මහමග මගහැරෙන මහගම සේකර

1221

මහගම සේකරයන්
මියගොස් අදට වසර හතළිස් හතකි.
මීට වසර හතළිස් හතකට පෙර ඔහු මියගියේ
මෙසේ ලියා තබමින්ය.

මහමග මගහැරෙන මහගම සේකර

තවමත් ඒ “වඩා යහපත් දිනය” උදාවී නොමැත. තවමත්, මහගම සේකර ලියූ කවිය ඔහු බලාපොරොත්තු වූ අයුරින් ම අපට වැටහෙන්නේ යයි අනුමාන කළ නොහැක. අපි මහගම සේකර ලියූ දෑ රසවිඳ ඇත්තෙමු. හෙටටත් අපට ඒ කවි රසවිඳිය හැක්කේ ය. ආදරයෙන් කියවිය හැක්කේ ය. නමුත් ඒ කවි වටහා ගැනීම අපට කළ හැකිවනු ඇතිද? මීටත් වඩා ආදරයෙන් ඒවා කියවිය හැකිවනු ඇතිද? අපේ ජීවිත කාලය තුළ අපට ඒ කවි වටහා ගැනීමේ අවස්ථාවක් හෝ ලැබෙනු ඇති ද?

මහගම සේකර ලිවිය යුතුව තිබුණේ ලෝකය එදාටත් වඩා අයහපත් වන දිනෙක වටහාගත හැකි කවියක් නොවේදැයි මට සිතෙන වාර අනන්ත ය. මන්ද යත් මහගම සේකරගේ කවි බිහිවූයේ කවර තරමේ අයහපත් වටපිටාවක ද ඊටත් වඩා දස දහස් ගුණයකින් අයහපත් වූ වට පිටාවක් විනා යහපත් වන දිනක් ගැන ලකුණක් හෝ මේ දක්වා පහළව නොමැති බැවිනි. මහගම සේකරගේ කවිය ඔසුවක් නම් ඒ ඔසුව ඇවැසි වනුයේ යහපත් ලෝකයකට ද? අයහපත් ලෝකයකට ද? මහගම සේකරගේ කවිය පහන් තරුවක් නම් ඒ පහන්තරුවෙන් මග අසාගැනීම අවශ්‍ය වනුයේ යහපත් ලෝකයකදී ද, අයහපත් ලෝකයකදී ද? මේ මා නිරන්තරයෙන් පෙළන, අසාධාරණ ප්‍රශ්න ය.

සේකර එදා දුම්රියක බස් රථයක පමණක් නොව මහමග සිට ද කවි ලියුවේ ය.

“දරුවෝ නෙත් අයා විස්මයෙන්
බැලුවෝය ඔහු දෙස.
“කොහි යේ ද මේ මහතා?
පියා දෝ මේ මහතා”? (මහගම සේකර; ප්‍රබුද්ධ- පිටුව 45)

අද එදාටත් වැඩියෙන් මහමග අයිනේ දරුවෝ වික්ෂිප්ත ව සිටින බව අපි දනිමු. ඒ පිළිබද දහසකුත් එකක් පුවත් එස්එම්එස්, යූ ටියුබ් ඈ මේ දහසකුත් එකක් මාදිලි හරහා අපට දැනගන්නට ලැබේ. නමුත් තරගයේ අප දිවිය යුතු දුර විටෙක අපට නුදුරින් පෙනේ. විටෙක ඉතා දුරින් පෙනේ. අපගේ සතුරෝ විටෙක ඉදිරියෙන් සිටිති. විටෙක පසුපසින් සිටින බව අපට හොඳින්ම දැනේ. (නමුත් ඇතුළතින් සිටින බව නොදැනේ.) විටෙක ඔච්චම් කරමින් හා තවත් විටක ආඩපාලි කියමින් හෘදය සාක්ෂිය ද අපව අතරමං කරයි. මේ සියලු අලකලංචි මැද වික්ෂිප්ත ව සිටින අපට ඒ දරුවන්ගේ වික්ෂිප්තයේ ඉව දැනෙන නමුත් ඒ ඉව ඔස්සේ හඹා යන්නට අපට වෙලාවක් නැති තරම් ය. ඒනිසා ම අප උත්සාහ කරනුයේ ඉන් ඈත්ව සිටින්නට ය. ඒ නිසාම ඒ දරුවන් දෙස තවමත් බලා සිටින මහගම සේකර ද මට නොපෙනේ. මට තබා දරුවාටවත් මහගම සේකර නොපෙනේ.

පියාදෝ මේ මහතා? දරුවා තවමත් සිතනවා
විය යුතුය. එතෙකින් නොනැවතී,
කුඩු ගේන අයියා දෝ මේ මහතා?
කැප්ටන් ඇමරිකා දෝ මේ මහතා?
බ්ලැක් ඇඩම් දෝ මේ මහතා?
වෙස්වලාගත් මිස්ට බීස්ට් දෝ මේ මහතා?
එලෝන් මස්ක් දෝ මේ මහතා?
…….. දරුවා දිගටම සිතනවා විය යුතුය.

අවසානයේ තහවුරු වන අමිහිරි සත්‍යය නම් මටද –
දරුවාට ද මහගම සේකර – මහමග මගහැරී ඇති බවය.

මහ මග බස් නැවතුමේ ද, එතැන් සිට බස්රථයට දුම්රියට නගින අතරේ ද නැගගත් පසු ද මහගම සේකර අප අසල සිට ඇති නමුත් අපට මගහැරී ගොස් ය.

“බිම ඉන්නෝ රිය තුළට නගින්නයි
නැග ගත්තෝ අසුනක් ලැබ ගන්නයි
අසුනක් ලද්දෝ කොනක් හොයන්නයි
දඟලත් පොරකත්
ලැබුණොත් තුටුවෙත්”
(මහගම සේකර; ප්‍රබුද්ධ- පිටුව 49)

අධිපරිභෝජනවාදී නොතිත් ආසාවන්ගෙන් අසංතෘප්තව අප තරග වදිනායුරු සානුකම්පාවෙන් යුතුව මුත් තවමත් අපේක්ෂා දල්වා මහගම සේකර බලා සිටිනවා විය යුතුය. ලෝකය මිට වඩා යහපත් කරන්නට අප කුමක් කරන්නේ දැයි ඔහු බලා සිටිනවා විය යුතුය. එසේ වී, ඔහුගේ කවිය අප විසින් තේරුම් ගන්නා තුරු මහගම සේකර බලා සිටිනවා විය යුතුය. නමුත් අපට ඒ සඳහා ඉස්පාසුවක් ඇත්තේ නැත.

මම පළමුව බසයක් එනතුරු සිටියෙමි. මා බලා සිටියේ බසය පැමිණෙන දෙස විනා වටපිට නොවන හෙයින්, මා ළඟම සිටින මහගම සේකර මට මගහැරි ගොසිනි. බසය පැමිණි පසු පොරකකා බසයට නැගගන්නට තිබෙන හෙයින් මහගම සේකර මට නැවත මගහැරී ගොසිනි. මහගම සේකර මා සමග පොරකන්නට නොපැමිණි හෙයින් මට ඔහුගේ ස්පර්ශය හෝ නොලැබී ගොසිනි. බසයට නැගගත් පසු මුලින්ම නැගගත්තේ මා වූ බැවින් තවමත් බසයේ ඇති තරම් ආසන හිස්ව තිබේ. එනිසා ම මට වික්ෂිප්ත වන්නට ද සිදුව තිබේ. මා බසයට ගොඩවන තැනම එක් ආසනයක් පමණක් තිබුණේ නම් මට එවැනි වික්ෂිප්තයක් ඇති නොවේ. තත්පරයකටත් අඩු කාලයක් තුළ මා විසින් මේ තිබෙන අසුන් අතරින් හොඳම අසුන තෝරාගත යුතුව ඇති බැවින් මා දැන් සිටිනුයේ වික්ෂිප්තයේ අග්‍රස්ථයේ ය. මා ඒ හොඳම අසුන තෝරා නොගතහොත් වෙන කෙනෙකුන් විසින් එය අත්පත් කරගනු ඇත. එය පරාජයකි. හොඳම අසුන පමණක් නොව ඒ අසුනේ කොන ද මා අත්පත් කරගත යුතුය. සටන තවත් සංකීර්ණ වේ. අසුනේ වීදුරුව ඇරීමේ සහ වැසීමේ අධිකාරී බලය මා සතු විය යුතුය. එසේ නොවුණහොත් පිටුපස සිටින මගියා ඒ අධිකාරී බලය ලබාගනු ඇති අතර මුළු ගමන පුරාවට සිතින් හෝ ඔහු සමග දබර කරන්නට මට සිදුවේ. ඔහු මරන්නට තරම් කෝපයකින් ගමනාන්තය දක්වා ම පිපිරෙමින් ඉන්නට මට සිදුවේ. මේ මානසික ව්‍යාකූලතාවය අතරේ මහගම සේකර මගහැරීම ද දිගටම සිදුවේ. මන්දයත් ඔහු හොඳම අසුනට මා හා තරග නොකරන බැවිනි. ඔහු අසුනේ කොණ වෙනුවෙන් මා පරයා ඉදිරියට නොපනින බැවිනි.

අඩු තරමින් මහගම සේකර එදා මෙන් කවියක් වත් ලියන්නේ නම් මට ඔහු හඳුනාගැනීමට තිබුණි ද? ඒත් නැත. කවි ලියන කී දෙනෙක් නම් මා හට මේ වනවිට හමුව ඇත් ද? ඒ අතර කී වතාවක් මට මහගම සේකර හමුවූවේ දැයි මා දන්නේ ද? හිස් සිගරැට් පැකට් අහුලන්නන් කී දෙනෙක් මට මුණගැසී ඇත් ද? සෙනඟින් පිරීගිය දුම්රිය කීයක නම් මා තෙරපී ඇත් ද? මා අතර තෙරපෙමින් මහගම සේකර සිටියේ නැතැයි මට කිව හැකිද? මින් පැහැදිලි වන්නේ මට, මහගම සේකර – මහමග මගහැරී ඇති බව නොවේද?

මම මහගම සේකර සොයා යළි මහමගට පිවිසෙන්නෙමි. තුං මං හන්දියේ, ටීටර් මඩුවේ, බෝඩිමේ, වදන වාට්ටුවේ, මම ඔහු සොයා ඇවිදින්නෙමි. ලෝකය මීට වඩා යහපත් වන දිනය ගැන තවත් ඔහුගෙන් ම දැනගත යුතුව ඇත. ධර්මේ, කාසිම්, සුන්දරම් ද එවිට ඔහු අසල දී මට හමුවනු ඇත. මා තුළ සිටින දෙවියා ද ඔහු හමු වූ විට මා ඉදිරියේ ම ප්‍රාදුර්භූත වනු ඇත. නතරව බලා සිටින යසෝදාටත් ඒ ගමනට මා සමග එන්නැයි ඇරයුම් කළ යුතුය. එපමණක් නොව, මම ඔබට ද ඇරයුම් කරමි. අපට මගහැරුණු මහගම සේකර සොයා යමුයි මම ඔබට ආරාධනය කරමි. ඔහු අප අවටම සිටියි. ගීතයක් වන විශ්වයේ – රිද්මයක් ලෙස හමායන සුළඟක්ව ඔහු සිටියි. එන්න. අපි මහගම සේකර සොයා යමු.

නීතිඥ කපිල ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment