මහාවංශය යුනෙස්කෝවට ගියේ මෙහෙමයි

175

ක්‍රිස්තු වර්ෂ 433 සිට 434 දක්වා වසරක කාලයක් අනුරාධපුරය සිය රාජධානිය කර ගනිමින් මෙරට රාජ්‍යය විචාලේ මිත්සේන් හෙවත් කරල් සොරහු නමැති රජු විසිනි. එතුමාගේ පාලන කාලය වසරකට සීමාවූයේ පණ්ඩු පාරින්ද කුඩාපාරින්ද තිරිතර දාඨිය හා පිඨීය යන ආක්‍රමණිකයන් විසින් එම රජු මරා රාජ්‍යය අත්පත්කර ගත් බැවිනි. එම ආක්‍රමණිකයන් 5 දෙනා වසර 27 ක කාලයක් අනුරාධපුරය සිය රාජධානිය කර ගනිමින් මෙරට පාලනය කළ අතර එම පාලනය ප්‍රධාන වශයෙන්ම මහා විහාරයේ ආගමික සම්ප්‍රදායන්ට උරුමයන්ට මරු පහරක් විය. එම අවස්ථාවේ දී ද ථෙරවාදී බුදුදහමත් රටත් ජාතියත් ආක්‍රමණිකයාගෙන් මුදා ගැනීම සඳහා පෙරමුණ ගෙන සැලසුමකට කටයුතු කර ඇත්තේ දික්සද සෙනවියා පිරිවනේ වැඩවිසු මහානාම නමැති බෞද්ධ භික්ෂුව විසිනි. උන්වහන්සේගේ සැලසුමේ එක් අංගයක් වූයේ ආක්‍රමණිකයා පලවා හැරිය හැකි රජෙකු බවට පත්කළ හැකි බවට උන්වහන්සේ විශ්වාස කළ මෞර්ය වාංශික ධාතුසේන නමැති කුමාරයා පැවිදිකර දික්සද පිරිවනේ හදාවඩා ගැනීමය. දෙවන අංගය වූයේ ධාතුසේන කුමාරයාට ආදර්ශයට ගත හැකි ආකාරයට දුටුගැමුණු හෙවත් ගාමිණි අභය රජතුමා එළාර නමැති අක්‍රමණිකයා පරාජය කර මහාවිහාරය නගාසිටුවීමට කටයුතු කළ ආකාරය ආදර්ශයටත් මෙරට ඉතිහාසය අංගසම්පූර්ණවත් නිවැරදි ආකාරයටත් සඳහන් වන ආකාරයට කෘතියක් රචනා කිරීමය. මහානාම හිමියන් එම අරමුණු ඇතිව රචනා කරන ලද කෘතිය නම් කරන ලද්දේ මහාවංශය යනුවෙනි. මහානාම හිමියන්ම සිය කෘතියේ සඳහන් කර ඇති ආකාරයට මහාවංශය රචනා කිරීම සඳහා ඒ වන විට පැවති පාලියෙන් රචනා කරන ලද සිහළඅට්ටකතා නමැති අටුවාව යොදාගෙන ඇත. මහාවංශයේ ක්‍රිස්තුපූර්ව 543 සිට ක්‍රිස්තු වර්ෂ 302 පමණ දක්වා දක්වා මෙරට ඉතිහාසය සඳහන් කර ඇත. එහි විජය රජුගේ කාලයේ සිට මහසෙන් රජුගේ සමය දක්වා ඉතිහාසය සඳහන් කර ඇත. ඉන් අනතුරුව රාජාණ්ඩු සමයේ දී අවස්ථා හතරකදීත් ඉන් අනතුරුවත් මෙම ඵෙතිහාසිත සුවිශේෂි කෘතිය යවත්කාලීන කර ඇත. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මහානාම හිමියන්ගේන් පසුව රාජගුරු ධර්මකීර්ති හිමියන් විසින් මහාවංශයේ මීළඟ කොටස රචනා කර ඇත. එම කොටසේ මහසෙන් රජුගේ සමයේ සිට මහාපරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ අවසානය දක්වා තොරතුරු අන්තර්ගත කර ඇත. මහාවංශයේ මීළග කොටස රචනා කර ඇත්තේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන් විසිනි. එම කොටසේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා තොරතුරු අන්තර්ගත කර ඇත. ඉන් අනතුරුව 1736 සිට 1815 දක්වා රාජාධිරාජසිංහ රජුගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා පාලන කාලයේ තොරතුරු සඳහන් කර මහාවංශයේ මීළග කොටස රචනා කර ඇති අතර එම කොටස රචනා කොට ඇත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් සහ බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ඛිත පඬිතුමා විසින් බවට තොරතුරු තිබෙන බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් සඳහන් කර ඇත. ඉන් අනතුරුවද මහාවංශය යාවත්කාලීන කර ඇත.

මහාවංශය යුනෙස්කෝවට ගියේ මෙහෙමයි

මේ වන විට මෙම ඓතිහාසික කෘතිය යුනෙස්කෝ සංවිධානය විසින් ස්මරන ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. එම සංවිධානයේ තීරණය පසුගිය 27 සහ 28 යන දිනවලදී මෙරට මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍යයන්ගේ ප්‍රධානම ප්‍රවෘත්තිය බවට පත්වී තිබුණි. එම ප්‍රවෘත්තිවල සඳහන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යලයේ පුස්තකාලයේ ඇති මහාවංශයේ පුස්කොල පිටපතක් යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට පත්කර ඇති බවය. ඒ ඔස්සේ වැඩිදුරටත් කරුණු කාරණා සොයා බැලූ අප හට දැන ගන්නට ලැබුණේ මහාවංශය ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා කටයුතු කළ පිරිස අතර එම විශ්වවිද්‍යලයේම ඉතිහාස අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන මහින්ද සෝමතිලක මහතා ද බවයි. එබැවින් අප අපගේ මහාවංශය ලෝක උරුමයක් බවට පත්වූ ආකාරය පිළිබඳව මහාචාර්ය සෝමතිලක මහතාගෙන් විමසා සිටියෙමු.

ඒ මහතා සඳහන් කරන ආකාරයට ඓතිහාසික මහාවංශය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ඓතිහාසික කටයුත්ත ආරම්භ වී ඇත්තේ 2020 වසරේ මුල් භාගයේ දී ය. ඒ සඳහා මුල් වී කටයුතු කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පුස්තකාලය විසිනි. මහාවංශය ලෝක උරුමයක් ලෙසට නම් කරන ලෙස යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලා සිටීමට නම් කළ යුතු පළමු කාරිය වන්නේ එම ආයතනය සඳහා ඉදිරිපත් කිරීමට සුදුසු පැරණි අංග සම්පූර්ණ මහාවංශයේ පිටපතක් සොයා ගැනීමය. ඒ සඳහා පළමුවෙන්ම ගිහි පැවිදි සාමාජිකයන් 10 දෙනකුගෙන් යුත් කමිටුවක් ජාතික පුස්තකාලය විසින් පත්කර ඇත. එම කමිටුව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මහාචාර්ය මහින්ද සෝමතිලක මහතා මහාචාර්ය පණ්ඩුල ඇදගම මහතා මහාචාර්ය මාලනී ඇදගම මහත්මිය චීන ජාතික මහාචාර්ය හාවෝ විමින් මහතා මහාචාර්ය කේ. ඩී. පරණවිතාන මහතා ආචාර්ය හේමා ගුණතිලක මහත්මිය ආචාර්ය තිලාන් කුරේ මහතා සහ ජාතික ලේඛනාරක්ෂකයේ සහ ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් සමන්විත වී ඇත. මහාචාර්ය මහින්ද සෝමතිලක මහතා සඳහන් කරන ආකාරයට එම කමිටුවේ පළමු වගකීම වූ පැරණි වූ ද අංග සම්පූර්ණ වූ ද මහාමංශයක් සොයා එම කමිටුවේ සාමාජිකයන් රිදී විහාරය, නුවර ප්‍රදේශයේ විහාරස්ථාන, පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාරය, පේරාදෙණිය විශ්වවිද්‍යලය ඇතුඵ ස්ථානවල තිබූ පුස්තකාලවල තිබූ මහාවංශයේ පුස්කොළ පිටපත් පරීක්ෂා කර බලා ඇත. එහිදී එම කමිටුවේ විශේෂ අවධානය යොමුවී ඇත්තේ පුස්කොළ පොත් 5000 ක් පමණ තිබෙන පේරාදෙණිය විශ්වවිද්‍යලයේ පුස්තකාලයේ තිබූ මහාවංයේ පුස්කොළ පිටපත් තුනක් පිළිබඳවය. එම පුස්කොළ පොත් තුන අතරින් හොඳම එක තෝරා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ මහාචාර්ය මහින්ද සෝමතිලක මහතා වෙතය. ඒ සෝමතිලක මහතා එම විශ්වවිද්‍යලයේම සේවය කළ බැවිනි. සෝමතිලක මහතා දින ගණනාවක් පුරා පරීක්ෂා කොට තෝරාගත් පිටපත් ඔවුන් වෙත පැවරී තිබූ වගකීම ඉෂ්ඨ කිරීම සඳහා ඇති හොඳම පිටපත බව කමිටුවේ සෙසු සාමාජිකයන්ගේ ද පිළිගැනිම වී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යලයේ පුස්තකාලයාධිපති ආර්. මහේෂ්වරම් මහතාගෙන් ඒ සඳහා ලබී ඇත්තේ අනගි සහයෝගයකි. ඒ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය සෝමතිලක මහතා සඳහන් කර සිටියේ මහාවංශයේ වඩාත් සුදුසු පිටපත සොයා ගැනීම සඳහා පුස්තකාලයාධිපති ආර්. මහේෂ්වරම් මහතා පුස්තකාලය පමණක් නොව ඔහුගේ කාර්යාල කාමරය පවා පරිහරණය කිරීමට අවස්ථාව සලසා දුන් බවයි.

මහාචාර්ය මහින්ද සෝමතිලක මහතා අප හා සඳහන් කළ ආකාරයට අවසානයට තෝරාගත් මහාවංශ පිටපතේ බුදුන්වහන්සේගේ පරිනිර්වානය සිද්ධ වූ දින විජය ඇතුළු 700 ක පිරිස මෙරටට ගොඩ බැසීමේ සිට 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රිසින් විසින් සිරබාරයට ගෙන වෙල්ලෝරයට පිටුවහල් කිරීම දක්වා වූ ඵෙතිහාසික තොරතුරු කිසිදු අඩුපාඩුවකින් තොරව එහි අන්තර්ගත වී ඇත. ඒ අනුව එහි වසර 2500 ක එසේත් නොමැති නම් සියවස් 25 ක තොරතුරු එහි අන්තර්ගත වී ඇති බව තහවුරු වේ. මහාචාර්ය සෝමතිලක මහතා තවදුරටත් සඳහන් කරන ආකාරයට මෙම පිටපත අවස්ථා 4 ක දී හෝ 5ක දී රචනා කරන ලද තොරතුරු වලින් සමන්විත වන බව පැහැදිලිව හඳුනාගත හැක. නමුත් මෙම පිටපතේ 1815 දක්වා ඵෙතිහාසික තොරතුරු අන්තර්ගතව තිබෙන බැවින් එම පිටපත එම වර්ෂයෙන් පසුව රචනා කර ඇති බවත් ඒ මහතා සඳහන් කරයි. නමුත් ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය සෝමතිලක මහතා සඳහන් කර සිටියේ අවසානයට තෝරාගත් පිටපත පැරණි පුස්කොළ පොත් දෙසම බලාගෙන පිටපත් කර ඇති බව එම පිටපත පරිශීලනය කිරීමේදී පැහැදිලිවම පෙනී යන බවයි.

එරික් ගාමීණි ජනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment