මහා පරිවර්තන යෝග බලයෙන් රජකම ලද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ

1254

දෙවන කොටස

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි කුමරු උපත ලැබුයේ කි‍්‍ර.ව.1780 ජනවාරි මස 02 වැනි දින දේ 09.44 ට පමණ කන්ද උඩරට අගනුවර වන මහනුවරදී ය. ගුරුට අයත් විසා නැකතින් හා සෙනසුරුට අයත් කුම්භ ලග්නයෙන් උපන් මොහුගේ නවාංශකය වූයේ කුජ ග‍්‍රහයාට අයත් වෘශ්චිකයයි.

රාජසිංහයන්ට තම රැුකියාව වූ රජකම කරගෙන යෑමට අපහසු තත්ත්වයක් උද්ගත වන්නට විය. එතුමාට විරුද්ධව රහසිගත සතුරු කුමන්ත‍්‍රණ දියත් වන්නට වූයේ නොසිතූ නොපැතූ ලෙසිනි. 10 අධිපති කුජ ලග්නභාවගතව රාහුගේ සියාවස නැකතේ එමෙන්ම 4 වැන්න වූ වෘෂභය අධිපති සිකුරු ග‍්‍රහයා 12 වැන්නේ පිහිටා ඇත. මෙම ග‍්‍රහ පිහිටීම හේතුකොට ගෙන රාජසිංහ රජුගේ රජකමට විරුද්ධවාදීන්ගෙන් හා සතුරන්ගෙන් හිරිහැර කරදර සිදුවීම වැළැක්විය නොහැකි විය.

10 වැන්නේ සප්තමය වූ 4 වැන්න තම ප‍්‍රතිවාදියා නියෝජනය කෙරෙන ස්ථානයයි. 4 වැන්නේ රාහු උපතින් තැන්පත්වීම හේතුවෙන් රජුගේ රැුකියාව වූ රජකම අවුල්සහගත තත්ත්වයකට පත් වූ අතර රාහු විසින් රජුගේ මනස ද විකෘති තත්ත්වයට පත්කරන ලදී. දිනෙන් දින සතුරා බලවත් වන්නට වීමෙන් රජු තම රජකම හොඳින් පවත්වාගෙන යෑමට උත්සාහ කළද රහස් සතුරු බලවේගවලින් එතුමාට ගැලවීමක් නම් නොවීය.

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කුම්භ ලග්න කේන්දරයේ පුණ්‍ය ස්ථානය වූ නව වැන්නේ ගුරු, සඳු යෝගය උපතින් පිහිටා ඇත. එය රාජයෝගයක් තරම් බලවත් ‘‘රාජකේෂරී’’ යෝගය ලෙස පරාශර සෘෂීන් දක්වා ඇත. එම ශුභවාදී ග‍්‍රහ යෝගය ජල ග‍්‍රහයකු වූ සඳුගේ දායකත්වයෙන් සැදුනකි. එහි බලය කරණ කොට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු තම පාලනය කාලය තුළදී, මහනුවර මාලිගය වටා වැවක් තැනවීමට කටයුතු කරන ලදී.

උපතින් හින්දු භක්තිකයකු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා යහපත් පුද්ගලයකු විය. මානුෂික ගුණ සුවඳ හඳුනන, කාරුණික බවෙන් යුත් හදවතක් එතුමාට උත්පත්තියෙන්ම දායාද විණි. එය කුම්භ ලග්නයේ ස්වභාවයයි. එහෙත් එතුමාගේ නෛසර්ගික උත්පත්ති ගුණය විනාශ කරලීමට දේශද්‍රෝහී නිවට සිංහල රදළයන් පිඹුරුපත් සකස් කරන ලදී. රජුගේ යහපත් ගුණාංග විනාශයට පත් කරවමින් රාගයත්, කාමයත්, සුරාවත් ඔහු තුළට බලහත්කාරයෙන් ආරෝපණය කරවීමට ජාතිද්‍රෝහී රදළයෝ සමත් වූහ.

සාමාන්‍ය රටවැසියෝ රජුට පක්‍ෂපාතීත්වය දැක්වූ නමුදු, උඩරට රදළයින් සෑමවිටම රජුට විරුද්ධව කටයුතු කරන ලදි. මෙම රදළයන් මෙල්ල කරගන්නා ආකාරය පිළිබඳව ශ‍්‍රී වික‍්‍රම රජු නිරන්තරවම සිතන්නට විය. එතුමාගේ මෙම රදළ විරෝධී සටනට ලග්නයේ පිහිටන ලද අඟහරු හෙවත් කුජ ග‍්‍රහයාගෙන් ලැබුණේ මහත් වූ ශක්තියක් බව අවිවාදයෙන් පැවසිය හැක.

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කුම්භ ලග්න කේන්දරයෙන් ශුක‍්‍ර හෙවත් සිකුරු ග‍්‍රහයා මිත‍්‍රලීලාවෙන් 12 වැන්නේය. නමුත් එම භාවය සිකුරුට යහපත් තැනක් නොවීය. එහි තැන්පත් සිකුරු, අකටයුතුකම් හා අසාධාරණකම් කිරීම සඳහා රජුව පොළඹවන ලද අතර ස්ත‍්‍රී සංගම්, මත්පැන්, සූදුව ආදියට ද මෙම පිහිටීමෙන් රුකුලක් ලබාදෙන්නට ඇති බව නම් රහසක් නොවේ.

මාෂල් ග‍්‍රැන්විල් නමැති ඉංග‍්‍රීසි ජාතිකයා ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුව ළඟින් ඇසුරු කළ අයෙකි. ඔහුගේ සටහන්වලට අනුව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ආගන්තුක සත්කාරයට මහත් කැමැත්තක් දැක්වූවෙකි. පසුකාලීනව ඔහු දරුණු තීන්දුවලට එළඹුනේ මත්පැන් පානය හේතුවෙන් විකෘතියට පත් මනසකින් යුතුව යැයි මාෂල් ග‍්‍රැන්විල් වැඩිදුරටත් ලියා ඇත. රජුව එම තත්ත්වයට පුරුදු කරන ලද්දේ ඉංග‍්‍රීසීන්ගේ අනුදැනුම මත සිංහල රදළයින් විසින් ය. ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු දරු තිදෙනා කෲර ලෙස මරාදමන ලද්දේ මතින් විකෘතිව සිටියදී බව තවදුරටත් සඳහන් වේ. ග‍්‍රැන්විල් මහතාගේ සටහන්වලට අනුව රජු එම නියෝගයදී ඇත්තේ 1814 අපේ‍්‍රල් 27 වැනිදාය.

1803 මාර්තු 22 වැනි දින සිට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට බුධ මහ දශාව ලබා ඇත. ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු දරුවන් කුරිරු ලෙස ඝාතනයට ලක් කරන විට රජු ගතකරමින් සිට ඇත්තේ බුධගේ මහදශාවේ රාහු අතුරු දශාවයි. රාහු යනු හිසක් නැති මෝඩ වැඩට ජන්මියා මෙහෙයවන ඡායා ග‍්‍රහයෙකි. ඡායාවක් නමුදු රාහුගේ බලය අසීමිත බව ඉන්දියානු ජ්‍යොතිර්වේදීන් නම් හොඳින්ම දනී. හතරවැන්නේ තැන්පත් මෝඩ රාහුගේ අතුරු දශාවේදී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගත් එම තීරණය රජුට යහපත් වූයේ නැත. ඒ බව වැටහෙන විට රජු ප‍්‍රමාද වූවා වැඩිය. රජුගේ ජීවිතය උඩුයටිකුරු කිරීමට එම සිද්ධිය ඉවහල් විය.

කන්නසාමි කුමරු රජකමට පත්වන විට යන්තම් අවුරුදු 18 පසු වූවා පමණි. ඒ වනවිට කුමරු ගතකරමින් සිටියේ සෙනසුරු මහ දශාවය. එතුමාට සෙනසුරු මහ දශාව ආරම්භ වූයේ 1784 දීය. ඉංග‍්‍රීසීන් ලංකාවට පැමිණියේ 1796 දීය. දෛවය කෙතරම් ගුප්ත දැයි මෙයින්ම වැටහේ. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ සතුරා වූ ඉංග‍්‍රීසීන්, කොළඹට පැමිණ ඇත්තේ එතුමාට සෙනසුරු මහ දශාව ආරම්භ වී වසර 12 කට පසුවය. මෙය දෛවයේ සරදමකි. ලොව කොතන සිටිය ද සතුරාට, සතුරා හමුවේ.

විවිධ වූ හැලහැප්පීම් හා දේශීය විදේශීය කුමන්ත‍්‍රණාදියෙන් ගහන වූ ශ‍්‍රී වික‍්‍රම රජුගේ රාජ්‍ය කාලය (1780-1815) පිළිබඳව නොයෙකුත් මතිමතාන්තර ඇත. කෙසේ වෙතත් රජු එම කිසිම කුමන්ත‍්‍රණයකට බිය වූයේ නැත. ලග්නය පුරා සිටි කුජගෙන් ලද නිර්භීතකමත්, අභිමානයත් 10 වැන්නේ පිහිටන ලද සෙනසුරුගේ දායාද වූ දරාගැනීමේ ශක්තිය හේතුකොට ගෙන එතුමා ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි බව පැහැදිලිය.

1805 දී බුධගේ මහ දශාවේ කේතු අතුරු දශාවේදී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට එකල වසංගතයක්ව පැවැති වසූරිය රෝගය පවා වැලඳුණි. එය එතුමාට ප‍්‍රදානය කරන ලද්දේ ලග්නයේ පිහිටන ලද කුජ ග‍්‍රහයා විසින් යැයි උපකල්පනය කළ හැක. කුජ ඌෂ්ණ ග‍්‍රහයෙකි.

1815 පෙබරවාරි මස 18 වැනි දින ශ‍්‍රී වික‍්‍රම රජතුමා ජීවග‍්‍රහයෙන් අල්ලා ගන්නා ලදී. දේශීය හා විදේශීය සතුරන්ගෙන් ගැලවීම සඳහා එතුමා කන්ද උඩරටින් පලාගොස් තෙල්දෙණිය, හංවැල්ල ගමේ සැඟව සිටියදී, ඇහැලේපොල, මොල්ලිගොඩ, එක්නැලිගොඩ යන සිංහල නායකයන් විසින් රජු අල්ලා ඉංග‍්‍රීසීන් අතට පත්කරන ලදී. ඒ වන විට එතුමා ගතකරමින් සිටියේ බුධගේ රාහු අතුරු දශාව වූ අතර වයස අවුරුදු 35 ක් විය.

1815 මාර්තු 02 වැනිදා සිංහලයේ අන්තිම රජු වන ශ‍්‍රී වික‍්‍රම රජසිංහයන් ජීවග‍්‍රහයෙන් ඉංග‍්‍රීසීන්ට අල්ලා දුන් සිංහලයන්, සිංහල රාජ්‍යයත්, සිංහල රාජකිරීටයත්, හෙළ ජනතාවත් රිදී බන්දේසියක තබා ඉංග‍්‍රීසීන්ට පූජා කරන ලදී. එතැන් සිට අප රට අරාජික විය.

බුධගේ ගුරු අතුරු දශාව ලබා තිබියදී, 1816 ජනවාරි 24 වැනිදා දක්වා කොළඹ කොටුවේ රඳවා සිටි ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු, කොන්වෝලිස් නෞකාවෙන් මදුරාසියටත්, ඉන් අනතුරුව වෙල්ලෝරයේ සිරගෙදරටත් පිටත් කර හරින ලදී.

සිරකරුවකු බවට පත්ව සිටිය ද තමා තුළවූ රාජකීය ගාම්භීරත්වය අතහැරීමට රජු අකමැති වූ බව මාෂල් ග‍්‍රැන්විල් තම දිනපොතේ සටහන් කර ඇත. ඒ රාජසිංහ රජු උපතින් ගෙනා කුජ හා සෙනසුරුගේ ලද රාජකීය අභිමානය බව එකහෙළා පැවසිය හැක. කුජ හා ශනිගේ පරිවර්තන යෝගය ඉතා බලවත්ය. එම යෝගය රාජයෝගකි. එම යෝගයේ බලමහිමය හේතුකොට ගෙන කන්දසාමි කුමාරයා ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ නමින් අප රටේ අවසන් රජු බවට පත්කර වීය.

ඉංග‍්‍රීසීන්ගේ සිරකරුවකු ලෙස සිටියදී තම රාජකීය අභිමානය බිඳකුදු හෝ අඩුකර නොගත් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු නිතරම තම රාජකීය ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටීමට වගබලාගත් බව සඳහන් වේ.

එතුමාට 1820 මාර්තු මස 22 වැනි දින කේතු මහ දශාව ලැබීය. එතැන් සිට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගත කළේ රෝගාතුර දිවියකි. තමාගේ නෛසර්ගික ගුණය පෙන්වූ අතර රජු හුදකලාව තම කාලය ගත කරන්නට විය. කේතු මහ දශාවේ වසර හත කෙමෙන් ගෙවී යන ලදී.

වෙල්ලෝරයේ සිරගෙදර කල් යැවූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට 1827-03-22 වැනි දින සිකුරු මහ දශාව ආරම්භ විණි. සිකුරු මෙතුමාගේ කුම්භ ලග්න කේන්දරයට යෝගකාරකයකු වුවද තැන්පත්ව සිටියේ 12 වැන්නේය. 12 වැන්නෙන් විදේශගතවීම් සියලූ අතහැර යෑම් විනාශය, සිරගතවීම් දුක වේදනා හා වධ බන්ධන පෙන්නුම් කරයි.

සිකුරු මහදශාවේ සඳු අතුරු දශාව 1831-07-02 වැනි දින ලැබූ අතර ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාට මෙම කාලසීමාව යහපත් නොවීය. කුම්භ ලග්නයට සඳු හෙවත් චන්ද්‍රයා අශුභ ග‍්‍රහයෙකු වූ අතර ශුක‍්‍ර හෙවත් සිකුරු 12 වැනි භාව ගතවීමෙන් ශුභ ඵල වෙනුවට අශුභ ඵල උදාකර වූ බව සත්‍යයකි.

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කේන්ද්‍රයේ 4 වැන්නේ රාහුගේ පිහිටීම ද අයහපත් ය. රජතුමාට තම උපන් බිමෙන් පිටකරවීමටත් ජීවිතයේ අග කොටස සැපවත් නොකිරීමටත් රාහු ප‍්‍රබල උත්සාහයක් ගෙන ඇත. රජතුමා මතට පොළඹවන ලද්දේ ද මතට කැමැති රාහු විසින්මය.

කුම්භ ලග්න හිමියන්ගේ බොහෝ දෙනෙකු තමා උපන් රටින් පිටව සිටියදී මියයන බව තහවුරු වී ඇත. එම මරණය සිදුවන්නේ හිතවතුන් හා පිටස්තරයන් මධ්‍යයේදී යැයි සෘෂීන් පවසා ඇත. කුජ ග‍්‍රහයා කුම්භ ලග්න භාවයේ සිටීම එයට ප‍්‍රධාන සාධකය ලෙස පෙන්වා දිය හැකි අතර එම මරණයට පිටස්තර අය බොහෝ දෙනෙක් සහභාගි වන බව වැඩිදුරටත් දක්වා තිබේ.

ශනි ග‍්‍රහයා වෘශ්චිකයේ තැන්පත්ව සිටීමෙන් ජීවිතයේ අවසාන කාලය ඉතා දුකසේ තනිවී ගතකරන්නට සිදුවේ යැයි පැරණී පොත පතේ සඳහන්ව ඇත. ඒ බව සනාථ කරමින් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා තම අවසාන කාලය හිස් අහස දෙස බලාගෙන හුදකලාබවෙන් යුතුව කාලය ගත කළ බව සඳහන් වේ.

සිකුරු මහදශාවේ සඳු (චන්ද්‍ර) අතුරු දශාවේදී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා දැඩි ලෙස ගිලන් විය. වෙදැදුරන් රජුගේ ජීවිතය ගලවා ගැනීමට මහත් උත්සාහයක යෙදුණි. එහෙත් 1832 ජනවාරි 30 වැනිදා තම රාජකීය ජීවිතයෙන් සදහටම සමුගන්නට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුට සිදු වූයේ දෛවයේ ලියා තිබූ ආකාරයටමය.

ජ්‍යොතිෂමය සිද්ධාන්තයන්ට අනුරූපව සියල්ල සිදු වූ අතර විදේශයක සිරගෙයකදී හිතවතුන් හා පිටස්තර පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කෙරිණි. මියයන විට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහයන්ගේ වයස අවුරුදු 52 ක් විය.

පාරම්පරික ජ්‍යොතිෂවේදී,
දිවුලපිටියේ,
ඩග්ලස් ගුණවර්ධන
දු.අංකය – 0776 283 097

advertistmentadvertistment
advertistmentadvertistment