මහරහතන් වහන්සේ  හඳුනා ගනිමු

1708

අරහ යන පාලි වචනයත් රහත් යන සිංහල වචනයත් ඉතාම සරලව විග්‍රහ කරන කල එහි අරුත රාග, ද්වේෂ සහ මෝහ ආදී කොට ඇති සියලු කෙලෙස් සහමුලින් නැති කළ යන තත්ත්වයයි. එම උත්තරීතර තත්ත්වයට ප්‍රවිශ්ඨ වූ උතුමෝ රහතන් වහන්සේලා ලෙස හඳුන්වයි. එතුමෝ මෙත්තා, කරුණා ආදී කොට ඇති සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් ද සියලු කුසල ධර්මයන්ගෙන් ද යුක්තය. එසේම රහතන් වහන්සේ සියලු අකුසල වලින් ද තොරය. මෙතුමෝ චතුරාර්ය සත්‍ය ධර්මය මනාව අවබෝධ කළ උතුමන් ය.

ධම්මපදයේ ‘ප්‍රඥා ප්‍රාසාද මාලෝ” ලෙසත්, අස්සද්දෝ අකනංනෝච සන්දිට්චේදෝ යෝ නරෝ’ ලෙසත් රහතන් වහන්සේ සම්බන්ධව සඳහන් වේ. එනම් රහතන් වහන්සේ ප්‍රඥා ප්‍රාසාද මාලයට අවතීර්ණ වූ මෙන්ම චල ශ්‍රද්ධාවෙන් තොර අතීත පැවැත්ම හෙවත් ගෙවී ගිය ස්කන්ධ, ධාතු, ආයතනවලට අකෘතඥ භව සන්ධි සිඳ දැමූ උතුමන් ලෙස ය. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිමනිකායේ ද්විතීය පන්නාසකයේ රහතන් වහන්සේලා ගැන සඳහන් වන අතර, ධම්මපදයේ බුද්ධ වග්ගය, බ්‍රාහ්මන වග්ගය, අරහන්ත වග්ගය, නාග වග්ගය ආදී වග්ගවල ද රහත් ගුණ මැනවින් සඳහන් ය. එසේම පිරිත් සූත්‍ර අතර ද රහතන් වහන්සේ ගැන සඳහන් ය. රතන සූත්‍රයේ රහතන් වහන්සේ ගැන සඳහන් වනුයේ “ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මිං තේඛීණ බීජා අවිරුල්භිච්ඡන්දා නිබ්බන්තී බීරා යථායම් පදීපො” ලෙස ය. එහි අරුත වනුයේ පැරණි කෙලෙස් සිඳ දැමූ අලුත් ඒවා හට නොගන්නා මතු භවයන් පිළිබඳ නො ඇලුනු සිත් ඇත් පහනක් නිවුනා සේ නිවී යන උතුමන් බවය. රහතන් වහන්සේ චේතෝ හා ප්‍රඥා විමුක්ති දෙකම ලබා ඇත.

රහත් උතුමන්ට තැවෙන, දැවෙන, කම්පාවෙන තත්ව ආදී කොට ඇති පරිලාභ නොමැත. උන්වහන්සේලා ‘ගනක් දිනෝ’ හෙවත් සංසාර මාර්ගය ගෙවා අවසන් කර ඇත. එසේම එතුමෝ ‘විශෝකස්සය’ එනම් ශෝක කිරීමක් නැත. රහතන් වහන්සේ කථ භූමි අවස්ථාවට පැමිණි හෙවත් නිවන සාක්ෂාත් කළ උතුමන් ය. මේ බව ‘කථං කරනීයං උසිනං බ්‍රහ්මචරියං නාපරං ඉන්තත්තාය’ යන පාඨයෙන් අර්ථවත් වේ. කෙටියෙන් කිවතොත් කළ යුතු සියල්ල අවසන් කර ඇති තත්ත්වයයි. රහතන් වහන්සේ පත් වූ නිවන යන උත්තරීතර තත්ත්වය විග්‍රහ කළ හැක්කේ එම උතුම් තත්ත්වයට පත් උතුමන්ගේ අත්දැකීමක් ලෙසිනි. එය පෘතග්ජන අපට වටහා ගත නොහැක. මෙලෙස නිවන් පසක් කළ උතුමෝ කාමාවචර ලෝකයෙන් ද, රූපාවචර ලෝකයෙන් ද අරූපාවචර ලෝකයෙන් ද මිදෙයි. ගිහි හෝ පැවිදි හෝ අයෙකුට රහත්භාවයට පත්විය හැක. පෙර පින් ඇති මෙන්ම අවශ්‍ය දස පාරමිතා පුරණය කර ඇති ඥාණාන්විතයන්ට කෙටියෙන් වුවද දහම් ඇසීමෙන් රහත් භාවයට පත්විය හැක. රහතන් වහන්සේ නමකට වුවද අතීත අකුසල කර්ම විපාක ඵල දේ. එයට කදිම නිදසුනකි සෘද්ධිමත් රහතන් වහන්සේලා අතුරින් අග්‍ර ස්ථානය දැරූ මුගලන් මහ රහතන් වහන්සේ. කෙලෙස් ගිනි නිවීමේ සිව්වන අවස්ථාව හෙවත් අවසාන ලෝකෝත්තර සිත රහත් භාවයයි. රහතන් වහන්සේ නමක් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අටෙනුත් සම්මා ඥාණයෙන් හා සම්මා විමුක්තියෙනුත් යුතුය. සම්මා සම්බුදු රජාණන් වහන්සේත්, පසේ බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේත් සම්පූර්ණයෙන් ම කෙලෙස් ගිනි නිවා ලෝකෝත්තර තත්ත්වයට පත් වූ උතුමෝ ය. එතුමෝ සියලු කෙලෙස් නැසීමේ ඥාණයෙන් හෙවත් ආසවක්ඛය ඥාණයෙන් යුක්තය. රහත් සිත් ද දෙවර්ගයකි. එනම් රහත් මග්ග සිත හා රහත් ඵල සිතයි. තවද මාර්ග සිත් හෙවත් මග්ග සිතුත් එහා බැඳුනු ඵල සිතුත් නිර්වාණයත් එකට ගත් කල නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය නම් වේ.

රහතන් වහන්සේට ඇතිවන කර්ම සිත් ක්‍රියා සිත් හෙවත් කිරිය සිත් ලෙස හඳුන්වයි. කිරිය සිත් වලට විපාක සිත් නොමැති හෙයින් රහත් උතුමෝ පිං පව් රැස් නොකරති. තවද කිරිය සිත්වල ප්‍රතිසන්ධි විපාක ශක්තියක් නැත. රහතන් වහනසේ අතීතය ගැන ද අනාගතය ගැන ද නොතැවේ. වර්තමානයේ පමණක් ජීවත් වේ. රහතන් වහන්සේ නමක් හඳුනාගත හැකි එකම ක්‍රමය කලක් ඉතාම ළඟින් ඇසුරු කිරීමයි. ධර්මයේ සඳහන් පරිදි රහතන් වහන්සේලා ප්‍රභේද කීපයකි. ඒ මෙසේය.

1. ශුෂ්ක විදර්ශක මහ රහතන් වහන්සේ
2. සිව්පිලිසිඹියාපත්/ සමථයානික මහ රහතන් වහන්සේ

ශුෂ්ක විදර්ශක මහ රහතන් වහන්සේ යනු ධ්‍යාන ආදිය උපදාවාගෙන කෙලෙස් නැතිකරන රහතුන් නොවේ. උන්වහන්සේට පංචා අභික්‍ඳ්ඤා ආදිය නොමැත. එසේම උන්වහන්සේලාට සෘධි ප්‍රාතිහාර්ය පෑමේ ශක්තියක් ද නැත. උන්වහන්සේලා විදසුන් වඩා රහත් ඵලයේ පිහිටයි. චක්කුපාල මහ රහතන් වහන්සේ ශුෂ්ක විදර්ශක මහ රහතන් වහන්සේ නමකට කදිම නිදසුනකි.

සිව්පිලිසිඹියාපත්/ සමථයානික/ චතු පටිසම්භිදා පන්න මහ රහතන් වහන්සේ රහත් උතුමන් අතර අග්‍රය. මෙහි සඳහන් සිව්පිලිසිඹියා යනු අර්ථ, ධර්ම, නිරුක්ති හා ප්‍රතිභාන යන සතරයි. සෘධිවිධ, දිබ්බසෝත, දිබ්බ චක්ඛු, පරචිත්ත විජානන හා පුබ්බේ නිවාසානුස්මෘති යන පංච අභික්‍ඳ්ඤා මෙම රහතන් වහන්සේ සතුය එනිසාම මුන්වහන්සේ සෘධි බල ලාභීහුය. සමථයානික මහ රහතන් වහන්සේ ඉහත සඳහන් කළ චතුපටිසම්භිදා ගුණධර්ම වැඩීම, බහුශ්‍රැත බව, විවිධ භාෂා දැනුම, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ආදී කොට ඇති ප්‍රත්‍ය ගණනාවක් පුරණය කළ යුතුය. කෙසේ වෙතත් චතුපටිසම්භිදා පන්න මහ රහතන් වහන්සේ අග්‍රගන්‍ය රහතන් වහන්සේ සේ සැලකේ.

ගෞතම බුද්ධ ශාසනයේ විසූ මහ රහතන් වහන්සේලා අතරින් අසූමහා ශ්‍රාවක රහතන් වහන්සේලා ද එයිනුත් අග්‍රස්ථාන දැරූ හතළිස් දෙදෙනා වහන්සේ නමක් ද, සිටියහ. භික්‍ෂු ශාසනයේ සේම භික්‍ෂුණී ශාසනය තුළ ද අග්‍ර ස්ථාන දැරූ රහත් මෙහෙනින් වහන්සේලා දහතුන්නමක් විසූහ. උක්ත රහතන් වහන්සේලා එනම් රහත් භික්‍ෂු භික්‍ෂුණීන් අතරින් සිව්නමකට හැර සෙසු රහතන් වහන්සේට ආත්ම කල්ප ලක්‍ෂයක් දක්වා අතීතය ස්මරණය කළ හැක. එහෙත් ගෞතම බුද්ධ ශාසනයේ මහ අභික්‍ඳ්ඤාලාභී සතරදෙනා වහන්සේ වන සැරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ. බක්කුල මහ රහතන් වහන්සේ හා භද්‍ර කච්චායනා හෙවත් යසෝධරා මහ රහත් තෙරණිය යන භික්‍ෂු භික්‍ෂුණීන්ට එකාසංඛෙයිය කල්ප ලක්‍ෂයක් දක්වා අතීත ආත්ම භාව සිහිපත් කළ හැක. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මෙන් නොව රහතන් වහන්සේට සියලු කෙලෙස් සිඳුලුවද සංසාරගත පුරුදු තිබිය හැක. දෙවියන්ට ප්‍රිය වූ භික්‍ෂුන්ගෙන් අග්‍රස්ථානය දැරූ පිලින්දිවච්ච මහ රහතන් වහන්සේ මෙයට කදිම නිදර්ශනයකි. උන්වහන්සේට ආත්ම 500 ක් පුරා ඉහළ කුලවල ඉපදී පරුෂ වචනයෙන් කතා කළ පුරුද්ද රහත් වූ පසුව ද අත්හැර ගත නොහැකි විය.

කෙසේ නමුත් ගෞතම බුද්ධ ශාසනය නොකඩවා පවත්වා ගැනීම උදෙසාත්, බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල බුදු දහම අතුරුදන්ව යෑමෙන් සිදුවන ශාසනික පරිහානිය වළකා ගැනීමටත් ක්‍රිස්තු පූර්ව 100 ට ආසන්න කාලවකවානුවකදී රාජ්‍ය අනුග්‍රහය ද සහිතව ධර්මය ලේඛනගත කිරීම එකල විසූ මහ රහතන් වහන්සේලා අතින් සිදුවිය. බුදු දහමේ සඳහන් වන ලෙසට සමථයානික මහ රහතන් වහන්සේලා ලෝකයේ පහලව වැඩ වසනුයේ බුදුන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වූ දා පටන් වසර 500 ක් දක්වා පමණි. ඉහතදී සඳහන් කළ ක්‍රිස්තු පූර්ව කාල සීමාව ආසන්නයේ ශ්‍රී ලංකාවේ මහ රහතන් වහන්සේලා වැඩ සිටි සේක. උන්වහන්සේලා සිව්පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේලාය. මෙහිදී සඳහන් වූ සිව්පිලිසිඹියා සවිස්තරව සැකෙවින් මෙසේය.

අර්ථ යනු තුන් ලෝකයෙහි එනම් සත්ව, අවකාශ හා සංස්කාරක ලෝක වශයෙන් ද, එහිදී නාම, රූප, අරූප වශයෙන්ද, දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය, අපාය වශයෙන් ද අතීත, වර්තමාන, අනාගත යන තුන් කල්ම කර්ම හේතු නිසාවෙන් ජනිත සියලු සත්‍යයන් අවබෝධ වීම, එසේම ධර්ම යනු නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය හෙවත් සතර මඟ, සතර ඵල හා නිවන ද පාලි ධර්මය යන දස ධර්මයන් ස්වක්ඛාත ආදී කොට ඇති ගුණයන් ද අවබෝධ වීමයි. එසේම නිරුක්ති යනු මුල් භාෂාව වූ පාලි භාෂාවද, ප්‍රදේශ අනුව පර්යාය, භාෂාවන්හි නිරුක්තීන්ද, දිව්‍ය, මනුෂ්‍ය හා ජීවි සතුන්ගේ ශබ්දයන් ද සතර ධාතුන්ගේ ශබ්දයන් ද, හැඳින ඒවාහි අර්ථය අවබෝධ කිරීමට හා ඒවා අවශ්‍ය විටක භාවිතා කිරීමේ හැකියාව හා අවශ්‍ය විටක සත්ත්වයාට ධර්මය අවබෝධ කිරීමට හැකි වීමයි. එසේම ප්‍රතිභාණ යනු අර්ථ ධර්ම නිරුක්ති ආදී සියලු සම්භිදා යොදාගෙන නුවණින් දැක ප්‍රත්‍යක්‍ෂ කොට නුවනින් ගලපා සත්වයාට සරලව අවබෝධ කරවනු පිණිස නිදසුන් උපමා ආදිය දක්වා පැහැදිලි කිරීමේ දක්‍ෂ බවයි.

කෙසේ නමුත් ගෞතම බුද්ධ ශාසනයේ කල්ගතවෙත්ම සිව්පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේලා ද ශඩ් අභික්‍ඳ්ඤාලාභී මහ රහතන් වහන්සේලා ද, අවසන ත්‍රිවිධ ඤාණධාරී මහ රහතන් වහන්සේලා ද පහල විය. මින් සිව්පිලිසිබියාපත් මහ රහතන් වහන්සේලාත් ෂඩ් අභික්‍ඳ්ඤා ලාභී මධ්‍යම මහරහතන් වහන්සේලාත් සෘධි බල සහිත විය. නමුත් ත්‍රිවිධ ඥාණධාරී කනිෂ්ඨ මහ රහතන් වහන්සේට සෘධි ප්‍රාතිහාර නැති විය. නමුත් දිවැස් හා පුබ්බේනිවාසානුස්සති ඥාණය සහිත විය. මෙම ත්‍රිවිධ ඥාණධාරී කනිෂ්ඨ මහ රහතන් වහන්සේලා බුද්ධ ශාසනයන් ලොව පවතින කලක මිනිස් ලොව ඉපිද රහත් නම් උත්තරීතර භාවයට පත්ව ලෝක සත්තවයාට සත්‍ය අවබෝධ කොට පිරිනිවන් පා වදාරයි. මේ අනුව සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලාත් ෂඩ් අභික්‍ඳ්ඤාලාභී මහ රහතන් වහන්සේලාත් ත්‍රිවිධ ඥාණධාරී කනිෂ්ඨ මහ රහතන් වහන්සේලාත් බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර 1500 ක් පමණ ගතවන තුරු වැඩ වසයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ද්වීපයේ ප්‍රථම මහ රහතන් වහන්සේ අරිට්ඨ මහ රහතන් වහන්සේ වන අතර අවසන් මහ රහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේ ය. මෙහිදී ශුෂ්ක විදර්ශක මහ රහතුන්ගේ විශේෂත්වය වනුයේ මාර්ගඵලද, ධ්‍යාන සම්පත් ද, රහත් වූ බව ද දැන ගත නොහැකි වීමයි. නමුත් මේ උතුමන් සතුව සියුම් වූ මහ ඤාණ සම්භාරයක් ඇත. උන්වහන්සේලා එම ඥාණ ශක්තිය හුදෙක් බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය පැහැදිලි කිරීමට යොදාගනී.

තවද පංචස්කන්ධයට සක්කාය හා උපාදී යන වචන පර්යාය පද වේ. නිබ්බාන ධාතු හැඳින්වීමේදී උපාදී යන්න භාවිතයේ යෙදේ. නිවනේ ද අවස්ථා දෙකක් ඇති බව අභිධර්මයේ සඳහන් වේ. මෙම අවස්ථා දෙක නිබ්බාන ධාතු ලෙස දක්වා ඇත. එනම් ස උපාදිසේස හා අනූ පාදිසේස ලෙසය. මෙම නිබ්බාන ධාතු වර්ග දෙක බුදු, පසේබුදු, මහ රහත් සියලු දෙනා වහන්සේටම අයත් වේ. අවිජ්ජා, තන්හා ආදී කොට ඇති දස සංයෝජන සම්පූර්ණයෙන් ඉවත් කිරීම තුළින් ජීවත්ව සිටියදී ලබන නිවන හෙවත් රහත් වූදා සිට පිරිනිවන් පාන දින දක්වා කාලය තුළ ලැබෙන නිවන ස උපාදිසේස නිබ්බාන ධාතු නම් වේ. එනම් එලෙස පංචස්කන්ධය ඉතිරිවීම ස උපාදි සේස ලෙස හැඳින්වේ. මෙහිදී සියලු ක්ලේෂ ධර්මයන් ප්‍රහීන වන බැවින් එය ක්ලේෂ පරිනිර්වානය ලෙස ද හැඳින්වේ. බුදු, පසේබුදු, මහරහත් උතුමෝ අවස්ථා දෙකකදී පිරිනිවන් පා වදාරයි. ඉන් පළමු පිරිනිවීම ඉහත සඳහන් කළ ක්ලේෂ පිරිනිර්වාණයයි. ඉතිරිව තිබූ පංචස්කන්ධය රෝගාදී දුකින් නිදහස් වීම හා නැවත පංචස්කන්ධය හට නොගන්නා ලෙස පිරිනිවන් පෑම හා උපාදිසේස නිබ්බාන ධාතු නම් වේ. මෙයටම අනුපාදිසේස යන වචනය ද භාවිත වේ. මෙලෙස ඉතිරිව තිබූ පංචස්කන්ධය පරිනිර්වානයට පත්වීම ස්කන්ධ පරිනිර්වානය ලෙස හැඳින්වේ.

ගෞතම බුදුන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ධාතූන් වහන්සේලා ද විශාල ප්‍රමාණයක් ඉතිරි වේ. එම ධාතූන් වහන්සේලා බ්‍රහ්ම ලෝකවලත්, දිව්‍යලෝකවලත් නැග ලොක්යේත්, මනුෂ්‍ය ලෝකයේත් විවිධ පූජනීය ස්ථානවල විසිරී පවතින බවත් අනේක විධ පුද පූජා ලබන බවත් ධර්මයේ සඳහන් වේ. එම ධාතූන් වහන්සේලා එම බුද්ධ කල්පය එනම් එම බුද්ධ ශාසනයේ අවසන සනිටුහන් කරමින් කෙදිනක හෝ පිරිනිවන් පා වදාරයි. අප ගෞතම බුදුන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය තවම සිදු වී නැත. ධාතු පරිනිර්වාණය යනු නාග, දිව්‍ය, මනුෂ්‍ය යන තුන් ලෝකයේත්, බ්‍රහ්ම ලෝකයේත් සෑම තැනකම විසිරී ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ එක් ස්ථානයකට එකතු වී ක්‍ෂණිකව බුද්ධ කයක් ජීවමාන වී මොහොතක් බණ කියා ආදාහනය වීමයි. මෙය ගෞතම බුද්ධ ශාසනයේ අවසානය වේ. මේ මහා ප්‍රාතිහාර්යය 2020 නොවැම්බර් මසින් තවත් වර්ෂ 2436 ක් ගිය තැන අනුරාධපුරයේ රුවන්වැලි මහ සෑ පුද බිමෙන් ආරම්භව සියලු බුදුවරුන් බුදුවන බුද්ධගයා මහා බෝධි මූලයේදී සිදු වේ. මෙම ධාතු පරිනිර්වාණය සිදුවන අවස්ථාවේ මොහොතක් දෙසන දම් අසා රහත් වන වාසනාවන්ත පිරිස් ද සිටින බව ධර්මයේ සඳහන් ය. මෙම අසිරිමත් සිදුවීම සිදුවනුයේ ද වෙසක් පොහෝ දිනකමය.

කරුණු කාරණා එසේ වෙතත් මේ නයින් ගත් කල මහ රහතන් වහන්සේ විෂයෙහි පිහිටන චර්යාද 8 ක් වේ. ඒ ඉරියාපථ, ආයතන, සති, සම, ඥාණ, මග්ග, පටිපත්ති හා ලෝකාර්ථ ලෙසිනි. තවද සෝපාදිසේස නිවන ජීවත්ව සිටියදී මාර්ගඵල අවබෝධයෙන් ලැබෙන අතර, එහිදී කාමුපදී හෙවත් පංචකාම සම්පත් ගැන පවතින තෘෂ්ණාවන් ක්ලේසුපදී ලෙස කෙලෙස් එක්දහස් පන්සියයකුත් අභිසංඛාරූපදී ලෙස කුශලාකුශල කර්මත් යන උපදී නැති වන අතර බන්ධුපදීය හෙවත් පංචස්කන්ධය පමණක් ඉතිරි වෙයි. අනුපාදි සේස නිවනේදී පිරිනිවන් පෑම සිදුවන බැවින් පංචස්කන්දයද ද නැතිවී යයි. මෙලෙසට ගත් කල නිර්වානය උසස්ම සුවයයි. සැපතයි. නිවන ද අර්ථ සතරකින් යුතුය. එනම් නිස්සරනාර්ථ හෙවත් සියලු දුක්වලින් තොරවීමද, විවේකාර්ථ හෙවත් කෙලෙස් වලින් තොරවීම ද අසංඛතාර්ථ හෙවත් හේතුවකින් ප්‍රත්‍යයකින් හට නොගැනීම ද අමතාර්ථ හෙවත් මරණය නැතිවීම ද ලෙසය. නිවන ඉන්ද්‍රිය ගෝචර ද නොවේ. එය පෙරදී සඳහන් කළ ලෙසටම අත්දැකීමකි. අප එදිනෙදා සාමාන්‍යයෙන් විඳින සැප වේදයික සුඛ ලෙස හඳුන්වයි. එම වේදයික සුඛය නිත්‍ය නොවේ. අනිත්‍ය වේ. වෙනස් වන සුළු වේ. එය එසේ මුත් නොවිඳින සැපත හෙවත් අවේදයිත සුඛය කිසිදු හේතුවකින් නූපන් හෙයින් නිත්‍ය වේ. එනිසා නොවිඳින එකම සැපත, සුවය නිවනයි. එය අවේදයිත සුඛයකි. රහතන් වහන්සේ ද එම අවේදයිත සුඛයෙන් නිවී සැනසුන උතුමෙකි.

මහරහතන් වහන්සේ  හඳුනා ගනිමු



ජ්‍යොතිෂවේදී, දේශබන්දු,
ආචාර්ය මහේන්ද්‍ර  පල්ලෙබැද්ද, පානදුර.
දුරකතන අංකය 077-9282653

advertistmentadvertistment
advertistmentadvertistment