මහා වාහන ජාවාරමක් ඇල්ලූ සාජන්ගේ සුපිරි මොළේ

1272

මහමඟ ගමන් කරමින් සිටි තරුණයන් හතර දෙනකු පොලිස් නිලධාරීන් ලෙස වෙස් ගන්වා ගම්පල පොලිසියේ සාජන්වරයකු සිදුකළ ක්ෂණික වැටලීමක් නිසා මහා පරිමාණ ව්‍යාජ වාහන ජාවාරමක් අල්ලා ගැනීමට හැකිවී තිබේ.

මෙසේ ස්ථානෝචිතව කටයුතු කර ඇත්තේ ගම්පල පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන් (4507) බණ්ඩාර යන නිලධාරියායි.

ඔහු වෙනත් කටයුත්තක් සඳහා ගම්පොල නගරයේ ගමන් කරමින් සිටිය දී භාවිත නොකරන වාහන පොත් සඳහා ව්‍යාජ ලෙස වාහන උපාංග එකලස් කර වාහන අලෙවියක් සිදු වන බවට තොරතුරු ලැබී තිබේ.

එවැනි ත‍්‍රිරෝද රථයක් විකුණා එම පිරිස් යෑමට සූදානම් වන අයුරු දැක ඇති බණ්ඩාර මහතාට තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට කැඳවා ගැනීමට කාලයක් නොමැති බව දැනී මහමග ගමන් කරමින් සිටි තරුණයන් සිව්දෙනෙකුට පවසා ඇත්තේ තමා පොලිසියේ අයෙකු නිසා බිය නොවන ලෙසත් තමා අසල සිටගෙන ඉන්නා ලෙසත්ය.

ඒ සමගම ක‍්‍රියාත්මක වී ඇති බණ්ඩාර මහතා ජාවාරම්කරුවන් දෙදෙනකු අල්ලා ගනිමින් තමා අසල සිටින තරුණයන්ට පොලිස් නිල නාමවලින් කතා කර ත‍්‍රීරෝද රථය පොලිස් භාරයට ගන්නා ලෙස පවසා ඇත.

මෙයින් බිය වූ ජාවාරම්කරුවන් ඔවුන්ට අවනත වීමෙන් පසු ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප‍්‍රනාන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර යන නිලධාරීන්ට මේ බව දන්නවා පොලිස් සැරයන් (28946) රෝහිත මහතා විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම ජාවාරම මීගමුව ප‍්‍රදේශයේ සිට ක‍්‍රියාත්මක වන බවයි. සොරා ගන්නා ලද වාහන හා එකලස් කරන ලද වාහනවලට භාවිතයෙන් ඉවත් කර ඇති වාහන පොත්වල තොරතුරු සකස් කර රටේ විවිධ පැතිවලට ඒවා අලෙවි කරන බව ද හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු නාවලපිටිය හපුගස්තලාව ප‍්‍රදේශයේ අයකු වන අතර බණ්ඩාර යන ඔහුගේ නම විජේ කුමාර් ලෙස සකස් කළ ව්‍යාජ හැඳුනුම්පතක් ද හමුවී තිබේ.

මොහු සිංහල අයකු වුවත් මෙවැනි ව්‍යාජ වාහන විකිණීමේ දී මෙම දෙමළ නම උපයෝගී කර ගනිමින් ඒවා සිදු කර ඇත්තේ කැඩුණු සිංහලෙන් ද කතා කරමිනි.

අනෙක් සැකකරු ගම්පොල කවුඩුපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළිවී තිබේ. මෙම ව්‍යාජ ත‍්‍රීරෝද රථය රුපියල් හත් ලක්ෂ අසූ දාහකට විකුණා තිබේ.

තවත් මෙවැනි ත‍්‍රීරෝද රථ තුනක් ගම්පොල ප‍්‍රදේශයට අලෙවි කර ඇතැයි යන තොරතුරු මත පරීක්ෂණ අරඹා තිබේ. සැකකරුවන් ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment