මහපොළොවේ අරගලයට අන්තවාදී ලේබලය ඇලවීම දැඩිව හෙළා දකිනවා – එජාප මහ ලේකම්

113

රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව සපයාදෙන ලෙස ඉල්ලමින් ජනපතිවරයාගේ මිරිහාන නිවස ඉදිරිපිට පැවැත්වූ මහපොළොවේ අරගලයට අන්තවාදී ලේබලය ඇලවීමට රජය ගන්නා නිර්ලජ්ජිත උත්සාහයට සහ එම සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන්ට පහරදීම දැඩිව හෙළාදකින බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (01දා) ප‍්‍රකාශ කළේය.

සතියකට සැරයක් ආරක්‍ෂක කවුන්සිලය පවත්වමින් බුද්ධි අංශ කෙරෙහි පූර්ණව විශ්වාසය තබා ගනිමින් කටයුතු කරන ජනාධිපතිවරයා මිරිහාන අවට සිටින සිය අසල්වාසීන් අන්තවාදීන් ලෙස හැඳින්වීම දැඩි කනගාටුවට කරුණක් බව ද හෙතෙම සඳහන් කළේය.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු සහ හමුදා බි‍්‍රගේඩියර්වරයකු ද වන වත්මන් ජනාධිපතිවරයා සිය අසල්වාසීන්ව අන්තවාදීන් ලෙස හඳුන්වන්නේ නම් ඔහුට ඡුන්දය දුන් හැටනව ලක්‍ෂයකට අධික ජනතාව නුදුරේදීම ත‍්‍රස්තවාදීන් ලෙස හඳුන්වනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ එජාප මහලේකම් හිටපු ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීවේය. මේ විරෝධතාව මහපොළොවේ ජීවන අරගලයක යෙදී සිටින ජනතාවගේ පීඩනය මුදා හැරීමක්. ජනතා ප‍්‍රශ්නවලට පිළියම් යොදනවා වෙනුවට මර්දනකාරී ලෙස ක‍්‍රියාකිරීම රාජපක්‍ෂවරුන්ගේ ක‍්‍රමයක්. ඒ පිළිබඳව ඉතිහාසයේ ඕනෑතරම් සාක්‍ෂි තියෙනවා.

අද මේ රටේ පණ ඇති මිනිසකුට ජීවත්වීමට අවශ්‍ය මූලික අංග කිසිවක් සැපයීමට මේ රජයට හැකියාවක් නැහැ. දිනපතා සියල්ලේහිම මිල ඉහළ දමනවා. රජය අසරණ ජනතාවගෙන් පළිගන්නේ කුමන හේතුවකටද කියා කිසිවකු දන්නේ නැහැ. ජනපති, අගමැති, මැති ඇමැති සැප විඳිමින් සිටිත්දී දුක විතරක් ජනතාවට උරුම කරලා. අද මිරිහානේ, හෙට රටේම ජනතාව මේ දුක පිට කරන්නේ කොතනදී ද? රටේ ජනතා ගැටලූ විසඳනවා වෙනුවට මර්දනය ක‍්‍රියාත්මක කිරීම අපි දැඩිව හෙළා දකිනවා.

ජනපති නිවස අසල පැවැත්වූ මේ අරගලයට පැමිණි මිරිහාන ජනතාව අත කැති, මුගුරු, කඩු, පොලූ තිබුණු බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන නිකුත් කළත් සමාජ මාධ්‍යවල හෝ පුද්ගලික රූපවාහිනී නාලිකා කැමරාවල එවැන්නක් නොතිබීම කාගේ කුමන්ත‍්‍රණයක් ද කියලා අහන්න කැමතියි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment