මහවැලි ගඟේ කිලෝමීටර් දෙකක් ගසාගෙන ගිය තරුණයා ගොඩගැනේ

193

මහියංගණ පොලිසියේ සහ ප්‍රදේශවාසීන්ගේ වික්‍රමයක්

මහියංගණයේ පූජා නගරයට ආසන්නයෙන් මහවැලි ගඟට පැන්න තරුණයකු, පොලිසිය හා ගම්වාසීන්ගේ මහත් පරිශ්‍රමයක් යොදා ඊයේ (17 දා) උදෑසන 10.30 ට පමණ, නිරුපද්‍රිතව ගොඩගැනීමට සමත් විය. තරුණයා ගඟට පැන්න ස්ථානයේ සිට මහවැලි ගඟේ කිලෝමීටර් 02ක් පමණ පහළ ප්‍රදේශයේ ගඟ අයිනේ රැකවල්ලා සිටි පොලිසිය හා ගම්වාසීන් විසින් ගඟේ ගසාගෙන පැමිණි තරුණයා ගඟ මැදට පිහිනා ගොස් අල්ලා ගැනීමට සමත් විය.

පසුගිය කාලයේ ලැබුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑමත්, ජල පහර ප්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීම හා හදිසියේ දිගු කඹ සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම තරමක් අසීරු විය. මෙම තරුණයා

මහියංගණ පූජා නගරයේ, විල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර තදින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයෙකු බව මහියංගණ පොලිසිය පවසති. මෙම තරුණයාගේ හිතවතෙකු හදිසියේ මියයෑමත් සමඟ ඊයේ උදෑසන මහියංගණ දොඩම්වත්ත ප්‍රදේශයේ මියගිය පුද්ගලයාගේ අවමංගල්‍යයට සහභාගිවී සිටියදී, ඒ ආසන්නයෙන් ගලා බසිනා මහවැලි ගඟට පැන ඇති බවට ප්‍රදේශවාසීන් පවසති. තරුණයාගේ දැඩි හිතමිත්‍රයකු හදිසියේ මියයෑමෙන් ඇති වූ ශෝකය හේතුවෙන් මේ ආකාරයෙන් ගඟට පැන්නේද යන්න පිළිබඳ සැක කරන බව ගම්වාසීන් කියති. තරුණයා ගඟ දිගේ කිලෝමීටර් 01ක් පමණ ගසාගෙන පහළට ඒමේදී මහවැලි පාලම උඩ සිට පොලිස් නිලධාරින් දිග කඹයක් පහළට වීසිකර තරුණයා අල්ලා ගැනීමට තැත්කළද තරුණයා එය අල්ලා නොගැනීම නිසා තවදුරටත් පහළට ගසාගෙන ගොස් ඇත. තරුණයා ගොඩ ගැනීම සඳහා ක්‍රියාකාරීව දායක වූ පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් මහවැලි ගඟ දිගේ පහළට තවත් කිලෝමීටර් 01 ක් පමණ දිවගොස් ගඟ අයිනේ රැකවල් ලා සිට, ගඟ මැදට පිහිනාගොස් ගඟේ පහළට ගසාගෙන එන තරුණයා බේරා ගැනීමට කටයුතු කරනු ලැබීය. මහියංගණ පොලිසියේ නිලධාරීන් සිය නිල ඇඳුම් ගලවා ගඟට බැස තරුණයා ගොඩ ගැනීමට සෘජුව දායක වූහ. ගඟේයාය, පරගහමූකලාන ප්‍රදේශයේදී තරුණයා නිරුපද්‍රිතව ගොඩ ගැණිනි.

මහියංගණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.සැ. (66024) එස්. එම්. යූ. ජයසේකර, පො.කො. (69676) උදය කුමාර, (38395) ජයසුන්දර, (10133) විජේකුමාර, (78752) ජයසූරිය, මහියංගණ ජනාධිපති මන්දිරයේ සේවයේ නියුතුව සිටි පො.සැ. (35571) ආර්. එම්.බී.ජී. රූපසිංහ, ගුවන්හමුදා නිලධාරි අබේසිංහ, කුරුවිට ගැමුණු රෙජිමේන්තුවේ සෙබළ (418026), සැරයන් විජේරත්න යන හමුදා නිළධාරියාද, දොඩම්පත්ත ප්‍රදේශයෙන් පැමිණි තරුණයන් රැසක්, හා ගඟේයාය ප්‍රදේශයේ පිරිස්ද මෙම කාර්යය සඳහා එක්ව සිටියහ.

බේරා ගන්නා ලද තරුණයා ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර තරුණයා ගඟට පැන්න හේතුව පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණය වී නොමැත. මහියංගණ පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරයි.

මහියංගණය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment