මහා භාණ්ඩාගාරයට නොදන්වා හිතුමතේ තීරණ ගැනීමෙන්  පාඩු ලබන  රාජ්‍ය ආයතන  බංකොලොත් වුණා

187

රාජ්‍ය ආයතනවලට සේවකයන් බඳවා ගැනීමේදී මෙන්ම වැටුප් හා දීමනා ලබාදීමේදී මහා භාණ්ඩාගාරයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අවසරය නොගෙන හිතුමතේ තීරණ ගැනීම නිසා පාඩු ලබමින් තිබූ රාජ්‍ය ආයතන රැසක් බංකොලොත්වූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

ජාතික විගණන කාර්යාලය විගණන විමසුම් හා වාර්ෂික විගණන වාර්තා මගින් මේ කරුණු පිළිබඳ දිගින් දිගටම පෙන්වා දුන්නත් එකදු රජයක් හෝ ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීමේ විපාක දැන් මුළු රටම විඳවන බවද හෙතෙම කීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඉකුත් මහමැතිවරණයට පෙර වැඩවර්ජන කරමින් සියයට දෙසිය විස්සක පමණ ප්‍රතිශතයකින් වැටුප් වැඩිකර ගත් බව විගණනයේදී හෙළිවී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආදී රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වැටුප් දීමනා ඇතුළු විවිධ වරප්‍රසාද ලබාගැනීමට ක්‍රියාකර ඇත්තේ සේවක කාර්ය සාධකයක් පදනම් කර නොගෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

එක්තරා ජනාධිපතිවරයකු ලන්ඩනයේ සිට මෙරටට පැමිණීමට වෙනම ගුවන් යානයක් ඉල්ලීමේ සිට මෙම රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති සිය දේශපාලන හිතවත්කම් මත ඒ ඒ ආයතනවල සේවකයන්ගේ වැටුප්, අතිකාල දීමනා, දිරි දීමනා, ඉන්ධන, වාහන, නිවාස ආදියේ සිට සියලු වරප්‍රසාද දිගින් දිගටම ලබාගනිමින් පාඩු ලබන රාජ්‍ය ආයතන බංකොලොත් කර රට විනාශ කර ඇතැයි විගණන වාර්තා පරීක්‍ෂා කිරීමෙන් ඕනෑම අයකුට තේරුම්ගත හැකි බවද ඒ මහතා කීය.

රාජ්‍ය, සංස්ථා, මණ්ඩල සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සේවක වැටුප් හා දීමනා සමාලෝචනය කර අතරික්ත සේවකයන් ඉවත් කිරීමට වහා කටයුතු නොකළහොත් රටේ පවතින ආර්ථික අර්බුදය තවත් උත්සන්න වී රට ගොඩගත නොහැකි තැනට පත්වීමේ අනතුරක් ඇතැයිද ඒ මහතා කීය.

රාජ්‍ය ආයතන කිහිපයක සේවකයන්ට පමණක් සුවිශේෂී වැටුප් වැඩිකිරීම් සිදුකිරීම නිසා රාජ්‍ය සේවකයන් අතර මේ වනවිට බරපතළ වැටුප් විෂමතාවක් පවතින බවද හෙතෙම කීය.

කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතාද ඉකුත් සතියේ කියා සිටියේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසැලසුම්කරණයකට ලක්කළ යුතු බවයි. මේ වනවිට රාජ්‍ය සේවාව තුළ අතිරික්ත සේවකයන් ලක්‍ෂයක් පමණ සිටින බවද හෙළිවී ඇත.

බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියා සිටින්නේ අතරික්ත සේවකයන්ට වන්දි ලබාදී සේවයෙන් ඉවත් කිරීමට සිදුවන බවයි.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් හා අනෙකුත් දීමනා පිළිබඳ වහාම යළි සමාලෝචනයක් කර සුදුසු පියවර ගැනීමට ක්‍රියාකළ යුතු බවයි. එසේ නොකළහොත් වත්මන් ආර්ථික අර්බුදය තවත් උග්‍රවී රට ගොඩගත නොහැකි තැනකට ඇද වැටෙනු ඇති බවයි.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment