මහාචාර්ය සඳගෝමි කෝපරහේවාගේ – ‘සිංහල අකුරු පුරාණය’

411

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා විසින් රචිත නවතම විමර්ශනාත්මක ග්‍රන්ථය වන ‘සිංහල අකුරු පුරාණය’ යළි යළි කියැවීමෙහි දී ප්‍රකට වූයේ මෙබඳු කෘතියක තිබිය යුතු ආකර්ෂිත බව මැනවින් කුළුගැන්වී ඇති බවය. ග්‍රන්ථයේ අදියර පන්තිය ගැන සවිභාගශීලී වීමෙහිදී පෙනී ගියේ අදාළ විෂය සමස්තය ම මෙහි පූරණය කර ඇති ආකාරයයි.

අක්‍ෂර පරිණාම විචාරයට තුඩුදෙන පරිදි ආරම්භයේදී සංක්‍ෂිප්ත විවරණයක යෙදෙන කතුවරයා භාෂාවකට හිමි ස්වීය අක්‍ෂර මාලාව ‘රූපික අනන්‍යතාව’ ලෙස දක්වමින් අකුරු රූප සමූහය සෙල්ලිපි, පත්ඉරු හා යතුරුලියනය මෙන්ම පරිගණකය ඔස්සේ ද වැඩී ආ අයුරු ගැන සංකථනයකින් තම කෘතිය අරඹයි.

විජයාගමනය සිංහල ලේඛන ක්‍රමයක සම්භවයට යාකර දක්වා ඇති නමුත් ප්‍රාමාණික සක්‍ෂි විරල බව පෙනේ. බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියූ “දතහපත” නම් සටහන සහිත වළං කැබැල්ලක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබීම මහා මහින්ද හිමිගේ ආගමනයට පෙර පවා අක්‍ෂර පැවැති බවට සාධකයක් සේ ගෙනහැර පෑ හැකිව තිබිණි. මිහිඳු හිමියන් මෙරට ජනයාට දම් දෙසූ බස මාගධී ප්‍රාකෘත විශේෂයක් වෙතැයි දක්වන අදහස සහේතුකයැ යි හැඟෙන්නේ ඒ අනුසාරයෙන් භාෂා පුරාණය ගැන ද යම් ඉංගිතයක් ලැබෙන බැවිනි. බුදුන් වහන්සේගේ ධර්මාන සමයට අයත් සේ ගැනෙන කූරගල ආසන්න කිරිමකුළුගොල්ලෙන් හමුවූ ලෙන් ලිපියක් ගැන මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කරයි. කෙර නමැති ප්‍රභූවරයා මහ සඟරුවනට පූජා කළ ගල්ලෙනක් පිළිබඳ ‘මේ ලිපිය මිහිඳු හිමිට පෙර පවා පැවැති බ්‍රාහ්මී අක්‍ෂර පුරාණය ගැන මැනවින් දෙස් දෙයි. කතුවරයා මෙබඳු සාධක ද ඉදිරිපත් කළේ නම් මැනවි.

ඉන්දියාවේ බ්‍රාහ්මී අක්‍ෂර අනාවරණය අරබයා දැක්වූ ජේම්ස් ප්‍රින්සෙප්ගේ උදාර මෙහෙය ගැන ‘සිංහල අකුරු පුරාණය’ කතුවරයා සඳහන් කර තිබීම මහඟු කරුණකි. එහෙත් ක්‍රිස්ටියන් ලාසන් නම් විද්වතා බ්‍රාහ්මී – ග්‍රීක ද්වී භාෂා කාසියක් හදාරා බ්‍රාහ්මී අක්‍ෂර කියැවීමට තැබූ මුල් පියවර ගැන ද මෙහිදී සඳහන් කළ යුතුව තිණි. බ්‍රාහ්මී අක්‍ෂර 40 ක් අශෝක ලිපිවල දක්නට ලැබෙන අතර ඉන් 37 ක් ම ලංකාවේ සෙල්ලිපිවල දක්නට ලැබෙන බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සනාථ කර තිබීම හුවා දක්වාලීමෙන් මේ කතුවරයාගේ විමර්ශන කුසලතාව ස්ඵුට වෙයි. මෙහිදී වඩාත් මාහැඟි වර්ණනය වන්නේ ලංකාවේ බ්‍රාහ්මී අක්‍ෂර ක්‍රමය කල් යෑමෙහි දී ස්වාධීන ලක්‍ෂණ රැගත් අයුරු දැක්වීමය. මේ අනුව සියවස් ගණනාවක කාල පරාසය පුරා සිංහල අකුරු දේශීය ස්වරූප ගත් බව මෙහි කතුවරයා සඳහන් කර තිබීම බෙහෙවින් අගනේය. එය සිංහල අකුරු බිහිවීමේ අපූරු කතාවට මුලපිරීමක් ද වේ.

සිංහල අක්‍ෂර පරිණාමය නම් අදියරෙහි දී එම කරුණ යුගගත කරන කතුවරයා ආදී බ්‍රාහ්මී යුගයෙන් අරඹා නූතන යුගය තෙක් අවස්ථා පහකින් යුතුව ඒ කාර්යය සපුරන්නේ තියුණු විමංශන විලාසයකින් සමන්විතවය. මෙහිදී රේඛීය ස්වරූපයෙන් මිදී හත්වැනි සියවස අවසන් වන විට සිංහල අකුරු බිහි වී වටකුරු හැඩයට ළංවීම අනගි විස්තරයකට ලක් කරන්නේ ආන්ද්‍ර හා පල්ලව බලපෑම් ද සිහිපත් කරමිනි. එය ඉඳුරාම විදුහුරු විවරණයක් වන්නේ සාධක රූපසටහන් ද දක්වා ඇති බැවිනි. ක්‍රි. ව. 8 – 13 සියවස් තුළ දී සිංහල භාෂාවට හලන්ත හා බැඳි අකුරු එක්වීම මහාප්‍රාණ අකුරු භාවිතය සහ බොහෝ භාෂාවල නොමැති ‘ඇ – ඈ’ එක්වීම මැනවින් විස්තර කෙරේ. සිංහල අකුරු සහිත වචන අදහස් ප්‍රකාශන ශක්තියෙන් හා රූපයෙන් වැඩෙනා සැටි » වන විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස අසුරෙන් මෙන් ම ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි හා පුවරු ලිපි ආදිය පසුකාලීනව දිගු ලේඛන බවට පත්වීමෙන් ද සනාථ වන අන්දම මේ ග්‍රන්ථයේ කදිමට පහදා දී ඇත. ආගමික හා ශාස්ත්‍රීය කරුණු මත ලියූ දම්පියා අටුවා ගැටපදය, සියබස්ලකර හා අමාවතුර වැනි ග්‍රන්ථ මතු නොව සීගිරි ගීයෙන් ද සිංහල අක්‍ෂර හා එහි භාවිතය සුනම්‍ය වූ අයුරු මෙහි ළගන්නා ලෙසින් විවරණය කෙරේ.

පුස්කොළ පොත් ලිවීම ගැන දිගු විස්තරයක යෙදෙන අකුරු පුරාණයේ කතුවරයා පත්ඉරු මත ලිවීම ද සිංහල අකුරු වටකුරු හැඩය ගැනීමට තුඩුදුන් බව සාධක සහිතව පෙන්වා දෙයි. පුස්කොළ පොත් අකුරු සිංහාක්‍ෂර (සිංහ ශෛලිය), ගජාක්‍ෂර (ගජ ශෛලිය) හංසාක්‍ෂර (හංස ශෛලිය) යන තුන් ආකාරය ගන්නා බව පවසන කතුවරයා හඳහන් ලියූ කාක ශෛලිය හඳුන්වා දී නැත. සිංහල අකුරුවල නූතන යුගය 18 වැනි සියවස තුළ ඇරඹෙන විට පවා එවක පුස්කොළ අකුරු බලපෑ බව කියා තිබීම ගුණාත්මක ය. සිංහල මුද්‍රණ අක්‍ෂර පිළිබඳව කතුවරයා කරන පරිකථනය ළගන්නා සුළුය. 1737 දී රචිත ‘සිංහල යාච්ඤා පොත’ ලක්දිව තුළ ප්‍රථම මුද්‍රිත පොත බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. ලන්දේසීන් විසින් ලංකාවේ ප්‍රථම මුද්‍රණාලය කොළඹ පිහිටුවාලීම ද ඓතිහාසික සිදුවීමකි. කෙසේ වෙතත් සිංහල අකුරු පුරාණය ගත්කතුවරයා 1708 දී සිංහල ග්‍රන්ථයක් මුල් වරට ඕලන්දයේ ඇම්ස්ටඩම් හි දී ලන්දේසීන් විසින් මුද්‍රණය කළ බව පැවසීම නම් කුතුහලය දනවන පුවතක් වේ.

