මහමෙරටත් වඩා ලොකුයි අම්මාගේ ආදරේ – අබ්ලික් Story

1112

මේක කුරුණෑගලට නුදුරු දුෂ්කර ගමක සිද්ධවෙච්ච සත්‍ය සිදුවීමක්. වික්ටර් රැකියාව විදිහට කළේ කසිප්පු පෙරළා විකුණන එක. වික්ටර්ගේ බිරිඳ පියවතී තමුන්ගෙ සැමියා කරන මේ කසිප්පු බිස්නස්එකට කොහොමටවත් කැමති වුණේ නැහැ.

 වික්ටර්ගෙ එකම දරුවා පාලට අවුරුදු දාහතරක්. පාල පාසල් අධ්‍යාපනයට ඒ තරම් උනන්දුවක් නැති ළමයෙක්. පුංචි කාලෙ ඉඳලම පාල තමන්ගෙ තාත්තව අනුකරණය කරන්න පුරුදුවෙලා හිටියා. යන්තම් දැනුම් තේරුම් කියන කාලෙම පාල තමන්ගෙ තාත්තව අනුකරණය කරලා බීඩි, සුරුට්ටු බොන්න පටන් ගත්තා. ඉස්කෝලෙ යනවා කියලා කට්ටි පැනලා ගම වටේ රස්තියාදු ගහලා ගෙදර එන එක පාල පුරුද්දක් විදිහට කරගෙන ගියා. පාලටම හරියන යාළුවෝ තුන් හතර දෙනෙකුත් එයාට හිටියා. පියවතී දන්න සෙල්ලං සේරම දාලා පාලට උගන්වන්න උත්සාහ කළා.

මහමෙරටත් වඩා ලොකුයි  අම්මාගේ ආදරේ - අබ්ලික් Story


අපිට වියදමට සල්ලි තියෙන්න ඕනෙ. අපිට සතපහක් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි අතට සල්ලි එන දෙයක් කරන්න ඕනෙ. අවුරුදු 14 හිටිය පාල එයාගෙ යාළුවෝ එක්ක එකතු වෙලා අතට සල්ලි එන බිස්නස්එකක් කරන්න සැලසුම් කළා. අපි කසිප්පු පෙරන්න පටන්ගමු. තාත්තා කසිප්පු පෙරණ හැටි මම පුංචි කාලෙ ඉඳලා බලාගෙන හිටියෙ. ඒක මට දැන් ලේසියෙන් කරන්න පුළුවන්. සතියකට එක වඩියක් ගහගත්තොත් අපට වියදමට ඇති.

 පාල එයාගෙ යාළුවන්ට යෝජනා කළා. යාළුවොත් වැඬේට එක පයින් කැමති වුණා. ඉස්කෝලෙට යනවා කියලා ගෙදරින් පිටවෙච්ච පාල යාළුවොත් එක්ක කැලෑවට ගිහින් කසිප්පු පෙරන්න සූදානම් වුණා.

 දවස් කීපයක් තිස්සෙ පාලගෙ වෙනස්වීම ගැන ඇහැ ගහගෙන හිටිය පියවතීට තමන්ගෙ එකම පුතාගෙ අලූත් ව්‍යාපාරය ගැන දැනගන්න ලැබුණා. ඒක දැනගත්තට පස්සෙ පියවතී මාරාවේශ වුණා. තමුසෙ කරන කාලකණ්ණිි රස්සාව අර පොඩිඑකා දැන්ම කරන්න පටන් අරන්. ඌ ඉස්කෝලෙ යනවා කියලා ගිහින් කසිප්පු පෙරනවා. වික්ටර්ට ශාප කර කර පියවතී පාලව හොයාගෙන ගියා. පාල එයාගෙ අම්මා පියවතීට පුදුම බයක් තිබුණෙ. පාලයි එයාගෙ යාළුවොටිකයි කසිප්පු වඩිය පෙරන්න ලෑස්ති වෙනකොටම පියවතී මාරාවේශයෙන් එතනට කඩාගෙන පැන්නා.

 උඹ ඉස්කෝලෙ යනවා කියලා මේවද කරන්නෙ. උඹත් මහඑකාගෙ අඩි පාරෙද යන්න හදන්නෙ. මං උඹට හොඳ වැඩක් කරනවා. එහෙම කියපු පියවතී පාලට පෙරළගෙන පහර දුන්නා. අන්තිමේදී පියවතී පාලව අරගෙන පොලිසියට ගියා.

 සර්… මේකා ඉස්කෝලෙ යනවා කියලා ගෙදරින් පිටවෙලා කසිප්පු පෙරනවා. මූව හිරේ දාලාහරි යහමඟට අරගෙන දෙන්න සර්ට බුදු බව අත්වෙයි.

 පියවතී පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ වැඳ වැටුණා. පොලිස් ස්ථානාධිපතිවරයා පාලට අවවාද කළා. ඒ වගේම පාලගෙ තාත්තා වික්ටර්වත් පොලිසියට ගෙන්නලා අවවාද කළා. වැඩිහිටියෝ තමුන්ගෙ දරුවන්ට ආදර්ශවත් විදිහට ඉන්න ඕනෙ. නරක ආදර්ශ දුන්නම පුංචි කාලෙ ඉඳලා දරුවෝ නොමඟ යනවා. වික්ටර්ගේ අඩි පාරේ ගිය පාලට සිද්ධ වුණෙත් ඒ දේමයි.

 – රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment