මහරගම අනුමත ව්‍යාපෘති 99 න් 45ක්ම සිදුවෙලා නෑ: අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

89

වැඩ නොකරන කොන්ත‍්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කරන්න

මහරගම මැතිවරණ කොට්ඨාසය තුළ පසුගිය දෙසැම්බර් 31 වැනිදා වනවිට අවසන් කළයුතු ව්‍යාපෘති 99න් 45ක්ම සිදුවී නොමැති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ මහරගම සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවන අනුමත ව්‍යාපෘති 24න් 6ක් නිමකර නොමැති බවත්, නගර සභාවට අනුමත වූ ව්‍යාපෘතීන් 75න් 39ක් සිදුකර නොමැති බවත් එහිදී අනාවරණය වී ඇත.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සභාපතිත්වය දරන මහරගම සංවර්ධන කමිටු රැස්වීම පසුගිය 25 වැනිදා මහරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති අතර මෙම කරුණු අනාවරණය වූයේ නිමකළ ව්‍යාපෘති පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් ඉදිරිපත් කළ තොරතුරු අනුවය.

අනුමත වූ ව්‍යාපෘතීන් නිසි වේලාවට අවසන් කිරීම නිලධාරීන්ගේ වගකීම බව පැවසූ අමාත්‍යවරයා ඇස්තමේන්තු පමාවීම, කොන්ත‍්‍රාත්කරුවන් වැඩ නොකිරීම ආදිය නිසා මහජන මුදල් අපතේ යැවීම මෙන්ම මහජන අවශ්‍යතා ඉටු නොකිරීම සිදුනොවිය යුතු බවද කියා සිටියේය.

වැඩ නිම නොකළ ව්‍යාපෘතීන් පිළිබඳව වහාම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට දැනුම්දෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වැඩ නොකරන කොන්ත‍්‍රාත්කරුවන් අසාදු ලේඛණ ගතකර නව කොන්ත‍්‍රාත්කරුවන් යොදා නොගන්නේ මන්දැයි අමාත්‍යවරයා නිලධාරීගෙන් ප‍්‍රශ්න කර සිටියේය.

මහරගම ආසනය සඳහා 2022 පළමු කාර්තුව සඳහා අනුමත වී ඇති ව්‍යාපෘතීන් සංඛ්‍යාව 206කි. ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ සුබසාධන, පාරිසරික ලෙස කොටස් හතරක් යටතේ මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

මහරගම සංවර්ධන කමිටු රැුස්වීමට ජනතා නියෝජිතයෝ මෙන්ම මහරගම ප‍්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය ඇතුළු නිලධාරීහුද සහභාගී වූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ උදේනි චන්ද්‍රසිරි – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment