මහපොළොවේ බලයක් නැති රනිල් මර්දනය පටන් අරන් – අනුර දිසානායක

188

මහ පොළොවේ බලයක් නැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විරුද්ධවාදීන්ට එරෙහිව රටේ දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21 වැනිදා) පැවසීය.

මේ වන විට එහි මූලික පියවර ගෙන ඇති බවත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නේ ඒ අනුව බවත් හෙතෙම කීවේය.

මහ පොළොවේ බලයක් නැති සෑම පාලකයකුගේම අවසන් අපේක්ෂාව හමුදා මත යැපීම බව සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් නැති සෙනෙහසක් ආරක්ෂක අංශය වෙත දක්වන්නේ ඒ අනුව යැයි ද කියා සිටියේය. ආණ්ඩුව දියත් කරන කවර ආකාරයේ මර්දනයක් හමුවේ වුවද ජනතා අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සියලු පියවර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් ගනු ලබන බවත් මර්දනයන් හමුවේ හිස නැමීමට සූදානම් නැති බවත් හෙතෙම සඳහන් කළේය.

ජනතාව පන්නා දමා අඬු කඩා දැමූ රාජපක්ෂ පවුල් බූවල්ලා තවම පාර්ලිමේන්තුවේ සිටින බවත් පාර්ලිමේන්තුවේ ඇති එම බූවල්ලාගේ අවසන් අඬුවත් කඩා දැමීමට ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් ම කටයුතු කරන බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21 වැනිදා) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment