මහවැලි ගගේ දිය නෑමට ගිය දරුවෝ දෙදෙනෙක් අතුරුදන්

240

මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනකු මහවැලි ගඟේ දිය නෑමට ගොස් ඉකුත්දා (29දා) අතුරුදන් වී ඇත.

මෙසේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අංක 120/13 ජනඋදානගම, පල්ලෙකැලේ යන ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු දහතුනක් (13) වන කමලදාසන් අකේශ් යන අය හා ජනඋදානගම, පල්ලෙකැලේ පදිංචි වයස අවුරුදු දාහතරක් (14) වන පුනීලරාජ් යන පිරිමි දරුවන් දෙදෙනෙකි.

මොවුන් 29 වන දින සවස ක්‍රීඩා කිරීමට යන බව නිවෙස්වලට දන්වා ගොස් ඇති බවත්, රාත්‍රී කාලය වනතෙක් නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ පුරා විපරම් කර සොයා බලා තොරතුරක් නොමැති බැවින් පල්ලෙකැලේ, බලගොල්ල පොලිස් ස්ථානය වෙත ගොස් දැන්වූ බව අතුරුදන්ව ඇති කමලදාසන් අකේශ් යන අයගේ මව වන ශිවනාදන් වසන්ති කුමාරි පවසයි.

පසුව පල්ලෙකැලේ බලගොල්ල පොලිසිය මගින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අතුරුදන්ව ඇති දරුවන්ගේ බවට හඳුනාගත් පාවහන් හා ඇඳුම් පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයට පිටුපස මහවැලි ගංගා ඉවුරේ තිබී හමුවී ඇත. එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මිතුරන් හය (6) දෙනා මෙලෙස දියනෑමට මෙම ස්ථානයට ගොස් ඇති බවත් ජල පහරට හසු වී ගඟ මැදට අතුරුදන් වූ දෙදෙනා ගසාගෙන ගොස් ඇති බව හෙළි වී ඇත. මෙම ප්‍රදේශයේ මහවැලි ගංගාව ඉතා ගැඹුරු බවත් එය අඩි 25කට වඩා පවතින බව ප්‍රදේශවාසීන් දන්වන අතර, පොදු ජනයා දිය නෑමට නොඑන ස්ථානයක් බව ද ප්‍රදේශවාසීන් පවසති.

මෙම සිදුවීම පිළිබඳව පොලිස් අධීක්ෂණය යටතේ නාවික හමුදා කිමිදුම්කරුවන් යොදා ගනිමින් දින දෙකක් පුරා මෙහෙයුම් කටයුතු සිදු කළ ද අතුරුදන් වූ දරුවන් පිළිබඳව හෝඩුවාවක් මේ වන තෙක් (31 දින සවස) සොයා ගැනීමට නොහැකි වී ඇත.

පල්ලෙකැලේ, බලගොල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් ඒකනායක (විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති) මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන හා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ.

සිරිල් විමලසුරේන්ද්‍ර – ගුන්නෑපාන – ජානක සම්පත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment