මහින්දානන්දගේ ගෝලයෝ  ‘පාටියේදී’ ගුටි ඇන ගනිති

229

දෙදෙනෙක් රෝහලේ: පහරකෑ අයගේ ඥාතීහු විරෝධතාවේ

හිටපු ඇමැති මහින්දානන්ද  අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූවේ යැයි කියන  ගැටුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

මහින්දානන්දගේ ගෝලයෝ  ‘පාටියේදී’ ගුටි ඇන ගනිති

නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතාට අයත් නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඉකුත් 15 වැනිදා පස්වරුවේ සිංහල හින්දු අලුත් අවුරුදු සාදයක් පවත්වා ඇත. එම සාදයට හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහභාගි වී ඇතත් ගැටුමට ප්‍රථම ඒ මහතා එම හෝටල් පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.

ඉන් අනතුරුව තවදුරටත් සාදය පවත්වා ඇත. එම සාදයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහයෝගය දැක්වූ අයකු සහභාගි වීමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන තිබේ.

ගැටුමෙන් තරුණයන් දෙදෙනකුට තුවාල සිදු වී තිබේ. එම තරුණයන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එම තරුණයන්ගේ ඥාතීහු 16 වැනිදා පස්වරුවේ තරුණයන් දෙදෙනාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළහ.

පහර දුන්නේ යැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අප නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතාගෙන් කළ විමසුමේදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

නුවරඑලිය – නාලක රත්නායක, ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment