මහින්ද ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න ඉල්ලන නඩුව සලකා බැලීම 17 වැනිදා

317

පසුගිය 9 වැනිද අරලියගහ මන්දිරයේ සහ ගාලුමුවදොර පිටියේ විරෝධතාවයක නිරතව සිටි සාමකාමී විරෝධතාකරුවන් පිරිසකට අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා නීතිඥ සේනක පෙරේරා මහතා ගොනු කළ පෞද්ගලික නඩුව සළකා බැලීම සඳහා ලබන 17 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේදී කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (13දා) නියෝග කළේය. එකී සැකකරුවන් එකී අමානුෂික පහරදීම සඳහා අරලියගහ මන්දිරයට පසුගිය 9 වැනිදා රැස්වූ පිරිස කුපිත වන ආකාරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස කටයුතු කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් එම පිරිස මැඬපැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවත් පැමිණිලිකාර නීතිඥවරයා සිය පැමිණිල්ල මගින් අධිකරණයට දන්වා තිබිණි. එකී සැකකරුවන් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්වීම, පහරදීම, සාපරාධී බියගැන්වීම් යනාදී වැරදි සිදුකර ඇතැයි ද නීතිඥ සේනක පෙරේරා සිය පැමිණිල්ල විසින් අධිකරණයට වැඩිදුරටත් දන්වා තිබිණි.

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ එම නඩුව ඊයේ (13දා) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර සේනක පෙරේරා මහතා විවෘත අධිකරණය හමුවේදී කරුණු දක්වමින් ගාලු මුවදොර පිටියට අදාළ නඩු කටයුතු සහ පැමිණිලි මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේදී කැඳවීමක් නොකරන ලෙස ඉල්ලා නීතිඥවරුන් අධිකරණ සේවා කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කළ ලිපියට තමන්ද අත්සන් කර ඇති නිසා එය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට යොමු කරන ලෙසට ඉල්ලා සිටියේය.

එකී නඩුව කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමෙන් පැමිණිල්ලට අගතියක් විය හැකි බව පැවසූ නීතිඥ සේනක පෙරේරා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment