මහින්දාගමනය හෑල්ලුකළ දේශපාලන යක්ෂාගමනය

620

සිංහල සංස්කෘතිය, සිංහල බෞද්ධ සංස්කෘතියේ ආඩ්‍ය ලකුණින් විචිත්‍ර කළ අභිනව සභ්‍යත්වයක වර්ධනය හා ව්‍යාප්තිය මෙරටේ දස දෙසට පැතිර ගිය මහින්දාගමනය සිහිපත් කෙරෙන පොසොන් සතිය තවමත් අවසන්ව නැත. මහින්දාගමනයෙන් ජාතියට දායද කළ සමාජ වටිනාකම් සාරධර්ම ප්‍රතිපත්ති පරිහානියට පත්කළ දේශපාලන යක්‍ෂාගමනයක කෲර වධයට ලක්ව පීඩා විඳින සමාජයක් අද අප අබියස නිර්මාණය වී තිබෙන බවද නොරහසකි. ඒ යක්‍ෂාගමනය කෙතරම් බිහිසුණුද යත් නිදහසින් පසු ශ්‍රී ලාංකික සමාජය පත්ව සිටින අඳුරුම යුගය අද උදාවී තිබේ. මේ අන්ධකාර අවිචාර යුගයේ උපත දශක කීපයක් අතීතයට විහිද යන්නකි.

මහින්දාගමනය හෑල්ලුකළ දේශපාලන යක්ෂාගමනය

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති ලංකාව, එයින් නිදහස ලබාගත් 1948 න් පසුව වුවද අපගේ සම්ප්‍රදායි උරුමයන් හා සංස්කෘතික වටිනාකම් මත යළි නිදහස් රාජ්‍යයක් ලෙස වර්ධනය කිරීමටද අපට නොහැකි විය. ඇත්ත වශයෙන්ම මහින්දාගමනයේ විශිෂ්ට ලක්‍ෂණ සියල්ල ඒ වනවිටත් අභාවයට ගොස් නොතිබුණි. එහෙත් නිදහසින් පසු රට භාරවූ ප්‍රභූවරුන් බහුතරයකට ඒ ජාතික අනන්‍යතාව පිළිබඳ ගැඹුරු හැඟීමක්ද නොවීය. අද බදාදා ලියැවිල්ල ඒ පිළිබඳ සැකෙවින් විමසා බැලීමට ද උනන්දු වෙයි.

ඉහත සඳහන් කළ පරිදිම මෙරට ආක්‍රමණය කළ කිසිදු බලයකට අපගේ සංස්කෘතික ආධ්‍යාත්මය සපුරා බිඳ දැමීමට නොහැකි විය. මහින්දාගමනයෙන් ජාතියට දායාද කළ මහාර්ඝ වටිනාකම් පද්ධතිය මෙන්ම ඒ සංස්කෘතික පහන්සිල නිවා දැමීමටද කිසිදු ආක්‍රමණිකයෙක් අසමත් විය. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් කිසිවකුට කළ නොහැකිවූ ඒ කාර්ය මෙරටේම අනුකාරක ප්‍රභූවරුන්ගෙන් සපුරාගත හැකිවීම දෛවයේ සරදමක් වැන්න. ඉංග්‍රීසි කතිර කොඩිය බිම දමා සිංහකොඩිය එසවූ නමුත් අපේ මුල් කාලීන දේශපාලනය මහින්දාගමනයෙහි හරයෙන් වියෝවූ යක්‍ෂයාගමනයක් ලෙස හැඳින්වීම නිවැරදිය. මෙරටේ දේශපාලන ගමන්මග කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳ ඒ ප්‍රභූ පාලනය නිවැරදිව තේරුම් ගත්තේද නැත. බටහිර අනුකාරක මනසකින් ජාතික සංස්කෘතික වටිනාකම් ප්‍රතික්‍ෂේප වීමද පුදුමයක් නොවේ. එහෙත් ඒ ජාතික සංවාදය මෙරටේ තිබුණි. අනගාරික ධර්මපාල වැනි වියතුන්, දේශප්‍රේමීන් ඒ කාර්ය සඳහා කැපවූ බවද කිවයුතුය. එහෙත් මහින්දාගමනයෙන් පුනරුදයකට පාත්‍ර වූ සංස්කෘතික වටිනාකම් සියල්ල වෙනුවට පාලකයන් රුචිවූයේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහිය. මේ දේශපාලන ගමන, ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද විශිෂ්ට අවස්ථාව ලෙස පනස් හයේ සිදුවූ වෙනස දැක්විය හැකිය. 56 පෙරළිය මෙරටේ බමුණු කුලය බිඳ වැටීමක් ලෙස මෙන්ම බටහිර අධිරාජ්‍යවාදී දේශපාලන ප්‍රභූවරුන්ට අත්වූ ඓතිහාසික පරජයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ වෙනත් සමාජ විiාඥයෝද හැඳින්වූහ. එහෙත් එදා සිදුවූ සංස්කෘතික විප්ලවය විදග්ධ ලෙස දේශපාලනයට බද්ධ නොවූ බවද කිව යුතුය.

1972 දී එතෙක් අප රටේ නීතිය බවට පත්ව තිබුණු සෝලබරි ව්‍යවස්ථාව අහෝසිවීමද නිසැකයෙන්ම ජාතික ජයග්‍රහණයකි. එහෙත් 1978 දී ජේ. ආර්. ජයවර්ධන යළිත් රාජ්‍ය බලය අත්පත් කර ගනිමින් 72 ව්‍යවස්ථාවද වීසිකර දැමීය. 72 ව්‍යවස්ථාවෙහි දුබලතා ඉවත් කර මෙරටේ සමාජ – ආර්ථික දේශපාලන අභිවර්ධනයට උචිත ව්‍යවස්ථාවක් සකසා ගැනීමට ජයවර්ධන උනන්දු වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ අද රටටම ව්‍යසනයක් වී තිබෙන දේශපාලන යක්‍ෂාගමනයට උචිත අවකාශය සකසා දීමක් බව අද බොහෝ දෙනකුගේ විවේචනය වී තිබේ. එදා ජයවර්ධනගේ සමකාලීන දේශපාලනඥයන් මෙන්ම විචක්ෂණ බුද්ධිමතුන් ද වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මෙන්ම ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාත් ජයවර්ධන රැගෙන ආ 72 ජනරජ ව්‍යවස්ථාව ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ බුද්ධිමය දායකත්වයෙන් සිදුවෙද්දී ආචාර්ය ඇන්. ඇම්. මුදල් ඇමැති වූ අතර සිරිමාවෝ අගමැතිනිය ලෙස සිටියහ.

78 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිදුකරන ලද ඒ විවේචන කිසිවකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. ජයවර්ධන පාලනයෙන් පසු රාජ්‍ය පාලනය අත්පත් කර ගත් කිසිදු නායකයකුට ඒ ප්‍රතිගාමී අරමුණු සහිත ව්‍යවස්ථාව වෙනස් කිරීමට ශක්තියක් මෙන්ම අවංක වුවමනාවක්ද නොවීය. ඇත්ත වසයෙන්ම ජයවර්ධනගේ ක්‍රමය පසුව රාජ්‍ය බලය හිමිකරගත් නායකයන්ටද බලය රිසිසේ පරිභෝජනය කරමින් වරප්‍රසාද භුක්ති විඳීමට හැකි දේශපාලන කප්රුකක් විය.

ජයවර්ධනගේ ව්‍යවස්ථාව මේ වනවිට විසිවරක් සංශෝධනය කර තිබෙන අතර දැන් එහි 21 වැනි සංශෝධනයට ද කඹ අදිමින් සිටින මොහොතකි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්ව සිදුකළ සංශෝධන පවා ඔහුගේ දේශපාලන පැවැත්ම සඳහා සිදුකරන ලද ඒවාම විය. ඔහු විසින් සිය සහෝදරයා වූ ගෝඨාභය වෙනුවෙන් සිදුකරන ලද 20 වන සංශෝධනය මෙරටේ නිවට දේශපාලනඥයන්ගේ අපරිණත බවත්, වහල් මනසත් පිළිබඳ කදිම අනාවරණයක් වැන්න. එය රාජපක්‍ෂ පවුල් ගස ශක්තිමත් කළ ආකාරය විස්තර කළ යුතු නැත. ද්විත්ව පුරවැසියකු වූ බැසිල්ට පාර්ලිමේන්තුවට පැමිණ මෙරටේ මුදල් ඇමැති පදවිය ලබාගත හැකිවූයේද එම 20 වැනි සංශෝධනයෙහි ආදීනව ලෙසය. අද බැසිල් ගොසින්ය. ඔහුට එල්ලවී තිබෙන දේශපාලන චෝදනා හිස් අවකාශයක ගිගුම් දෙන ඝෝෂාවක් පමණි.

කෙසේ වුවද මහින්දාගමනයෙහි විශිෂ්ඨත්වය වෙනුවට අද අපට දැක ගත හැක්කේ දේශපාලන යක්‍ෂගමනයක ගොරතර විපාක පමණි. මහින්දාගමනය ලාංකික සමාජයට හඳුන්වා දුන් ධාර්මික සංකල්ප සියල්ලක්ම පාහේ අද අභාවයට ගොසින්ය. දේශපාලන, සමාජ, ආර්ථික වශයෙන් කඩාවැටුණු මානව සමාජයක ඉකි බිඳුම්, දුක් සුසුම් අපමණව නැඟුනත්, ඇසුනත් මේ පාලනයට ඒ කිසිම දෙයකට විසඳුමක් ලබාදීමට ද නොහැකිවී තිබේ. පාර්ලිමේන්තුවේ සිටින 225 පිළිබඳව ජනතාව තුළ ඇත්තේ අප්‍රසන්නතාවක් පමණි. මේ වනවිටත් ගාලු මුවදොර විරෝධතාව තුළ ගිගුම් දෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු 225 ම ගෙදර යා යුතුය යන හඬයි. දශක දෙක තුනකටත් අධිකව වැඩිහිටි පරපුර ඉවසා දරාගත් සියල්ල තවදුරටත් නොඉවසිය යුතු බව ගාලුමුවදොර විරෝධතාවෙහි පණිවුඩය බව අමුතුවෙන් කිව යුතු නැත. එයට ප්‍රතිචාර නොදක්වා සිටීමට රාජපක්‍ෂ පාලනයට නොහැකි විය. මහින්ද අගමැතිකම අත්හළ අතර චමල්, බැසිල්, නාමල් මෙන්ම ශෂීන්ද්‍රටද ඇමැතිකම් අත්හැරීමට සිදුවිය. දැන් බැසිල් මන්ත්‍රීකමද අතහැර ගොසින්ය. ඒ සියල්ල මහින්දාගමනයෙහි සාරය ගිලිහී ගිය දේශපාලන යක්‍ෂාගමනයෙහි විපාක බවද නිසැකය.

මහින්දාගමනයෙන් පසු මෙරටේ රාජ්‍ය පාලනය තුළ ඇතිවූ සාධනීය වෙනස්කම් රැසකි. රජුගේ අභිමතය වඩාත් සාමූහික ක්‍රියාන්විතයක් බවට පත්වූයේද එහි ප්‍රතඵලයක් වශයෙනි. සමාජය හැඩගැස්සවීමට ඒ අභිනව සංස්කෘතියෙහි සාර ලකුණු ද ඉවහල් විය. පන්සිල් මත ගිහි සමාජය යළි සකස් වූ ආකාරයද දැකගත හැකිය. උපතිස්ස, දාඨෝපතිස්ස වැනි රජවරුන් අටසිල් සමාදන්ව පොහෝ දිනය ප්‍රතිපත්ති ගරුකව ගෙවූ ආකාරය මහාවංශ කතුවරයා දක්වා තිබේ. එදා රාජකීය ජීවිත සරල හා චාම් ඒවා විය. කාවන්තිස්ස රජතුමා සළුවක් හැඳ උතුරු සළුවක් පොරවා තිස්සමහාරාම විහාරයට ගිය අවස්ථාවක, උතුරු සළුව තෙරුන් වහන්සේ නමකට පූජාකිරීමට නොහැකිව දුක්වූ බව රසවාහිනියේ සඳහන් වේ. එයට හේතුව සරල හා චාම් පැවතුම් රජුටද හුරුව තිබීය. රජවරුන්ගේ දින චර්යාව ආගමානුකූල පිළිවෙත් අනුව සකස් වූ බවද මහාවංශය පෙන්වා දෙයි. රජවරුන් දන්පින් කළේද රාජ්‍ය ධනයෙන් නොව දහදිය මහන්සියෙන් උපයාගත් දෙයින් බවද කියති. මහසිළුමහතිස් රජතුමා වෙස් වලාගෙන කෙතක වැඩකර ලත් මුදලින් භික්‍ෂූන්ට දන්දුන් පුවතක් මහාවංශයේම එයි. මෙයට අමතරව විශේෂ ශාසනික කටයුතු සඳහා භාණ්ඩාගාරයේ මුදල් මෙන්ම ජනතා දායකත්වයද ලබාගෙන තිබේ. එබඳු කතා සම්භාව්‍ය සාහිත්‍යයෙහිද සඳහන් වේ. මේ හැම අවස්ථාවකම තම නම් ගම් යොදා ශාසනික හෝ මහජන සේවාවන් හුවා නොදැක්වීම ද එදා රාජ්‍ය පාලනයෙහි විශිෂ්ට සම්ප්‍රදාය විය. පාලකයා ජනතාවට පරමාදර්ශ ලබාදිය යුතු බව එදා සම්මතය විය. එබඳු ආධ්‍යාත්මික දියුණුවක් ලැබූ රජවරුන් පිළිබඳ නොයෙක් පුවත් සාහිත්‍යයෙහි පවා අපට හමුවෙයි. බුදුදහම ආත්මලාභය සඳහා භාවිත නොකිරීමද එදා දැකගත හැකිවිය. මිහිඳු හිමියන් අබියස දුනුහී බිම දැමූ දෙවන පෑතිස් රජු යළි කිසිදිනක එබඳු අවි අතට නොගත් බවද සඳහන් වේ. සද්ධාතිස්ස රජුට වරක් තිත්වටු මස් අනුභව කිරීමේ ආශාවක් ඇතිවී තිබේ. එහෙත් ඒ බව මහජනයා දැනගතහොත්, තමන්ට විවේචනයක් සිදුවිය හැකි යැයි සිතූ රජු වටුවන් නොමරා තුන් වසරක් තම ආශාව යටපත් කරගෙන සිට ඇත. එහෙත් අවසානයේදී ප්‍රාණඝාත නොකරන උපාසකයකු ලවා වටුමස් ගෙන්වා ආහාරය ගෙන ඇත. මෙය ඉතා සරල සිදුවීමකි. එහෙත් පාලකයා ක්‍රියාකළ යුත්තේ එවැනි අවබෝධයකින් හා වගකීමකින් බව එයින් තහවුරු වේ.

අනුරාධපුර යුගයේ ඇතිවූ අධ්‍යාත්මික ප්‍රබෝධය, පාලකයාගේ ප්‍රතිපත්තිමය පැවැත්මේ ඵලයකි. ලක් රජය බෞද්ධයකුට හිමිවිය යුතුය යන්නද එදා ඇතිවූ සම්මතයකි. රජු කිරුළ දරන්නේ සිවුර රැකීමට හෙවත් මහා සංඝරත්නයේ හා බුදු සසුනෙහි ආරක්‍ෂාව සඳහාය යන්නද එදා පිළිගත්තකි. එළාර රජුද සංඝයාට දන් පූජා කළේ ඒ පිළිවෙත බැහැර නොකළ හෙයිනි. එදා රාජ්‍ය සේවයෙහි සිටි ද්‍රවිඩ නිලධාරීන්ද බුදු සසුනේ දියුණුවට දායකවූ බව මහාවංශය දක්වයි. පොත්තකුට්ඨ හා මහාකන්ද යන ද්‍රවිඩ නිලධාරීන් විහාර ආරාම ඉදිකළ බව එහි සඳහන්ව ඇත. එසේම දසරාජ ධර්මය රාජ්‍ය ප්‍රතිපත්තියට එක්කර ගත් බවද ඉතිහාසයේ දැක්වේ. ඒ සමගම ජන ජීවිතය පවත්වාගෙන යෑමට අනුග්‍රහ දැක්වීමද පාලකයන්ගේ යුතුකම බව එදත් පිළිගෙන තිබුණි. සමාජ ජීවිතය බියෙන් නිදහස් කිරීමද රාජ්‍යයෙහි වගකීමකි. රජුගෙන් ජනතාවට පීඩනයක් නැත්තා සේම ජනයාගෙන්ද රජුට විරෝධයක් එල්ල නොවීම එකල සමාජ සංවර්ධනයට මුල්වූ ප්‍රධාන හේතුව විය. ජනතාව සිය දූ දරුවන් සමඟ සතුටින්, නිදහස්ව කල් ගෙවූ බවත් සොර සතුරු උවදුරු නොවූ බවත් එදා පාලනයෙහි අගනා ප්‍රතිඵල ලෙස දැක්විය හැකිය. ගේ දොරවල අගුලු දැමීමට පවා අනවශ්‍ය වූ බවද කියති. එයට හේතුවූයේ රජු දැහැමි පුද්ගලයකු වීමයි. ඥාතීන්ට සංග්‍රහ කරන හිතවතුන්ට ලාභ උපයා සපයා දෙන මාර්ග එදා පාලනයෙහි දැකගත නොහැකි විය. ජනතාවගේ දුක් පීඩාවලට තුඩුදෙන හේතු සොයා බැලීමට වෙනම යාන්ත්‍රණයක්ද ඇතැම් රජවරුන්ට තිබුණි. බලය හා ධනය අනිසි ලෙස රැස්කිරීම සමාජ කැළඹීමට හේතුවන බව පාලකයෝ දැන සිටියහ. ඒ මහින්දාගමනයෙහි යහපත් ප්‍රතිඵලයකි. එසේම අධ්‍යාත්මික හා භෞතික ජීවිත වෙනවෙනම ගොඩනඟා ගැනීම සඳහා ද පාලකයා ජනතාවට මග පෙන්වාදී තිබුණි. දන් පින් සිදුකළේ ප්‍රදර්ශනය හා ප්‍රසිද්ධිය උදෙසා නොව මානව වාදී යුක්තිගරුක සමාජයක් තහවුරු කිරීමේ අභිලාෂයෙන්ම පමණි.

මෙසේ ලංකාව පතිරූප දේශයක් ලෙස, සදාචාර සංවර යුක්තිගරුක හා මානවවාදී රටක් බවට වර්ධනය වීමට ඉවහල්වූ මහින්දාගමනය වෙනුවට මුල් බැසගත් දේශපාලන යක්‍ෂාගමනය අද මුළු රටම නිරයක්, වධයක් බවට පත්කර නැතැයි සිහිබුද්ධි ඇති කිසිවකුට කිව හැකිද?

අද දේශපාලනය නමින් ඇත්තේ ජනතා සේවයක් නොව ජනතාව පෙළන ජාවාරම්කාරයන්ගේ ව්‍යාපාරයකි. අප කියන දේ පසෙක තබා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි අදහස වෙත යොමුවෙමු. අද මෙරටේ ජනගහනයෙන් පන් ලක්‍ෂයක් කුස ගින්නෙන් පීඩා විඳින අතර කුඩා දරුවන් පනස් දහසකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙතියි ඒ වාර්තාවක සඳහන්ව තිබේ.

ජයවර්ධන පාලනය විසින් සමාජගත කරන ලද නූතන යක්‍ෂාගමනයෙහි උච්ඡතම අවධිය පිළිබඳ නපුරු අත්දැකීම් අද අප වඩාත් විඳිමින් සිටිමු. ඉන්ධන, ගෑස්, බෙහෙත්, සහල් ආදී දේවල් හිඟවීමෙන් අනාථ වූ සමාජයක අඳෝනා හාත්පස රැව්දෙයි. ඒ කිසිවකට ආණ්ඩුවට විසඳුම් නැත. ගෑස් නැව් මුහුදේ නැංගුරම්ලා තිබේ. ඉන්දියාවෙන් ලැබුණු ඉන්ධන සහනයද අවසන්වීමට ආසන්නය. හර්ෂ සිල්වා මන්ත්‍රීවරයාට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට පිහිටක් ලැබීමට මේ වසර අවසන් වනතුරු සිටිය යුතු වේ. අපේ දුක් නිවනු ඇතැයි කැඳවා අගමැති ධුරයෙහි පිහිටුවා, මුදල් ඇමැතිධුරයද භාරකළ රනිල් අද කියන්නේ කුමක්ද? අගමැති හා පුරවැසියකු ලෙස අද ලාංකික ජනතාව විඳින දුක් තමාටද දැනෙන බවය. මෙවැනි දෙයක් තම ජීවිත කාලය තුළම තමන් දැක නැති බවද ඔහු කියයි. කතාව ඇත්තය. එහෙත් ජනතාවට වුවමනා ඒ දුකට පුංචිම හෝ සහනයකි. මේ විඳවන විඳවිල්ල තවත් ජනතාවට ඔරොත්තු නොදෙන බවද අගමැතිතුමාට අවධාරණයෙන්ම කිව යුතුය.

ගෝඨාභය – රනිල් ආණ්ඩුවට තවත් ‘ව්‍යාපාරික වැඩ්ඩෙක්’ (සමහරුන් කල්පනා කරන ආකාරයට) එක්කර ගෙන තවත් වෙනසක් කිරීම ආණ්ඩුවේ අදහස වී තිබේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභයගේ තුන්වැනි කැබිනට් මණ්ඩලයට තවත් මුහුණු දෙකක් එක්වනු ඇත. එහෙත් ජනතා ප්‍රශ්න වලට මේ කැබිනට් මණ්ඩලයට දිය හැකි විසඳුම් කුමක්ද? ඇමැති නිමල් සිරිපාල කියන්නේ මසකට කෝටියක් පාඩු ලබන මත්තල ගුවන් තොටුපළ ගැනය. කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන එහි සේවකයන් 545 ක් සිටින බවය. ඒ මදිවාට කොළඹ සිට මත්තලට සේවකයන් රැගෙන ඒමට දිනපතා බස් රථයක්ද යොදා තිබෙන බවය. කුමක් වුවත් මෙම ගුවන් තොටුපළ නොවිකුණා සංවර්ධනය කරන බවද ඇමැති නිමල් සිරිපාල ද පවසා තිබේ.

මේ ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳීම සඳහා කිසිදු ප්‍රායෝගික සැලසුමක් නැති බවත්, අද තිබෙන්නේ ආර්ථිකයටත් වඩා බරපතළ දේශපාලන අර්බුදයක් බවත් ජ.වි.පෙ. නායක අනුර කුමාර කියයි. හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාලට අනුව මේ රජය වෙනස් වනතුරු රට ගොඩනැඟීමට නොහැකි බවය. එසේම 15 කින් සමන්විත කැබිනට් මණ්ඩලයක් හා සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් තාවකාලිකව ගොඩනඟා ගැනීමේ යෝජනාවක් ද ඔහු කර තිබේ. එහෙත් දැන් ඇතැම් ඇමැතිවරුන් කරන්නේ හිටු කියා තමන් යටතේ තිබෙන ආයතනවලට නිලබල සහිතව තම මිතුරන් පත් කිරීමක් බවටද තවත් චෝදනාවක් ඇත. කවුරුන් කෙසේ කීවත් තම තමන්ගේ යාළු මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීමේ කුප්‍රකට සම්ප්‍රදාය ද බිඳ දැමිය යුතු නැත.!

ජනතා ප්‍රශ්න යකාට ගියත් ඒ රජයන් දේශපාලන සිරිත් ද නඩත්තු කළ යුතු නොවැ!

මේ සමාජ, ආර්ථික, දේශපාලන බිඳවැටීම් යළි ගොඩනඟාගත හැක්කේද මහින්දාගමනයෙන් ස්ථාපිත කරන ලද සමාජ දේශපාලන නූතනවාදී හා මානවවාදී ලක්‍ෂණ හා ගුණයෙන් සුපෝෂණය කිරීමෙන් පමණි. ඒ සඳහා මේ තිබෙන දේශපාලන යක්‍ෂාගමනය කොන්දේසි විරහිතව පරාජය කළ යුතුය. අපට කිසි විටෙක වසර දෙදහස් ගණනකටත් වඩා පැරණි සංස්කෘතිය හෝ සභ්‍යත්වය වෙත ආපසු යා නොහැක. එහෙත් එයින් විකසිත ආධ්‍යාත්මික ප්‍රබෝධය මිලනවීමට ඉඩදිය යුතු නැත. රජු සත්‍යයේ, නිදහසේ හා යුක්තියේ සංකේතය ලෙස කළ අර්ථ ගැන්වීම නූතන රාජ්‍ය පාලනයටද අත්‍යවශ්‍යය. නීතිය හා සදාචාර ප්‍රතිපත්තිවලට ගරු කිරීමද අනිවාර්ය වේ. විචාර බුද්ධිය හා නිර්මාශීලී කුසලතාවයන්ගෙන් යුතු දේශපාලන ව්‍යාපාරයක් අද ගාලුමුවදොර අරගලයේ අපේක්‍ෂාවය.වර්තමාන සමාජ දේශපාලන අර්බුදවලට 21 වැනි සංශෝධනය කිසිසේත්ම පිළිතුරක් නොවේ. 19 වැනි සංශෝධනයෙන් ඇතිකළ බලකේන්ද්‍ර දෙක ජනාධිපති හා අගමැති දෙපසට කළ ආකාරය ද මෙහිදී සිහියට නැඟෙයි. එහෙත් 21 යම් පියවරක් පෙරට තැබීමකි. වත්මන් අර්බුදය 21 මගින් කළ බලගැන්වීමේ අනිටු ඵලගැනද සමහරු කියති. මෙවේලේ එය සම්පූර්ණයෙන්ම අහෝසි කළ නොහැකිය. එනිසා ඒ බලතල පාර්ලිමේන්තුවට පැවරීමට වැඩිදෙයක් ද කළ නොහැක.

ගාමිණී සුමනසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment