මහින්දානන්දට එරෙහිව දේශීය ආදායම් වෘත්තීය සමිති CIDයට

180

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රහස්‍ය තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති පහක නියෝජිතයෝ ඊයේ (17 දා) උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පසුගිය දිනවලදී පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් හෙළි කරන ලද තොරතුරුවලට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ඇතැම් බදු ගෙවන්නන්ගේ බදු ලිපි ගොනු සහ බදු වාර්තා ඇතුළත් රහස්‍ය තොරතුරු රැසක් බාහිර පාර්ශ්වයන් වෙත අනවසරයෙන් ලබාදී ඇති බව පෙනෙන බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි මහතා අදාළ පැමිණිලි සම්බන්ධයෙන් අදහස් දක්වමින් කීවේය.

මේ නිසා වහාම එම මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන මේ ගැන පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලමින් එම පැමිණිල්ල කළ බවත් ඒ සඳහා දේශීය ආදායම් සේවා සංගමය, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, දේශීය ආදායම් පොදු සේවක සංගමය හා දේශීය ආදායම් විධායක නිලධාරීන්ගේ සංගමය යන සංගම් පහේ නියෝජිතයන් එක්වූ බවත් උදයසිරි මහතා තවදුරටත් ‘දිවයින’ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment