මහින්දගේ දේශපාලන උදාසීනකම අර්බුදයක් – ජයන්ත සමරවීර

314

අපි ගොඩනඟන්නේ සාමුහික නායකත්වයක්

අර්බුදයේ කේන්ද්‍රීය සාධකය බැසිල්

බැසිල් විමල්ට එදිරි වුණේ වසර ගණනාවකට කලින්

රට තුළ පවතින සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව විමසා බැලීම සඳහා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ හිටපු රාජ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මුණගැසුනි. එහිදී ආණ්ඩු බලය අත්පත් කර ගැනීම, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිහඬතාව, අරාබි වසන්තයක් රට එළිපෙත්තට පැමිණීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ඔහු අදහස් දැක්විය. පහතින් පෙළගැසෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – වත්මන් රජයට එරෙහිව නව බලවේගයක් බලමුළු ගන්වමින් සිටින බව සඳහන් වෙනවා. එහි වත්මන් තත්ත්වය කෙසේද?

පිළිතුර – රජයට හැට නම ලක්ෂයක් ජනතාව ඡන්දය ලබා දුන්නේ විශාල බලාපොරොත්තු සම්භාරයක් පොදි බැඳගෙන. දැන් එම බලාපොරොත්තු එකින් එක ක‍්‍රම ක‍්‍රමයෙන් බිඳ වැටීමෙන් තිබෙනවා. නිසි කලට නිසි තීන්දු නොගැනීමේ ප‍්‍රශ්නය වත්මන් රජය තුළ බරපතළ ලෙස තිබෙනවා. අප විසින් සිදුකළ අභ්‍යන්තරික සාකච්ඡා තුළින් ප‍්‍රතිඵලයක් නොවන තැන එය අප රට හමුවේ අනාවරණය කළා. ඇත්තටම අපි රටේ භාරකාරීත්වයට වඩා අයිතිකාරීත්වයට වගකියන කොටසක්.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව වසර පහක කාලසීමාවක් සඳහා භාරකාරයෝ පමණයි. මේ රටේ අයිතිකාරීත්වය රටේ ජනතාව. අප වගකියන්නේ ඔවුන්ට පමණයි. ඇමැතිකම් දරා වරදාන වරප‍්‍රසාද ලබා ගනිමින් වෙන දේ බලාගෙන සිට ඉතිහාසයේ වැරදිකාරයෝ වෙන්න අපට හැකියාවක් නැහැ.

ප‍්‍රශ්නය – ඉතිහාසයේ වැරදිකාරයෝ වෙන්න බැරි යැයි ඔබ කීවත් දැනටමත් ඔබලා ඇතුළු පිරිස ඉතිහාසයේ වැරදිකාරයෝ වී අවසන් බව ඇතැමුන් සඳහන් කරනවා.

පිළිතුර – නැහැ.. අපි වැරදිකාරයෝ නෙවෙයි. අපට ඒ මොහොතේ ගෝඨාභය, සජිත්, අනුර යන තෝරාගැනීම් තුනක් තිබුණා. අනුර කියන සාධකය ඉවත් කළ පසු ගෝඨාභය සහ සජිත් යන සාධක දෙකෙන් අප තෝරාගත යුත්තේ කවුද? එහිදී අපි ජයග‍්‍රහණය කරවිය යුත්තේ සජිත්ද? සජිත් ජයග‍්‍රහණය කර තිබුණේ නම් මේ වන විට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම අත්සන් කර අවසන්. දෙමළ ඊළාම් බෙදුම්වාදයට, ඉස්ලාම් අන්තවාදයට දොළපිදේනි දී අවසන්. රනිල් වික‍්‍රමසිංහ නතර කළ තැන සිට සජිත් පාලනය ඉන්දු පැසිෆික් උපායමාර්ගික ගමන මෙලහකටත් බොහෝ සේ ඉදිරියට රැගෙන ගොස් රට ඇමෙරිකානු ඉන්දියානු කොලනියක් කර අවසන්. එබැවින් ඒ මොහොතේ සුදුසුම තෝරාගැනීම කර එම ප‍්‍රයත්නයන් නතර කළ යුතුව හෝ අඩාල කළ යුතුව තිබූ කරුණ අප කළා.

ප‍්‍රශ්නය – නතර කළ යුතුව හෝ අඩාල කළ යුතුව තිබූ කාරණය ඔබ කළා යැයි සඳහන් කළත් දැනුත් සිදුවෙමින් තිබෙන්නේ එයම යැයි ඇතැමුන් චෝදනා කරනවා.

පිළිතුර – ‘‘සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කියන්නේ ඉන්දු පැසිෆික් මූලෝපායට පටහැනි ජාතිකවාදී දේශපේ‍්‍රමී මූලෝපායික පදනම මත පදනම් වූ ආර්ථික වැඩපිළිවෙළක්. අපට දී තිබූ තත්ත්වයන්ට අනුව අපි බලයට පත් කළේ ඒ වැඩපිළිවෙළයි. අප එය තෝරා පත්කළ පමණින් අපගේ කාර්යභාරය අවසන් කළා යැයි සිතා බලාගෙන සිටියේ නැහැ. අපගේ තෝරා ගැනීම සහ අරමුණු හා පරමාර්ථ ගැටෙද්දී අප ගත්තේ කිනම් පැත්තද? අපි ගත්තේ ජනතාවගේ පැත්ත. නැගෙනහිර පර්යන්තය, කොතලාවල පනත, එල්එන්ජී බලාගාර පැවරීම ඇතුළු ආණ්ඩුවේ වැරදි ක‍්‍රියාමාර්ග ගණනාවකදී අප ඊට තදින් විරුද්ධව රජයට එරෙහි ක‍්‍රියාමාර්ග ගත්තේ ජනතාවගේ පැත්තේ සිටි නිසයි. අපි දෙන දෙයක් ගෙන වෙන දෙයක් බලාගෙන සිටින මිනිස්සු නෙවෙයි.

අප විරුද්ධ වුණා. අභ්‍යන්තර සංවාදයේ නිරත වුණා. අභ්‍යන්තර අරගලයක නිරත වුණා. ඒ සියල්ල ප‍්‍රතිඵල රහිත වෙද්දී එම තත්ත්වය එළියට ඇවිත් ජනතාවට කිව්වා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව අපව එළියට දැමුවා. ආණ්ඩුවේ එම තීරණය අපි භාර ගත්තේ සතුටින්. රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මා ඉල්ලා අස් වුණා. ඉන් නොනැවතී ජනතා පරමාර්ථය ඉෂ්ට සිද්ධ කිරීම වෙනුවෙන් බරපතළ තෙරපීමක් අපි රජයට කරමින් සිටිනවා.

ප‍්‍රශ්නය – ඇත්තටම ආණ්ඩුව ඔබව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්න ප‍්‍රථම ඔබ ඉල්ලා අස් වුණා නොවේද?

පිළිතුර – කිසිසේත් නැහැ. හෘද සාක්ෂියක් ඇති මහජන නියෝජිතයෙක් ලෙස, ඒ වගේම රටට ආදරය කරන රට මිනිසෙක් ලෙස මා හරි තීරණය ගත්තා. හදවතක් නොමැති කශේරුකාවක් නොමැති මිනිසෙක් සේ සිටීමට අපට පුළුවන් කමක් නැහැ.

ප‍්‍රශ්නය – ඇත්තටම මෙම ආණ්ඩුව ඔබතුමන්ලාගේ සහයෝගයෙන් ගොඩනඟාගත් ආණ්ඩුවක්. එහෙව් ආණ්ඩුවක සහෝදර පක්ෂයකට ආණ්ඩුව කුඩම්මාගේ සැලකිලි දක්වන්නෙ ඇයි?

පිළිතුර – එයට නම් පොඩි ඉතිහාසයක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 වසරේ පරාජයට පත්වූ පසු නැවතත් එතුමාව බලයට රැගෙන ඒම සඳහා අප විශාල වැඩ කොටසක් කළා. ඒ ගැන මුළු රටම දන්නවා. ඒ ගැන නැවත නැවත සඳහන් කළ යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ අවකාශය නොමැතිනම් අපගේ තේරීම වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා. නමුත් පැදුරටත් නොකියා රටින් පලා ගිය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම සඳහා බොහෝ වැඩකොටසක් කරමින් තිබුණා. ඔහු ඒ සඳහා ඡායාරූප ගෙන තිබුණා. ඔහු මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කර තිබුණා. ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුළු විශාල වැඩ කොටසක් එතුමා කරමින් තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී තමයි අප ගෝඨාභය රාජපක්ෂ මහතාව යෝජනා කළේ. අප යෝජනා කළා පමණක් නොව සහෝදර පක්ෂවල සහයත් ඊට ලබා ගත්තා. ඉන් නොනැවතී එතුමාගේ ගමන ජයග‍්‍රහණයකින් කෙළවර කිරීම සඳහා ප‍්‍රබල ජන මතයක් ගොඩනැඟුවා. ඒ නිසයි බැසිල් රාජපක්ෂ මහතා විමල් වීරවංශ මහතා සමඟ එදිරිවාදිකමක් ඇති කර ගත්තේ. ඇත්තටම අපි බැසිල් රාජපක්ෂ මහතාගේ අභිලාෂයන් කුඩුපට්ටම් කර දැමුවා. ඔහුගේ සිහින බොඳ කළා. ඒ නිසයි ඔහුට හැන්ද ලැබුණු පසු අපට මෙහෙම සලකන්නේ.

ප‍්‍රශ්නය – හැබැයි විමල් වීරවංශ මහත්තයට හොඳ අමාත්‍යාංශයක් ලැබුණනෙ..

පිළිතුර – එතුමාට නොදී බැහැනෙ. එම අමාත්‍යාංශය අමාත්‍යාංශය ඉතිහාසයේ පැවතියේ වෙළෙඳ වාණිජ, කර්මාන්ත අමාත්‍යාංශය කියල. ඒකත් මේ සැරේ වාණිජ නෑ, කර්මාන්ත විතරයි. සාමාන්‍යයෙන් අමාත්‍යාංශයක් ලබා දීමේදී එකම දිස්ත‍්‍රික්කයක රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ කැබිනට් අමාත්‍යවරයෙක් දාන්නෙ නෑ. එහෙම දානව නම් දාන්නෙ මොකක්ද හරි කෝන්තරයක් පිහිරිමහන්න තමයි. රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා, දිලීප් වෙදආරච්චියි, මහින්ද අමරවීරයි දැම්ම. එහෙම කළේ දිලිප් වෙදආරච්චි කියන්නෙ සජිත් පේ‍්‍රමදාසගෙ හිතෛෂියෙක්. එතකොට මහින්ද අමරවීර අනෙත් පැත්තෙ. එතකොට ගැටුම. අන්තිමට ඉතුරු වුණෙ ගැටුම විතරයි. ඊළඟට විජේදාස රාජපක්ෂ සුජීව සේනසිංහ දැම්ම. එතනත් ඉතරු වුණේ ගැටුම විතරයි. අපේ කැබිනට් මණ්ඩලයේ එහෙම එකක්වත් රාජ්‍ය ඇමැතිකම් දැම්මෙ නෑ. හැබැයි රෝහිත අබේගුණවර්ධනයි, ජයන්ත සමරවීරයි කැබිනට්, රාජ්‍ය ලෙස එක අමාත්‍යාංශයට දැම්මා. ගැටුම විතරයි ඉතුරුවෙන්නෙ. අපි ඒක දරාගෙන පුද්ගලික ගැටුම් ඇතිකරගන්නෙ නැතිව, අපිට දීල තියෙන අභියෝග භාර අරගෙන කොහොමද ආයතන හදන්නෙ කියල.

ප‍්‍රශ්නය – ඔබතුමන්ලට මේ ආණ්ඩුව ඇතුළෙ තියෙන විරෝධය තමයි බැසිල් රාජපක්ෂ. ඒත් අද ඉන්නෙ ඔබතුමන්ල පත්කරපු ජනාධිපතිවරයෙක්. විධායක බලතල තියෙන ජනාධිපතිවරයෙක්ට තියෙන බලයට වඩා ආණ්ඩුව ඇතුළෙ බලපෑම් කරන්න තරම් බැසිල් රාජපක්ෂට බලයක් ලැබෙන්නෙ කොහෙන්ද?

ප‍්‍රශ්නය – රාජපක්ෂ පවුල අනෙක් පවුල්වලට සාපේක්ෂව විශේෂ පවුලක්. ඉතින් ඒ පවුලේ තියෙන එකඟතාවන්, සම්මුතීන් එක හේතුවක් වෙන්න පුළුවන්. දෙක ඔහු පිටුපස තියෙන ජාත්‍යන්තර බලය. ඇමෙරිකානු එක්සත් ජනපද, ඉන්දු-පැසිෆික් උපාය මාර්ග නියෝජිතයා ඔහු. ඔහු පිටුපස තියෙන්නෙ ඒ බලය. කල්පනා කරල බලන්නකො ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් එනව ඔහුව බලයට ගේන්න. ඒක ලෝකයේ කොයි රටකවත් වෙලා නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය අයින් කරල රටේ ජනාධිපති වුණා. බැසිල් රාජපක්ෂ මහත්තයටත් තිබුණනෙ ද්විත්ව රටවැසිභාවය අයින් කරගෙන පර්ලිමේන්තුවට එන්න. හැබැයි ඔහු ආවෙ ව්‍යවස්ථාව වෙනස් කරගෙන. අපි මේක දැක්ක. දැකල අපි මේකට විරුද්ධව අභ්‍යන්තර අරගලයක නියැළිල ජනාධිපතිතුමා හම්බවුණා. ජනාධිපතිතුමා කිව්වෙ මගේ ජනාධිපතිධුර කාලය දෙවැනි වසරට ඉක්මවෙන්නට පළමුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේනව කියල. එකෙන් ද්විත්ව පුරවැසියෙක්ට පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි රටේ වෙනත් තනතුරක් දරන්න නොහැකි වන ආකාරයට නීති ගේනවා කිව්ව. එතකොට තමයි අපි කියන්නෙ ඒ ගැන අධිකරණ ඇමැතිතුමා මාර්ගයෙන් පාර්ලිමේන්තුවට කියන්න කියල. ඒකටත් එකඟ වුණා. අලි සබි‍්‍ර අධිකරණ ඇමැතිතුමා ඒ දේ පාර්ලිමේන්තුවෙදි කිව්වා.

මහින්දගේ දේශපාලන උදාසීනකම අර්බුදයක් - ජයන්ත සමරවීර

අපි 20ට පක්ෂව ඡන්ය දුන්න තමයි. අපි එහෙම දුන්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට වඩා සුදුසුයි කියල යෝජනා කළේ අපි. ඒ සුදුසුයි කිව්වෙ ඔහුගෙ අතීතයෙ කළ කී දේවල් ගැන බලල. අපි ඔහුව ජනාධිපති කරන්න පළල් ජනතා ව්‍යාපාරයක් හැදුව විතරක් නෙමෙයි, ඒ මගින් ඔහුව ජනාධිපති බවට පත් කළා. එහෙම ජනාධිපතිවරයෙක් 20 ගෙද්දි අවුරුද්දක් ගිහින් නැති තැනකදී අවිශ්වාස කරන්න තරම් කරුණු තිබුණෙ නෑ. එහෙම විශ්වාස කරල තමයි 20ට අපි පක්ෂපාතී වෙන්නෙ.

ප‍්‍රශ්නය – ඔබතුමන්ලගෙ පක්ෂය ඇතුළු ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන පිරිසගෙ ප‍්‍රධාන චූදිතය වෙන්නෙ බැසිල් රාජපක්ෂ. නමුත් ඔහු වටා තව පිරිසක් ඉන්නව. ඒ අය ගැන ඔබලාගෙ විවේචනයක් නෑනේ.

පිළිතුර – බැසිල් රාජපක්ෂ මහත්තය ඉලක්ක කරගෙන චෝදනා එල්ලවෙන්නෙ ඒ කේන්ද්‍රීය සාධකය නිසයි. ඕනම ගැටලූවක සංසිද්ධියක කේන්ද්‍රීය කාරණයක් තියෙනව. මේ කේන්ද්‍රීය සාධකය තමයි බැසිල් රාජපක්ෂ. ඔහු තමයි ඉන්දියානු ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුමේ බලසම්පන්නම නියෝජතය. ඔහුට අනුව තමයි ආණ්ඩුව හැසිරෙන්නෙ.

ප‍්‍රශ්නය – මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපේ‍්‍රමීත්වය වගේ කාරණා ඒ නිසා යටගිහින්ද?

පිළිතුර – ඔව්… පැහැදිලිවම.

ප‍්‍රශ්නය – එහෙමනම් ව්‍යාජ දේශපේ‍්‍රමයක්ද මේ නඩත්තු වෙන්නේ..?

පිළිතුර – මහින්ද රාජපක්ෂ මහත්තය 2005 ජනධිපතිධුර කාලයෙදි ඔහු විධායක ජනාධිපතිවරයා. ඔහුට පක්ෂයක් සහ විධායක බලතල තිබුණ. ඒ නිසා ඔහු බය නැතිව තීරණ ගත්ත. ජනමූල නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නෙ. ඒ වගේම එතුමා දේශපාලන වශයෙන් පරිණත, තැලිල පොඩිවුණු නායකයෙක්. ලොකු දේශපාලන පරිචයක් තිබ්බ නායකයෙක්. ජනාධිපති ධුරය හසුරුවන්න විශාල යාන්ත‍්‍රණයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔහුට තිබුණ. ඒ නිසා බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ තීන්දුව අරගෙන අඛණ්ඩව ඔහු ඒ සටනේ බොහොම එඩිතරව ඒකට මැදිහත් වෙනව.

හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තය…? සහෝදරය තමයි. ඔහුත් යුද්ධය ඉවරකිරීමෙන් විශාල හැකියාවක් පෙන්නුම් කළා තමයි. හැබැයි ජනාධිපතිවරණයෙදි ඔහුට කෝ දේශපාලන නායකත්වයක්. ඔහුට පක්ෂයක් නෑ. ඔහුට තියෙන්නෙ ආණ්ඩුවක් විතරයි. ඒකයි පොදුජන පෙරමුණේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මහත්තයට දෙන්න කියල විමල් වීරවංශ මහත්තය කිව්වෙ. එහෙම වුණා නම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණ. හැබැයි ඒක දෙන්නෙ නැත්තෙ හිතාමතාම තමයි. අර ඇමෙරිකානු ඉන්දියානු ඒකාබද්ධ මෙහෙයුම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට දේශපාලන නායකත්වය දෙන්නෙ නෑ. ඔහුව ජනාධිපති මන්දිරයෙ කොටුකරල තියෙනව. අද රටේ දේශපාලනය මෙහෙයවන්නෙ වෙන තැනකින්.

ප‍්‍රශ්නය – මහින්ද මහත්තයට කරන්න දෙයක් නැද්ද?

පිළිතුර – කරන්න දෙයක් ඇති. හැබැයි ඔහුගේ නිශ්ක‍්‍රීයබව ගැන අපට තියෙන්නෙ මහා උභතෝකෝටිකයක්. ඒක ගැන හරිම විශ්මයක් තියෙන්නෙ. ඔහුට තේරෙනව මේ යන්නෙ වැරැදි ගමනක් බව. ඒ බව සාක්ෂි සහිතව පිළිඹිබු වෙච්ච අවස්ථාව තමයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුන්වැනි සම්මේලනයෙදි ඔහුගෙ කතාව. ඔහු හඳුනගෙන තිබුණ ප‍්‍රශ්නය. ඒකට ඔහු පිළිතුරු ලබාදුන්න. කොහොම වුණත් ඔහු දැනට ඉන්න මේ ස්වභාවය ගැන අපට තියෙන්නෙ බලවත් විශ්මයක්.

ප‍්‍රශ්නය – කවුද මේ නායකත්වය….?

පිළිතුර – ඒක පුද්ගල නායකත්වයක් නෙමෙයි. ඒක සාමූහික නායකත්වයක්. ඒ වැඩපිළිවෙළක්. මේ රටේ ජනතාවට සිනහව, ප‍්‍රීතිය ඕන නම් මේ ආර්ථික මොඩලයෙන් සම්පූර්ණයෙන්ම ගලවන්න ඕන. ජාතිකවාදී නිෂ්පාදන ගමනට මේ රට හරවන්න ඕන. ඒකට ඉතිහාසයෙන් අපට පාර අහගන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ඔබල ඉදිරියේදී ගොඩනඟන බලවේගය, නැත්නම් නායකත්වය ගැන ජනතාවට පසුතැවෙන්න වෙන්නේ නෑ කියන්න සහතිකයක් දෙන්න පුළුවන්ද? මොකද ඔබතුමන්ම කියනවනෙ ඔබතුමන්ලට මේ පාර වැරදුණා කියල. එහෙම බැලූවාම ඔබතුමන්ල ගැන ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලනෙ. ඒ බිඳ වැටුණු විශ්වාසය යළි නැතිකරල ඔබලා කියන බලවේගය වටා ජනතාව එක්රැස් කරන්න පුළුවන් වෙයිද?

පිළිතුර – ඒක තමයි මම කිව්වෙ තනි පුද්ගල නායකත්වයක් නෙමෙයි ඉදිරියේදී ගෙන්නෙ කියල. නායකත්ව මණ්ඩලයක් සකස් කර අද රටේ තියෙන සමාජ, ආර්ථික ගැටලූ විස්ථාපනය කරල, මිනිස්සුන්ට සමගියෙන්, සාමයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක් හැදීමේ ජනතාවගේ යෝජනාවලින් සැදුම්ලත් නව වැඩපිළිවෙළක් සඳහා තමයි මේ සාමූහික නායකත්වය නිර්මාණය වෙන්නෙ. මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවටත්, දැන් තියෙන අණපනත්වලට මේ රට අඟලක්වත් ඉස්සරහට ගන්න බෑ.

ප‍්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමන්ලගෙ වැඩපිළිවෙළේ ව්‍යවස්ථාවත් වෙනස් වෙනවද?

පිළිතුර – සම්පූර්ණයෙන් වෙනස් වෙනව. අපේ වෑයම තියෙන තත්ත්වයෙ ඉඳගෙන තව ආණ්ඩුවක් හදන එක නෙමෙයි. බැ?රුම් පරිවර්තනයක් සිදුකිරීම අරමුණු කරගෙන තමයි ඊළඟ ජනවරම නිර්මාණය කළ යුතු වෙන්නෙ.

ප‍්‍රශ්නය – මේ ඉන්න පක්ෂත් එක්ක ඒ ගමන යන්න පුළුවන්ද?

පිළිතුර – ඉතාම පැහැදිලියි, රටට ආදරය කරන, ජාතික සහ ජාත්‍යන්තර අවබෝධය මුල්කොටගෙන හැම පක්ෂයම ඉන්න පිරිස අපිත් එක්ක ඉදිරියෙදි එකතු වෙයි. මෙය පළල් ජනතා ව්‍යාපාරයක් වෙයි.

ප‍්‍රශ්නය – පොදුජන පෙරමුණෙන් පස්සෙ ඔබතුමන්ලට බලය ගන්න පුළුවන්ද?

පිළිතුර – අපි ප‍්‍රබල මහජන බලවේගයක් නිර්මාණය කරනවා. ඒක අනිවාර්යයි. දෑහිතකාමී ජනයාගෙන් සුසැදි එම බලවේගය රටේ බලය අත්පත් කර ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තව අවුරුදු තුනක් බලය තියෙනවනෙ. මේ අවුරුදු තුන ඇතුළත එතුමට අවස්ථාව තියෙනව. අපි ආණ්ඩුවෙ නැතිවුණාට කමක්නෑ, දැන්වත් මේ ගැඹුරු ඇත්තට ඇහුංකන් දෙන්න. මේ ඇතිවී තියෙන අර්බුදය ඇතිවුණෙ කොතනින්ද? ඒකට විසඳුම මොකක්ද? ඒ විසඳුම ක‍්‍රියාවට නඟන්නෙ නැත්තෙ ඇයි? අපි 2020 සැප්තැම්බර්වල අපි කිව්ව ඇතිවෙන්න පුළුවන් බරපතළ තත්ත්වයන්ට විසඳුම් හොයන්න විශේෂඥ කමිටුවක් පත්කරන්න කියල. ඒ ගැන කල්පනා කළේ නෑ. ජනතාවට ඇත්ත කිව්වෙ නෑ. අපි ණයට කාල සැපට හිටපු රටක්. තවත් අපට තියෙන අර්බුදයෙ සැබෑ තත්ත්වය රටට කියන්නෙ නෑ. අපි කියන්නෙ මේ අර්බුදය ගැන ජනතාවට කියල ඔවුන්ව පේ‍්‍රක්ෂකයො කරගන්නෙ නැතිව ඔවුන්ව සහභාගි කරගන්න මේ අර්බුදයෙක් ගොඩඑන්න.

ප‍්‍රශ්නය – මේ වන විට රටේ ජනතාව විශාල ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටිනවා. ඇතැම් තත්ත්වයන් ජනතාවට දරා ගන්න නොහැකියි. ඇති වෙමින් පවතින තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කෙසේද?

පිළිතුර – ඔව්. මේ වන විට රටේ ජනතාව ඉන්නේ ඉතිහාසයේ පෙර කිසිදා නොවූ විරූ පීඩනයක. මෙම පීඩනය අපාන්තික පීඩනයක් . එහිදී කිසිදු පන්ති බේදයක් නැහැ. ඇත්තටම සකල ලක්වාසීන් මෙතරම් පීඩාකාරී තත්ත්වයක ඉතිහාසයේ ලක් වී නැහැ. මෙම පීඩනය කොයි වෙලේ පිටවී යයි ද දන්නෙ නෑ. අපි මහා අපරාධ රැල්ලක් අභිමුව සිටින්නේ. ජනතා කැරලිකාරීත්වයක පාමුල අප සිටින්නේ. කවුරුන් හෝ මෙය උසිගැන් වුවහොත් එය කිසිදු දේශපාලන පක්ෂයකට එය නතර කරන්න නොහැකි වේවි. එසේ වුවහොත් මහජන කැරලිකාරිත්වයකට අප රට අවතීර්ණ වී රට අරාජික වේවි. අපි අරාබි වසංතයක නැතහොත් රෝස වසංතයක පාමුල සිටින්නේ. ඇත්තටම මෙම තත්ත්වය විෂකුරු බලවේගයක් ඔවුන්ගේ අතට ගතහොත් හිතාගන්න බැරි විනාශකාරී අත්දැකීමක් වෙත රට ගමන් කරාවි. එම නිසා අප ජනතාවට අනතුරු අඟවන්නේ එක වරදක් තවත් වරදකින් නිවැරැදි කරන්න උත්සාහ නොගන්නා ලෙසයි. මෙම තත්ත්වය සබුද්ධික ජනතාව තේරුම් ගත යුත්තක්. එම නිසා මෙම නරක තත්ත්වය වඩා යහපත් තැනකින් කෙළවර කිරීම සඳහා වන මැදිහත්වීම අප කිරීමට සූදානම්.

ප‍්‍රශ්නය – රට මෙතරම් බරපතළ ආර්ථික, සමාජීය හා දේශපාලන ප‍්‍රශ්නයන් වෙත ගමන් කරමින් තිබියදී වගකිවයුත්තන් ඒ සඳහා නිවැරදි වූ උත්තර නොසොයන්නේ ඇයි..?

පිළිතුර – ඇත්තටම මේක බරපතළ ප‍්‍රශ්නයක්. රට මෙතරම් ආර්ථික අවපාතයක් කරා ගමන් කරද්දී අපට ණය ප‍්‍රතිව්‍යහගතකරණයකට යන්න තිබුණා. නමුත් ඒ සඳහා තවම සැලසුමක් හෝ නැහැ. රුපියල පා කරන්න තිබුණේ මීට මාස ගණනාවකට පෙර. අපට මිතුරු රටක් වන චීනයෙන් උදව් ගන්න තිබුණා. ඒ වගේම අපට අපගේ විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්න තිබුණා. එසේ කළා මේ වගේ අර්බුදයකට රට යන්නේ නැහැ. ජනාධිපතිවරයා මෙතරම් අප‍්‍රසාදයට පත් වන්නේ නැහැ. ජනතාවට නොමැරී මැරෙන ජීවිතයක් උරුම වන්නේත් නැහැ. ප‍්‍රශ්නයට විසඳුම් නොසොයන්නේ නම් මෙවැනි තත්ත්වයන් රට තුළ ඇති වන බව දන්නේ නැද්ද? ඔවුන් එහෙම වෙන බව දන්නවා.

ඒ සඳහා පාර කපන අය එසේ කරන්නේ ජනාධිපතිවරයා අප‍්‍රසාදයට ලක් කරන්නයි. එසේ වුවහොත් ඔහුට කලකිරීමක් ඇතිවෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඔහු මෙම තනතුරු දමා ගිය හොත් එහි වාසිය අත්වන්නේ කාටද. ඒ බෝනස් එක ගන්න කවුරුන් හෝ සැදී පැහැදී සිටිනවා.

මේ ආකාරයට රට අර්බුදයකට වැටුණු පසුයි බටහිරට අවශ්‍ය බෙහෙත අපට පොවන්න පුළුවන් වන්නේ. ඇත්තටම දැන් අපේ රට හොම්බෙන් ගිහින්නෙ තියෙන්නෙ. දැන් කවුරු වුණත් දෙන බෙහෙතක් අපට බොන්න වෙනවා. ඉන්දියාව අපට ඩොලර් බිලියනයක ණය දෙන්නේ නිකන් ද. ඒ සඳහා හිලව්වට මේ වනවිට ගිවිසුම් කීයක් අත්සන් කර තිබෙනවාද. මඩකලපුව සහ පලාලි ගුවන් තොටුපළවල් සිවිල් ගුවන් තොටුපළවල් බවට පත් කරනවා. ඉන්දියාවේ අදානි සමාගමට ත‍්‍රිකුණාමලයේ වෙනම ජැටියක් ලිට්රෝ සමාගමත් ලබා දෙනවා. ඔවුන් ඩොලර් බිලියන ගණන් දෙන්නේ නිකං නෙවෙයි.

පසුගියදා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඞ් ලේකම්වරිය ලංකාවට පැමිණියා. නේපාලයේ එම් සී සී ගිවිසුම අත්සන් කළේ ඇයයි. යුක්කේ‍්‍රනය අද වැටී ඇති ඛේදනීය තත්ත්වයට ඇද දැමූ පුරෝගාමියා වන්නේ ඇයයි. එවැනි ඉතිහාසයක් ඇති රාජ්‍ය ලේකම්වරියක් මේ මොහොතේ ලංකාවට එන්නේ ඇයි? ඔවුන් දන්නවා ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට දිග හෙළි කරගන්න සුදුසුම අවස්ථාව මෙය බව. මෙම තත්ත්වය ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දන්නවා. ඔවුන්ගේ උපාය මාර්ගයට අප රට හසුකර ගැනීමට මෙම අවස්ථාව හොඳම අවස්ථාවයි. ඒ නිසයි ඒ සඳහා සුදුසුම කෙනා මේ වෙලාවේ ලංකාවට ආවේ. අපේ රට හිතාමතා අර්බුදයකට ලක් කිරීමේ රහස යට ඇති සත්‍ය එයයි. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන්දියානු, ඇමෙරිකානු, ඉන්දු පැසිෆික් න්‍යාය පත‍්‍රයන්ට මේ රටේ දිග එළි කරන්න වෙනවා. එය සම්පූර්ණයෙන්ම දිග හැරියොත් ආපහු මේ රටෙන් ගත යුත්තක් නැහැ. අපි තවත් බටහිර ඉන්දියානු කොලනියක් වෙන එක නතර කරන්න බැහැ. ඊට ප‍්‍රථම මේ රටේ ජනතාව අවදි කරවීම අපගේ මහා වගකීමක්. ඒ සඳහා අප ජනතාව බලමුළු ගන්වන්නට වෙනවා. එසේ කිරීම සඳහා තුන්තිස් පැයම කැපව අප කටයුතු කරනවා. ඒ සඳහා එකතු වෙන මෙන් සියලූ දෑහිතකාමීන්ට අප ආරාධනා කරනවා. ඇත්තටම මේ සිදුවන්නේ ඉන්දු ඇමෙරිකානු ඒකාබද්ධ ආක‍්‍රමණයක්. ඊට එරෙහිව අපි නැඟී නොසිටියහොත් අනාගත දූ දරුවන්ට ඉතුරු වන්නේ කනත්තක් මිස රටක් නොවෙයි.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment