මහා නිවර්ථන යෝග බලයෙන් රාජ, රාජ මහාමාත්‍යාදීන්ගේ ආකර්ෂණය දිනූ ගජමන් නෝනා

581

මාතර යුගයේ කවියන් අතර ගජමන් නෝනාට හිමිවනුයේ අද්වීතිය ස්ථානයකි. ඇය තරම් දක්‍ෂ කිවිඳියක එකල නොසිටි බව අදද අවිවාදයෙන් පිළිගනු ලබයි. පහත සඳහන් නම්වලින් ඇගේ කවීත්වයද, වර්ණනා කිරීමේ ශක්තියද ඇයටම ආවේණික වූ සුඛනම්‍ය රිද්මයද හඳුනාගත හැක. ඒ සම්බන්ධයෙන් එන කවිපෙළකිි.

පිනවන දුටු දන සෑම
ගග ළග පිහිටි කදිම
තුරු පෙළ අවට සැදීම
යුත් සෙවනැල්

ගණ මේ කුලෙව් දිලීම
විහඟුන් මත රැව් දීම
සුළඟින් පත් ලෙළ දීම
ඇති හැමකල්

දොන් ප‍්‍රැන්සිස්කු කුමාරප්පෙරුමාල් හා ප‍්‍රැන්සිකා ගේ‍්‍රරු යන දෙමාපියනට දාව 1746 මාර්තු මස 10 වැනි ගුරු දින සවස 3.35 (15.35) ට පමණ කොළඹදී ගජමන්නෝනා උපත ලැබුවාය. ග‍්‍රහලොව රැජිනිය වූ සඳුට අයත් එකම ලග්නය වන කටකයෙන් උපත ලැබූ ගජමන්නෝනාගේ ජන්ම නැකත වූයේ රාහුට අයත් සා නැකත හා එහි පළමු පාදයයි. මහ දශා හේෂය රාහුට වසර 15යි මාස 10යි, දින 07ක් ඉදිරියට පැවැති ආත්ම කාරක ග‍්‍රහයා ලෙස ග‍්‍රහලොව අගරජු වන රවි ග‍්‍රහයන් ගජමන්නෝනාගේ කේන්දරයේ අංශක 29යි, කලා 27යි, විකලා 33 ක් ඉදිරියට ගමන් කර තිබුණි.

දෝන ඉසබෙලා කර්නෝලියා හෙවත් ගජමන්නෝනා බාල වියේ සිට හැදුනේ වැඩුණේ සිය පියාගේ උපන් ගම වූ බෙලිඅත්තේ කහවත්ත නමැති ගම් පෙදෙසෙහිය. එහිදී ඇයට තම මාමා වූ අත්තනායගම් ලේකම් කවියාගේ උපකාරයෙන් භාෂා ශාස්ත‍්‍රයත් ප‍්‍රගුණ කිරීමේ අවස්ථාව උදාවිණි.

කාව්‍ය ශාස්ත‍්‍රය ඉගෙනීමෙහි නොතිත් ආශාවෙන් පෙළුණ කුඩා ගජමන්, මාතර යුගයේ ජීවත්වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ කොරතොට ධර්මාරාම හිමියන්ගේ දක්‍ෂ ගෝලයකු විය. එය අමුතුම සිදුවීමකි. අවුරුදු 12 දී පමණ පිරිමි ළමයෙකු සේ වෙස්වළාගෙන ධර්මාරාම හිමියන්ට ඇප උපකාර කරමින් ගජමන් කාව්‍ය ශාස්ත‍්‍රය මනාසේ ප‍්‍රගුණ කළාය.

දිනක් මහනුවර සිට මාතර වේරගම්පිටිය විහාරයට වැඩමකළ ධර්මාරාම හිමියන් හමුවීමට රූමත් තරුණියක් පැමිණියාය. එලෙස පැමිණි තරුණියගෙන් ධර්මාරාම හිමියන් සුවදුක් විමසීමට අමතක නොකළහ. ‘අපේ හාමුදුරුවනේ මට සමාවන්න මම තමයි ඔබ වහන්සේ ළඟ හිටිය ඇබිත්ත කොලූවා’ පොත පතටයි, කාව්‍ය ශාස්ත‍්‍රයටයි තිබුණ ආශාව නිසාමයි මම ඔබ වහන්සේට එවැනි රැවටිල්ලක් කෙරුවේ. අද මම ආවේ එදා ඒ කළ වරදට සමාව ඉල්ල ගන්නයි කියමින් ගජමන්නෝනා හිමියන් දෙපාමුල වැඳ වැටුණාය.

ඇයගේ කතාව ඇසූ ධර්මාරාම හිමියන්ගේ ඇස් නළලට යැවිනි. තරුණයකු සේ වෙස්වළාගෙන තමන්ට උවටැන් කෙළේ මෙම රූමත් තරුණිය දැයි පසක් වීමෙන් උන්වහන්සේට තමන් පිළිබඳව සියුම් ලැජ්ජාවක් ඇතිවිය. එහෙත් ඇයගේ දක්‍ෂතා අසා පැහැදුණු ධර්මාරාම හිමියන් තම ගැහැනු ගෝලයා පිළිබඳව මහත්සේ සතුටට පත්වූහ.

කුඩා කල සිටම භාෂා ශාස්ත‍්‍රයන් හැදෑරීමටත්, කවි කමටත් උපන් හපන්කම් දැක්වූ ගජමන්නෝනාගේ කේන්දරය පිරීක්සීමේදී ඇය සතුවූ කවීත්වයේ හා භාෂා ඥානයේ දීප්තිමත් ලක්‍ෂණ පැහැදිලිව දැකගත හැකි විය. කාව්‍යකරණය, ව්‍යාකරණය, න්‍යාය ශාස්ත‍්‍රය වැනි ඥානය මෙහෙයවා කරන කටයුතුවලට අධිපති බුධ ග‍්‍රහයා ඇයගේ කේන්දරයේ පරිවර්ථන යෝග බලයෙන් සිටීම වැදගත් ලක්‍ෂණයකි.

ජ්‍යොතිෂයේදී කේන්දරයකට වැදගත් බවක් ආරෝපණය කිරීමට පරිවර්ථන කෝණ 66ක් පමණ ඇත. ඒ අතර දෛත්‍ය කාණ්ඩයට අයත් වන යෝගයක් ලෙස තුන්වැන්න සහ අටවැන්න අතර යෙදී ඇති ශනිගේ හා බුධගේ පරිවර්ථන යෝගය පෙන්වා දිය හැක. එම යෝගයේ බලය හේතුකොටගෙන ගජමන්නෝනාට තම භාෂා ඥානයත්, රසවෑහෙන කවීත්වයත් සහජයෙන්ම ලබාදී ඇත.

ඇගේ කාව්‍ය ප‍්‍රතිභාව ප‍්‍රකට කරවන ලද කාව්‍ය නිර්මාණයන් අතර ඇගේ පෙම්වතකු වූ ‘ඇලපාත මුදලි’ සමග හුවමාරුකරගත් පෙම් කවිද, කපුගම හිමියන්ට යවන ලද ‘කාව්‍ය ගර්භ චක‍්‍රය’ ද වැදගත් තැන්හීලා සැලකිය හැකිය. එමෙන්ම අමදෝරු මැතිඳුන් පිළිබඳව කරනලද වර්ණනාව ඇතුළත් ‘දැඩිතර ශෝක මාලය’ ද ඇගේ කාව්‍යමය දක්‍ෂතාවයන් පිළිබඳව වූ කදිම නිදසුනක් සේ පෙන්වා දිය හැක.

ජ්‍යොතිෂයේ සටහන් අටවිසි පරිවර්ථන යෝග අතරට ගැනෙන රාජයෝගයක් තරමට බලවත් වූ පූර්ව පුණ්‍ය ස්ථානය වන පස්වැන්නේ අදිපතියාත්, පුණ්‍ය ස්ථානය වූ නව වැන්නේ අධිපතියාත් අතර වූ මහා පරිවර්ථන යෝගය, ගජමන්නෝනාගේ කටක ලග්න කේන්දරයේද පැහැදිලිව යෙදී ඇත. එම බලගතු යෝගයේ අනුහසින් ඇයට රාජ,රාජ හාමාත්‍යාදීන්ගේ ආකාර්ෂණය හා ඇප උපකාරද ඔවුන්ගේ සමීප ඇසුරද නිරන්තරයෙන්ම හිමිවිය. එහෙත් එම ගුරු හා කුජ පරිවර්ථනය ගජමන්ගේ විවාහ දිවියට නම් කිසිසේත් යහපතක් උදාකළේ නැත.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගජමන්නෝනා පේ‍්‍රමණීය බවින් යුත්, සුන්දර රූමතියක්ම වූවාය. ඇගේ ගත ඇත් දළ පැහැයෙන් දිලිසුණ අතර වත ම`ඩල, සඳ මඬල පැරදවිය. වරක් ඇය දෙස බැලූවොත් නැවත හැරී නොබැලූවානම් ඔහු අන්ධයකු මිස දෙනෙත් පෙනෙන අයෙකු නම් නොවිය යුතුය. ඒ තරමටම ඇයට පිහිටා තිබුණේ වචනයෙන් කිව නොහැකි තරමේ මනහර රූ සපුවකි. පස්වැන්නේ පිහිටා තිබූ ‘ගජ කේෂරී’ යෝගයේ බලය හේතුවෙන් ගජමන්නෝනාට එවන් ආකර්ෂණීය රූපයක් හිමිවීම යුක්ති සහගතය.

ලන්දේසි ඌරුවට ඇද පැළඳ සිටීමට ගජමන්නෝනා මහත් අභිරුචියක් දැක්වූවාය. ඇය යෞවනත්වයේ දොරකඩ අභබිමුවට පැමිණෙද්දී ඇගේ අත පතා මුදලි, මුහන්දිරම්වරු තරගයට මෙන් ඇදී එන්නට වූයේ සුවඳැති ශෝභමාන මලක් වෙත ඇදෙන බඹරු කැලක් මෙන්ය.

ගජමන්නෝනාගේ කේන්දරයේ නව වැන්න වූ මීනයේ, රවි, සිකුරු (ශුක‍්‍ර), කුජ හා රාහු යන සිව්ග‍්‍රහ සංයෝගය යෙදී ඇත. මෙය කිසිසේත්ම වාසනාවන්ත ග‍්‍රහයෝගයක් ලෙස හැඳින්විය නොහැක. කලාත්මක, ශෘංගාර සිතිවිලි පහළ වූවද, කලාවට දස්කම් පෑවද මෙම යෝගය විවාහය අවුල් කරනු ලබන අවාසනාවන්ත යෝගයකි. මෙම යෝගයෙන් උපන්නෝ ලිංගික ජීවිතය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් තම විවාහය අවුල් කරගත් අවස්ථා ඉතිහාසයේ අපමණවත් ඇත.

කෙතරම් මුදලි මුහන්දිරම්ලා ගජමන් අත පතා ආවද, ඇගේ ඉරණම් සහකරු වූයේ ගාර්දියෙස් ආරච්චිය. එවිට ඇගේ වයස අවුරුදු 22ක් වූවා පමණි. ධනවතුන් හා කුලවතුන්ගේද ඉල්ලීම්වලට පිටුපාමින් සිදුවූ ජගමන්ගේ විවාහය වසර දෙකකට සීමාවිය. ඇයට පුතෙකු ලබා දෙමින් ගාර්දියෙස් ආරච්චි මිය පරළොව ගිය අතර පුංචි පුතු සමග ගජමන්නෝනා මෙලොව තනි වූවාය.

තම පියාගේ බලවත් ඇවටිල්ල මත ගජමන්නෝනා දෙවන වරටත් විවාහ වූවාය. එම දෙවන විවාහයෙන් ඇයට පුතුන් තිදෙනකු ලැබිණි. ඇයගේ දෙවන විවාහ සහකරු වූයේ විමලසේකර මුහන්දිරම්ය. විවාහයෙන් අට වසරක් ගෙවී යද්දී ඔහුද හදිසියේ මියගියේ දරුවන් සිව් දෙනෙකු සමග ගජමන්නෝනා මෙලොව තනිකර දමමින්ය.

9 වැන්න වූ මීනයේ පිහිටන ලද සිව් ග‍්‍රහ සංයෝගයේ ආදීනව ගජමන්නෝනාට හොඳ හැටි දැනෙන්නට පටන් ගත්තේ තම දෙවන සැමියාද අකාලයේ මරු වැළඳගත් පසුවයි. එතැන් පටන් ‘විවාහය’ යන වචනය පවා ඇයට තිත්ත කෂායක් බඳු විය.

කටක ලග්නයට ශනි හෙවත් සෙනසුරුගෙන් කිසිදා සමාවක් නැත. විවාහ ස්ථානය වූ මකරය කටකයට හත් වැන්නය. එහි අයිතිය සෙනසුරු ග‍්‍රහයාටය. ශනි හතේ කාම ති‍්‍රකෝණය (3, 7, 11) ට අයත් 3 වැන්නේ තැන්පත්ව සිටින අතර 5 වැන්නේ සිටින නීච චන්ද්‍රයාගෙන් දෘෂ්ටියට 7 වැන්න ලක්වේ. එයද ගජමන්නෝනාගේ විවාහ දිවියට කණකොකා හැඬවීමට තරම් ප‍්‍රබල සාධකයක් විය. එහෙත් ඇය කණවැන්දුම් වුවද ඇයට වෙනත් පුරුෂයන්ගේ ආකර්ෂණයන්ගෙන් නම් අඩුවක් නොවීය. ඒ 9 වැන්නේ පිහිටි සිව් ග‍්‍රහ සංයෝගය හේතු කොටගෙනය.

ගජමන්නෝනාගේ කේන්දරයේ නව වැන්න වූ මීනයේ රාහු ග‍්‍රහයා මෝඩ (මූඪ) ලෙසින් පිහිටා ඇත්තේ රවි, ගුජ හා පාපි සිකුරුට මැදිවෙමිනි. එය විශේෂයෙන් තම පියාට අපල ගෙන දෙන පිහිටීමක් ලෙස පෙන්වා දිය හැක. දරුවන් හතර දෙනෙකු සමග ජීවිත කතරේ අතරමංවූ ගජමන්නෝනාට තරමක හෝ අස්වැසිල්ලක් වූයේ ඇගේ ආදරණීය පියාගේ ආදරයත්, කරුණාවත් පමණි.

එහෙත් දෛවය කෙතරම් අකාරුණිකද? සියල්ල උඩු යටිකුරු කරවමින් ගජමන් නෝනාගේ ආදරණීය පියාණන්ද හදිසියේම අලියෙකුගේ පහර දීමකින් මියගියේ ඇයව මෙලොව තව තවත් අසරණ භාවයට පත් කරවමිනි. පියාගේ හදිසි වියෝව, ඇයගේ දිවිය කබලෙන් ලිපට ඇද දැමීමක් විය. ඇයට ඉතිරිව තිබූ එකම සරණය වූයේ තම පියා පමණකි. එයද අහිමි වීමෙන් ඇය මහත්සේ කැලඹුණාය. අසරණකම ඇයට දැඩි ලෙස දැනෙන්නට විය.

පියාගේ වියෝවෙන් මහත්සේ කම්පනයටත්, අසරණ භාවයටත් පත්වූ ගජමන්නෝනා පියාගේ මරණය පිළිබඳව ශෝකාලාපයක් ලිව්වාය. එම ශෝකාලාපයෙන් ද ඇයගේ කවීත්වය හා භාෂා දැනුම මනාව පිළිබිඹු වූයේ මෙලෙසිනි.

මහා නිවර්ථන යෝග බලයෙන් රාජ, රාජ මහාමාත්‍යාදීන්ගේ ආකර්ෂණය දිනූ ගජමන් නෝනා

(පටාචාරාවක් බවට පත්වූ ගජමන්නෝනාගේ අවසානයට ඇගේ කේන්දරයට බලපෑවේ කෙසේද?)

ලබන සතියේ……

මහා නිවර්ථන යෝග බලයෙන් රාජ, රාජ මහාමාත්‍යාදීන්ගේ ආකර්ෂණය දිනූ ගජමන් නෝනා

පාරම්පරික ජ්‍යොතිෂවේදී,
දිවුලපිටියේ,
ඩග්ලස් ගුණවර්ධන
දු.අංකය – 0776 283 097

advertistmentadvertistment
advertistmentadvertistment