1815 න් පසුව ලංකාවේ මුද්‍රණ ශිල්පය ප්‍රචලිත වූයේ මිෂනාරි මුද්‍රණාල මගින් සිංහල බයිබලය ආදී ග්‍රන්ථ පළ කිරීමත් සමඟය. මේ නිසා සිංහල අක්‍ෂරවල ප්‍රගමනික දියුණුව කඩිනම් වූ බව පෙන්වා දෙන කතුවරයා 1830 න් පසු සිංහල පුවත්පත් හා සඟරා බිහිවීම ඊට සෘජු ලෙස රුකුල් දුන් බව සඳහන් කිරීම සහේතුක ය. මෙහිදී ලේඛනයට හා සිංහල මුද්‍රණ අකුරු නිර්මාණයට පුරෝගාමී වූ සී. දොන් බස්තියන් හා එන්. ජේ. කුරේ යන ප්‍රමුඛයන්ගේ සේවාව සිහිපත් කිරීම ද උත්තම කරුණකි. 20 වැනි සියවස තුළ දී සිංහල අකුරු මනරම් විලාසයක් ගත් ආකාරය විවිධාකාරයෙන් දැක්වීමට කතුවරයා සමත්ව ඇත. සිංහල යතුරුලියනය හා පරිගණකය භාවිතය නිසා සිංහල අකුරු මාලාව ගුණයෙන්, ප්‍රමාණයෙන් හා රූපයෙන් ද වැඩී වර්ධනය වූ අන්දම කතුවරයා දක්වා ඇත්තේ ගංගානී, ඉමානී, සරනී ආදී ෆොනරූ හඳුන්වාදුුන් අය ද හඳුන්වා දෙමිනි. සිංහල හෝඩිය ට ‘ෆ’ වැනි නව අකුරු එක්වූ අයුරු මැනවින් විස්තර කරන කතුවරයා අකුරු වරගීකරණය පෙන්වා දී තත්සම, තද්භව ආදී වචන මෙන්ම ඝෝෂ, අඝෝෂ, කණ්ඪජ, තාලුජ, දන්තජ වැනි සිංහල අකුරු පිළිබඳ සියලු ප්‍රභේද හඳුන්වාදීම පාඨක ඥාන වර්ධනයට කළ මහඟු මෙහෙවරකි.

මේ ග්‍රන්ථයෙහි සියලු සටහන් හා උදාහරණ වර්ණික ක්‍රමයකට හා සුපැහැදිලි වගු නිර්මිතයකට අනුව දක්වා තිබීම අගය කළ යුතුය. මාර්ටින් වික්‍රමසිංහ වැලි පීල්ල භාවිතා කළ ආකාරය බඳු සාහිත්‍යමය විවරණ උපුටා දැක්වීම නිසා ශාස්ත්‍රීය විවරණයක දැඩියාව, ලැදියාවකට පෙරළීමට හැකි වී ඇත.

ලෝකයේ අවශේෂ භාෂා නොව එකක් අඩු දහසක් විශේෂිත භාෂා අතුරෙන් සුලක්‍ෂණ ගුණ යුත් දීපංකරයේ භාෂාන්තර අතර මුල් පහේ රැඳී සිටීමට සිංහල භාෂාවට හැකි විය. ඊට තුඩුදුන් අකුරු වංශය පිළිබඳ නන් වැදෑරුම් අනගි අරුත් වියකනක් වශයෙන් ‘සිංහල අකුරු පුරාණය’ අමන්දානන්දයෙන් අගයමි.

● ශාස්ත්‍රපති – ජේ. ජයනෙත්ති
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment