මහින්ද අස්විය යුතු නෑ පො. පෙ. නගරාධිපතිවරු සහ සභාපතිවරු තීරණය කරති

167

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරු හා ප්‍රාදේශීය සභා සභාපතිවරු ඊයේ (27 දා) ඒකමතිකව තීරණය කර ඇත.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමග අරලියගහ මන්දිරයේ ඊයේ (27 දා) පැවැති හමුවකදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.

අදාළ තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී දැනුම්දීමට ද එම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා නගරාධිපතිවරුන් තීරණය කර තිබේ. අගමැතිවරයාගේ නාමය හා ප්‍රතිරූපය භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට අගමැතිවරයා ආරක්‍ෂා කිරීමේ වගකීමක් මෙන්ම යුතුකමක් තිබෙන බවත් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණයවී ඇති අවස්ථාවක ආණ්ඩුව අස්ථාවර කර ස්වාධීනවීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔවුන් පවසා තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා බහුතර බලයක් සහිතව මහජන ඡන්දයෙන් පිහිටවූ ආණ්ඩුවේ අගමැතිවරයා බවත් ජනතා පරමාධිපත්‍යයට හිස නමන්නේ නම් අගමැතිවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කළයුතු බවත් එම නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ප්‍රකාශ කළහ.

ස්වාධීන වීමට ආණ්ඩුවේ කිසියම් මන්ත්‍රී පිරිසක් ක්‍රියාකරන්නේ නම් බිම් මට්ටමේ ජනතාව ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට සුදානම්ව සිටින බව පැවැසූ ඔව්හු වත්මන් අර්බුදය ජයගත හැක්කේ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට පමණක් බව ද ප්‍රකාශ කර සිටිති.

මෙහිදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත්තේ තමාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙතෙක් දැනුම්දී නැති බවත් ඉදිරියේදී ද එසේ ඉල්ලීමක් නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවත්ය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment