මහින්ද ඇතුළු 5කට රටින් පිටවීම තහනම් කරන්න : ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

162

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදු කපාහැරීම සහ ඔවුනට අසීමිතව බදු සහන ලබාදීම ඇතුළු අත්තනෝමතික ක්‍රියා මගින් රට ආර්ථික අගාධයකට ඇද දැමීමට වගකිවයුතු හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු 5 දෙනකුට වහාම රටින් පිටවීම වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ උපේන්ද්‍ර ගුණසේකර මහතා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ මෝසමක් ගොනු කළේය.

රට තුළ පවතින වර්තමාන දේශපාලන අර්බුදය අනුව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන මහාචාර්ය එබ්. ඒ. ලක්‍ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන වගඋත්තරකරුවන් රටින් පලායෑමේ ප්‍රවණතාවයක් පවතින බවත් ඔවුන් රටින් පලා ගියහොත් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවස්ථාව අහිමිවන බැවින් හදිසි කරුණක් ලෙස සලකා එම නඩුව ඊයේ දිනයේම කැඳවන ලෙසද නීතීඥ උපේන්ද්‍ර ගුණසේකර මහතා සිය මොස්ම මගින් ඉල්ලා සිටියේය.

අප රට මෙවැනි ආර්ථික අගාධයකට ඇදවැටීමට මූලික හේතුව වූයේ රාජපක්‍ෂ පාලන සමයේ ගත් අදූරදර්ශී ආර්ථික කලමනාකරණය හා මහා පරිමාණ බදු කපා හැරීම් නිසා වන බැවින් එයට වගකිවයුතු පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට බලකරන නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම කැඳවා එකී තහනම් නියෝග නිකුත් කරන්නැයි නීතීඥවරයා සිය මෝසම මගින් ඉල්ලා සිටියේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වැනිදා කැඳවීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මින් පෙර දින නියම කර තිබිණි.

එසේ නමුත් පුරා මාස තුනක් තිස්සේ ජනාධිපතිවරයාට හා රජයට එරෙහිව විරෝධතාවයක යෙදී සිටින අරගලකරුවන් පසුගිය 09 වැනිදා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරය ඔවුන්ගේ ග්‍රහනයට ගෙන ඇති බැවින් සිය සේවාදායකයන් ඉල්ලා ඇති පරිදි පෙර කී වගඋත්තකරුවන් රටින් පිටව යෑම වැළැක්වීමේ අතුරු තහනම්

නියෝගයක් නිකුත් කිරීම හා ඔවුන්ට එරෙහිව විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැගී ඇති බවත් එම මෝසම මගින් පෙන්වා දී තිබිණි.

අද (13දා) දිනයේ රටේ වර්තමාන ජනාධිපතිවරයා සිය තනතුරින් ඉවත් වන බවට ජනමාධ්‍ය මගින් තොරතුරු ලැබී ඇති බවත් පෙන්වා දෙමින් ගොනු කර තිබූ එම මෝසම සලකා බැලූ මුර්දු ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි හා ගාමිණී අමරසේකර යන විනිසුරු මඬුල්ල එම මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීමට නියම කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment