව දෙවන භාගය තුළදී ප‍්‍රතිවාදීන්ට එකදු ලකුණක් හෝ ලබා නොදීමට වග බලා ගැනීම ද කැපී පෙනුණි. ඒ අතර වාරයේ උත්සාහක දිනුමක් සටහන් කර ගනිමින් කැපී පෙනෙන්නට නාවික හමුදාවේ අමිත් ගුණසිංහ ට හැකි විය.

හැව්ලොක්ස් ජයග‍්‍රහණය වෙනුවෙන් උපක‍්‍රමශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ රමේෂ් ප‍්‍රනාන්දු (02) සහ අසිත පුංචිහේවා (01) බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එම ප‍්‍රවර්තන ත‍්‍රිත්වයම ගෝල් කණු අතරින් නිවැරදිව එල්ල කරන්නට සංදේශ් ජයවික‍්‍රමට හැකි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment