මහා සීනි බදු වංචාව(මොකක්ද මේ 30% කතාව)

1399

කෙතරම් දරුණු ආක්‍රමණිකයකු වුවද නැපෝලියන් බොනපාට් විසින් කරන ලද පහත සඳහන් ප්‍රකාශය ප්‍රගතිශීලී ලෝකවාසීන් සියලු දෙනාගේ හදවත් දිනාගත්තකි. “අපට ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ නරක මිනිසුන් ප්‍රචණ්ඩක්‍රියා කිරීම නොව හොඳ මිනිසුන් කටවල් වසාගෙන සිටීමය.” ලංකා ඉතිහාසයේ සිදු වූ ලොකුම බදු වංචාව වූ සීනි බදු වංචාව නිසා ශ්‍රී ලංකාවට අහිමි වූ රුපියල් මිලියන දාහත්දහස් හයසිය අසූඑක සම්බන්ධයෙන් කටවල් ඇරීම මේ රටේ යහපත් මිනිසුන්ගේ යුතුකම වී තිබේ. 2020 දී පටන් ගත් මේ මහා වංචාව නිසා රටට අහිමි වූ ඉහත සඳහන් බදු මුදලින් 30% ක් අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මේ වන විටත් පවසා තිබේ. එතකොට ඉතිරි හැත්තෑව ගෙවන්නේ පොලිසියෙන් ද? අපගේ වැටහීමට අනුව මහා සීනි බදු වංචාවට සම්බන්ධ සියලුම මුදල් රජය මගින් අයකර ගත යුතුය. කතාවේ ඉතිරි හරිය මෙතැන් සිට සාකච්ඡා කරමු.

වසර 2020 ඔක්තෝබර් 13 වැනිදා එවකට ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ නිලධාරියා විසින් නිකුත් කළ ලියැවිල්ලකට අනුව එදින පටන් ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කීපයක බදු මුදල් අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ක්‍රියාකර තිබිණ. ඒ අනුව පරිප්පු බද්ද කිලෝවකට රුපියල් 10 කිනුත්, ටින් මාළු බද්ද ග්‍රෑම් 425 ටින් එකකට රුපියල් 50 කිනුත්, ලොකු ලූනු බද්ද කිලෝවකට රුපියල් 50 කිනුත්, සීනි බද්ද කිලෝවකට රුපියල් 50 කිනුත් අඩු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව ලියැවිල්ලේ සඳහන් විය. මේ වන විට සුදු සීනි කිලෝවක් හෝ රතු සීනි කිලෝවක් වෙනුවෙන් රජය මගින් පනවන ලද බද්ද රුපියල් 50.25 කි. සීනි බද්ද රුපියල් 50 කින් අඩු කළ විට ඉතිරි වූයේ සත 25 ක් පමණි. මෙම ලිපියේ පිටපත් දුගී භාවය පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිටත්, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්ටත් සතොස සභාපතිටත් යවන ලදි. ඉන්පසු ඉහත සඳහන් තීන්දුව බලගැන්වීම සඳහා 2020 ඔක්තෝබර් 29 වැනිදා අංක 2199/20 යන අංකය යටතේ ගැසට් නිවේදනයක් ද නිකුත් කරන ලදි. එහෙත් කිසියම් හේතුවක් නිසා 2020 නොවැම්බර් 18 වැනිදා වනතුරුත් මේ බඩු ගෙන්වීම සඳහා ආනයන පාලක දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර නිකුත්කර තිබුණේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉහත සඳහන් බදු කපා හැරීම සිදුකරන ලද්දේ ඒ වන විට කොරෝනා වසංගතය ඉහළ තැනක තිබූ හෙයින් රට තුළ ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීමට විය යුතු යැයි අපි සිතමු. මෙය එම ක්‍රියාව සම්බන්ධයෙන් විය හැකි හොඳම අර්ථ නිරූපණය වෙයි. එහෙත් මේ භාණ්ඩ අතරින් සීනි බද්ද අඩු කිරීමෙන් සත පහක සුගතියක් ජනතාවට සිදුවුණේ නැත. ශ්‍රී ලංකාවේ මාසික සීනි පරිභෝජනය මෙටි්‍රක් ටොන් පනස්දහසකි. ඒ අනුව අවුරුද්දකට සීනි මෙටි්‍රක් ටොන් හයලක්‍ෂ දහදාහක් පමණ ලංකාවට අවශ්‍යය. කිලෝවලින් බැලුවහොත් මෙතැන කිලෝ කෝටි ගණනක් තිබේ. එම කිලෝ කෝටි ගණනින් එක කිලෝවකින් රුපියල් 50 බැගින් බදු ආදායමක් රටට අහිමි වූ විට ඇති විය හැකි තත්ත්වය නිකන් ගණන් බැලුවත් අතපය සීතල වන බව අපි දනිමු. මේ අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවක් නිකුත් විය. එම වාර්තාවට අනුව ලංකාවේ තිබෙන සමාගම් 9 ක් මේ රටේ සීනි වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම පාලනය කරති. එයින් පළවැනි සමාගම මාසයකට සීනි කිලෝග්‍රෑම් 7,832,421 ගෙන්වයි. දෙවැනි සමාගම සීනි කිලෝග්‍රෑම් 6,936,844 ක් ගෙන්වයි. ඊළඟ සමාගම ගෙන්වන සීනි ප්‍රමාණය මසකට කිලෝග්‍රෑම් 6,874,421 කි. තවත් සමාගමක් සීනි කිලෝග්‍රෑම් 6,391,579 ක් ගෙන්වයි. ඊළඟ සමාගම සහෝදර සමාගමකි. එය ගෙන්වන සීනි ප්‍රමාණය මසකට කිලෝග්‍රෑම් 5,091,863 කි. හයවන කොම්පැණිය සීනි කිලෝ 3,499,337 ක් මසකට මෙරටට ගෙන්වයි. හත්වන කොම්පැණිය මසකට ගෙන්වන ප්‍රමාණය කිලෝග්‍රෑම් 2,105,163 කි. සෙසු සීනි ආනයනකරුවන් හා සැසඳීමේදී මෙය සුළු ප්‍රමාණයකි. එහෙත් සීනි බද්ද අඩුකළ සැණින් මේ සමාගම මසකට සීනි කිලෝග්‍රෑම් 27,823,989 ක් ගෙන්වන්නට පටන් ගත්තේය. එය වෙනදා ඔවුන් ගෙන්වූ ප්‍රමාණය මෙන් 1222% ප්‍රමාණයකි. එම ප්‍රමාණය පනහෙන් වැඩි කළ විට මසකට ඔවුන් ලද සීනි බදු සහනය කොපමණ විශාලදැයි අපට සිතාගත හැකිය. ඒ අතර තවත් ඉතාම නරක සිද්ධියක් සිදුවිය. ශ්‍රී ලංකාවට ගෙන්වන ආහාර ද්‍රව්‍ය බදු නොගෙවා බන්ධිත ගුදම්වල තබාගත හැකි අතර, බදු ගෙවිය යුත්තේ එම භාණ්ඩ රේගුවෙන් එළියට ගන්නා විටදීය. අපට දැන ගැනීමට ඇති පරිදි සීනි බද්ද අඩු වීමට යන බව සමහර ප්‍රධාන සීනි ආනයනකරුවන්ට ලැබුණු අතර ඒ නිසා ඔවුන් තම බන්ධිත ගුදම්වල තිබූ සීනි තොග රේගුවට බදු ගෙවා පිටතට ගැනීමෙන් වැළකී සිටියහ. මේ හා සමාන තවත් සිද්ධියක් තිබේ. 2019 බලයට පත් ආණ්ඩුව සිගරැට් මිල වැඩි කිරීමට තීරණය කළේය. එක්තරා මුදලාලි කෙනෙකුගේ කනට මෙම ආරංචිය ගිය අතර ඔහු බැංකුවලින් රුපියල් මිලියන 500 ක් ණයට ගෙන විශාල සිගරැට් තොගයක් මිලට ගත්තේය. ඒ බව ආරංචි වූ ආණ්ඩුවේ තීරණ මෙහෙයවන ප්‍රධානියෙක් සිගරැට් මිල වැඩි කිරීමෙන් වැළකී සිටියේය. මේ නිසා පෙරකී මුදලාලි මහත්මයාට බැංකු පොලී පැත්තෙන් විශාල කරදරයක් සිදු වූ අතර සිගරැට් මිල වැඩිවන බවට තමාට ආරංචිය දුන් පුද්ගලයාට සාප කිරීමට පටන් ගත්තේය. එම ආරංචිය පෙර කී මුදලාලිට දී තිබුණේ එවකට තිබූ ආණ්ඩුවේ සිටි ලොකුම ලොක්කෙකි. රුපියල් මිලියන 500 ක සිගරැට් මුදල් කර ගැනීම ලෙහෙසි නැත. රුපියල් මිලියන 500 ක බැංකු ණයකට පොලී ගෙවීම ද ලෙහෙසි නැත. මෙය ආණ්ඩුව විසින් ආණ්ඩුව තුළම සිටි අයට විරුද්ධව ගැසූ ගේමකි.

සීනි බද්ද අඩු කිරීමේ වාසිය මෙරටට සීනි ගෙන්වන සමාගම් විසින් වංචනිකව හසුරුවන ලද බව පෙනෙන්නට තිබේ. එබැවින් මේ වංචනිකයන්ගෙන් ආණ්ඩුවට සිදු වූ පාඩුව වන රුපියල් මිලියන 17,681 ක සම්පූර්ණයෙන් ම අයකර ගැනීමේ වගකීම ආණ්ඩුව සතුය. එයින් 30% ක් පමණක් අයකර ගැනීමට යන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කී විට රටේ මිනිසුන් කල්පනා කරන්නේ එතැන කුමක් හෝ ඩීල් එකක් ඇති බවය. ඒ නිසා ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට අත දැමිය යුතු බව අපි විශ්වාස කරමු. මේ රුපියල් මිලියන දාහත්දහස් ගණන රටට ලබාගත හැකි නම් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවන්නේ නැත. එවිට රටේ ආර්ථිකය ඉතා සුළු ප්‍රමාණයකින් හෝ ලිහිල්වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment