මහින්ද දේශප්‍රිය අතට දුන් සීමා නීර්ණය පොල්ල!

455

ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන ආර්ථික පමණක් නොව සංස්කෘතික, කලා, ක්‍රීඩා සහ අධ්‍යාපන ඇතුළු ක්‍ෂෙත්‍ර ගණනාවකම බිඳ වැටීමත් පරිහානියත් විදහා දැක්වෙන ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක්ම පසුගිය දිනවල වාර්තා විය. මේ සියල්ල මූලික වසයෙන් මෙරටේ දේශපාලනයේ බරපතළ බිඳ වැටීමේ අනිවාර්ය ප්‍රතිඵලයක් බව නිසැකය. එහෙත් මේ මොහොත වන විටත් ඒ ගර්හිත අමන දේශපාලනය එලෙසින්ම නඩත්තු කරමින් සිටීම රටට ආදරය කරන යහපත් පුරවැසියන්ගේ දැඩි කම්පනයටත් සංවේගයටත් හේතු වී තිබේ. බොහෝ විට දේශපාලන වරප්‍රසාදවලින් සුරැකෙන මුග්ධ දේශපාලන විකටයන්ටම උචිත රාජ්‍ය නිලධාරී අහිනක්ද අපට දැක ගත හැකිය. ඇත්ත කියන රජයේ නිලධාරීන්ට මෙන්ම ඇතැම් විට දූෂණ අක්‍රමිකතා වැරදි හෙළි කරන කා ගැන වුවත් දේශපාලන බලධාරීන්ට ඇත්තේ ප්‍රසන්න හැඟීම් නොවන බවද අපි දනිමු. ඇත්ත කෙතරම් අමිහිරි වුවද එය සැඟවීම ජාතික අපරාධයක් බව පිළිගන්නා අයද ස්වල්ප වසයෙන් හෝ තවමත් මෙරටේ සිටිති. රාජ්‍ය බලයත්, නීතිය ඇතුළු සියල්ල අතට ගන්නා පාලකයන් විසින් මේ රටට කරන ලද විනාශය කෙබඳු දැයි ඉතිහාසය දැඩිව අනාවරණය කර තිබේ. එහෙත් බලය අත් හැරීමට ඒ බලය අත රැඳි කිසිවෙක් සූදානම් නොවෙති. සකල ශීලාචාර ලෝකයම හිනස්සවන බුද්ධිමත් හා වැදගත් පුරවැසියන් ලැජ්ජාවට පත් කරන සිදුවීම් අද හාත්පස සමාජයම දුගඳ කරමින් බලා යන අයුරු අපි සංවේගයෙන් බලා සිටිමු.

මේ දිනවල සමාජ දේශපාලන අංශවල ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන එක් සිද්ධියක් ලෙස ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර වැදගත් වේ. පළාත් පාලන ඡන්දය දොර ළඟට ඇවිත් තිබියදී එයට මුහුණ දීම වෙනුවට එයින් තම දේශපාලන බල කඳවුරු රැක ගැනීමට සට කපට සූත්තර සොයන බවට ආණ්ඩුවට එල්ල වී තිබෙන චෝදනාව සුළු පටු නැත. ස. ජ. බ., ජ. වි. පෙ, ශ්‍රී. ල. නි. ප මෙන්ම දෙමළ හා මුස්ලිම් දේශපාලන නායකයන් පමණක් නොව වෙනත් සිවිල් හා වෘත්තීය සංවිධාන විසින්ද ආණ්ඩුවේ ප්‍රතිචාරය දැඩි විවේචනයටද සැකයටද භාජනය කර තිබේ. මෙරටේ සිවිල් සමාජය ඇතුළු ප්‍රබුද්ධ පුරවැසියන්ගේ අදහස වී තිබෙන්නේ ආණ්ඩුව පුංචි ඡන්දයට අංචියක් ඇදීමට ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී තර්ක හා සෝබන කතා කියන බවය.

මහින්ද දේශප්‍රිය අතට දුන් සීමා නීර්ණය පොල්ල!

මේ රටට ඔරොත්තු නොදෙන තරමට මැති ඇමැතිවරුන් සිටින බව ඉතා නිවැරදි මෙන්ම සාධාරණ විවේචනයකි. මේ වන විට සමාජයේ සිදු වී තිබෙන සකල විධ දූෂණ, හොර මගඩි ගසා කෑම් සියල්ල සිදුවන්නේද ඒ මැති ඇමැති වෙස්ගත් ඇතැම් පාදඩයන් හා තක්කඩීන්ගෙන් බවද නිසැකය. ප්‍රජාතන්ත්‍රවාදයේ මතු මහල ලෙස පිළිගනු ලබන පාර්ලිමේන්තුවේ සිට එහි කුඩාම ඒකකය වන ප්‍රාදේශීය සභා මෙන්ම එයට උඩින් තිබෙන පළාත් සභා පිළිබඳවද අප බොහෝ දෙනෙකුට ඇත්තේ යහපත් චිත්‍රයක් හෝ ප්‍රසන්න අත්දැකීම් නොවේ. එසේ වුවද මේ හැම ජනතා ආයතනයකම යහපත්, වැදගත්, උගත් ප්‍රබුද්ධ ඇත්තන් ස්වල්ප දෙනෙක් හෝ ්සිටිති. එහෙත් දැන් කලක පටන් අප දකින්නේ ජනතා අභිලාෂයන් ඉටු කරලීමට වඩා ජනතා ඇස්වලට වැලි ගසමින් දේශපාලනඥයන් බහුතරයක් ක්‍රියාකරන බවත් ඒ නිසා ඉහත කී සියලු ප්‍රබුද්ධයන් ඒ දේශපාලන කසළ ඉවසා සිටින වාතාවරණයක් උදාවී තිබෙන බවත්ය.

පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමටත් ඒ සඳහා වැය වන මහජන මුදල් ඉතිරි කිරීමටත් මේ ආණ්ඩුවට මතක් වී තිබෙන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. එය යහපත් අගනා ක්‍රියාවක් බවද පෙන්වා දිය හැකිය. ඒ අනුව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පත් කර තිබෙන සීමා නිර්ණය ජාතික කමිටුව ගැන කලබල විය යුතු නැති බවද සමහරු පවසති. මෙරටේ කොමිසන් පිළිබඳව අප බොහෝ දෙනෙකුට දැඩි විවේචනයක් තිබේ.

ඒ බොහෝ කොමිසම්වලින් රටට ලැබුණු යහපත් ප්‍රතිලාභ පිළිබඳව ඇත්තේද ප්‍රශ්නයකි. ඒ අනුව බලන විට මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද කොමිසම් දෙකක් වූ බවද පෙන්වා දිය යුතුය. අද අගමැති දිනේෂ් ඒවා ගැන හ්ම් ශබ්දයක් නොනගා මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් තවත් සීමා නිර්ණය කොමිසමක් පත් කිරීම අප තේරුම් ගත යුත්තේ කෙලෙසද පළාත් පාලන ඡන්ද ඇතුළු සියලු ආකාරයේ මැතිවරණ නොපැවැත්වීම හෝ කල්දැමීම වරදක් ලෙස දකින හා ඒ වරද නිවැරදි කළ යුතු යැයි පවසන මහින්ද දේශප්‍රිය ලවා අද ආණ්ඩුව සිදු කර ගැනීමට යන කටයුත්ත ගැන බහුතරයක සැකය යොමුවී තිබීමද සාධාරණය.

මහින්ද දේශප්‍රිය අතට දුන් සීමා නීර්ණය පොල්ල!

පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව අඩකින් අඩු කළ යුතු යැයි ජනාධිපති රනිල් අද ප්‍රකාශ කළත් ඒ වරද සිදු වූයේ එදා ඔහුද අගමැති වී සිටි යහපාලන සමයේදීය. පළාත් පාලන සීමා නිර්මාණය කෙබඳු දුෂ්කර හා වගකීම් සහිත ක්‍රියාන්විතයක් දැයි මේ ජනාධිපතිට මෙන්ම අගමැතිවරයාට පහදා දිය යුතු නැත.

එහෙත් මේ වෙලාවේ මහජනයා ඉදිරියට යන ආණ්ඩුවටත් පොහොට්ටු පාර්ශවයටත් අත්වන ඉරණම කෙබඳු දැයි ජනාධිපති මෙන්ම අගමැතිද ඉඳුරා දනිති. යළි නැගිටීමට සැරසෙන පොහොට්ටුවට මෙහිදී ඇඩ්‍රස් නැති වන බව එහි දේශපාලන විඥානයක් සහිත කීපදෙනා වුවද දන්නා කරුණකි. එහෙත් පොහොට්ටුව ඕනෑම ඡන්දයකට සූදානම් යැයි පුරසාරම් දොඩන කසකාරයෝද සිටිති. සෘද්ධිබල සහිත දෙවියන් පා තැබීමටවත් නොයන බිම්වල මෝඩයෝ පිනුම් ගසතියි කියමනක් ඇත. අප එය ඒ පුරාජේරු දොඩන ළිං මැඩියන්ට ආදේශ කරමු.

විපක්‍ෂ නායක සජිත් මෙන්ම ශ්‍රී. ල. නි. ප. මහ ලේකම් දයාසිරි ද සෘජුව ප්‍රකාශ කරන්නේද මහින්ද දේශප්‍රිය මේ ආණ්ඩුවේ උගුලට හසු නොවිය යුතු බවකි. කුමක් වුවත් දේශප්‍රිය එබඳු කොමිසමකට පත් කිරීම ආණ්ඩුව දුරදිග බලා ගත් පියවරකි. ඇත්ත වසයෙන්ම එදා මෙදා බලයට පත් ආණ්ඩු විසින් පත් කරන ලද විවිධ කොමිසම් නහුතයක් තිබුණත් ඒවායින් අබ ඇටයක තරම් ප්‍රතිලාභයක් රටට අත්වී තිබේද යන්නත් මෙහිදී සිහිපත් වේ. එහෙත් මේවාට පත්වු අයට හා සහභාගි වූ අයට නම් සතුටු විය හැකි දේවල් සිදු වන්නට ඇතැයිද අනුමාන කළ හැකිය. කුමක් වුවත් ඒ සියල්ල පොදු ජනතා මුදල් බව නම් අපටද නිසැකව කිව හැකිය. ඒ මොනවා වුවත් 2023 මාර්තු වන විට ස්ථීර වසයෙන්ම පුංචි ඡන්දය පැවැත්විය යුතු බව නම් කව්රුත් දනිති. ඒ නිසා මෙවර ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩුවට පාර්ලිමේන්තුව වෙතටම යා යුතුව තිබේ. කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි මූලික ලක්‍ෂණයක් වන සාධාරණ මැතිවරණය වෙනුවෙන් පෙනී සිටින මහින්ද දේශප්‍රිය කුමක් කරන්නේ දැයි අපි අවධානයෙන් බලා සිටිමු. මන්ද යත් සීමා නිර්ණය පොල්ල තිබෙන්නේ ඔහු අත හෙයිනි.

මෙරටේ දේශපාලනය තරමටම අනෙක් බොහෝ දේවල්ද පරිහානියට පත්ව තිබෙන බව මේ ලියැවිල්ල පටන් ගැනීමේදීම අපි සඳහන් කළෙමු. සංවේගයෙන් වුවද අපේ ඉහළම ක්‍රීඩාව ලෙස බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන ක්‍රිකට් ගැන අද තිබෙන්නේ බරපතළම බිඳ වැටීමක් හා ජුගුප්සා ජනක චිත්‍රයක් බවද කීමට සිදුව ඇත. ක්‍රිකට්වලින් ජගත් කීර්තියක් අත්කර දුන් අර්ජුන ප්‍රමුඛ ඒ ක්‍රීඩාශීලි ක්‍රිකට් සංස්කෘතික තානාපතිවරුන් මෙන්ම ක්‍රිකට් ලෝලීහුද අද කම්පාවට පත්ව සිටිති. ඒ අපේ වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන ධනුෂ්ක ගුණතිලකගේ අමන, අශිෂ්ට ක්‍රියාවක් නිසාය. ධනුෂ්ක සම්බන්ධ සිදුවීම ලඝු කොට සැලකිය යුතු නැත. එයින් මෙරටට අත්වු අවමානය සුළුපටු නැත. ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසී කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවක් අනුව ඔහු එරට අධිකරණය භාරයේ සිටියි. ඔහු තමන්ගේ ක්‍රීඩාව තම කණ්ඩායම පමණක් නොව තමන්ගේ රටද අවමානයට ලක් කළ අලජ්ජී පුද්ගලයෙකි. ඔහුගේ නිර්දෝෂීභාවය කුමක් වුවත් ඒ කැළල ඔහු තම මව්බිමට ලබා දී තිබීම බරපතළ සිද්ධියකි. ක්‍රීඩාවේදී ක්‍රීඩකයන්ට ශාරීරික යෝග්‍යතාව මෙන්ම මානසික හා ආධ්‍යාත්මික වර්ධනයද ලබාදීම අත්‍යාවශ්‍යම දෙයකි. පුද්ගල චර්යාවක් මත අදාළ බලධාරීන්ට චෝදනා කිරීම පදනම් විරහිත වුවද අපේ බොහෝ ක්‍රීඩා බලධාරීන් හා ක්‍රීඩා සංස්කෘතිය ගැනද දැඩි විවේචන තිබේ. රටක සමස්ත විනය පිරිහී තිබේ නම් ඒ රටේ ක්‍රීඩාව ඉන් නිදහස් නොවන බවද අප තේරුම් ගත යුතුය. එහෙත් මේ ක්‍රීඩා බලධාරීන් සඳහා වැය වන මුදල් ඔවුන්ට හිමිවී තිබෙන ප්‍රතිලාභ මෙන්ම ඒවා සමග බැඳුණු ගර්හිත දේශපාලනයක්ද ඇත. එනිසා ධනුෂ්කගේ අපචාරයේ තමන්ගේ පංගුව ඔව්හු බෙදා ගත යුතු වෙති. ධනුෂ්කගේ බොහෝ පෞද්ගලික වාර්තා අනුව නම් ඔහුගේ කල් ක්‍රියාවද ප්‍රශ්නකාරී බව පෙනී යයි. සංවරය, විනය බිඳගත් තාරුණ්‍යයක දඩම්බරකමට ඔහුට වන්දි ගෙවීමට සිදුවීම ඔහුට මෙන්ම ක්‍රීඩාවටද බොහෝ දේ උගන්වා තිබේ. සැප ගැනීමට ගොස් ඇපත් නැතිව පුනරුත්ථාපන ආයතනයක සිටින ඔහු යහපත් ක්‍රීඩකයකු බවට පත්කර ගැනීමට වුවද බාධාවක් නැත. ඒ සියල්ල කාලයට භාර වු දේවල්ය.

අපි අවසන් වසයෙන් දැඩි සමාජ ආන්දෝලනයකට තුඩු දී තිබෙන තවත් ම්ලේච්ඡ සිදුවීමක් වෙත අවධානය යොමු කරමු. ඒ වූ කලී මිල්ලනියේ පාසලක දරුවන් කීපදෙනෙකුට එම පාසලේම විදුහල්පතිනිය ප්‍රමුඛ ගුරුවරුන් කීපදෙනෙකු හා ප්‍රදේශයේ පොලිසිය විසින් සිදු කරන ලද කෲර වධ හිංසාවකි. මෙයට මුල් වී ඇත්තේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැති වීමක් බවද වාර්තාවේ. සොරකම වරදකි. එහෙත් ඒ වරදට දුන් දඬුවම සාධාරණද ළමාරක්‍ෂක අධිකාරිය සඳහන් කරන්නේ එම සිද්ධියට චෝදනා ලැබු සිසුන් දණ ගස්වා දඬුවම් කර පසුව පොලිසියේ වධ චක්‍රයකටද හසුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය. මේ දරුවන්ට පහර දී විදුලිසර වැද්දීම ගැන විදුහල්පතිනිය ප්‍රමුඛ ඒ ගුරුවරුන්ට සතුටු විය හැකි දැයි අපි නොදනිමු. තවමත් ළමා වියෙහි පසුවන තම දරුවන් සදිසි සිසුන්ට මේ වර්ගයේ දඬුවම් ලබා දෙන ගුරුවරු සිටිත් නම් අපට කිව හැක්කේ අහෝ අපේ නිදහස් අධ්‍යාපනය යැයි සුසුමක් හෙළීම පමණි.

මෙයට කලකට පෙර ඇඹිලිපිටියේ විදුහල්පතිවරයකුගේ මුග්ධ ක්‍රියාවක් නිසා ජීවිතවලින් වන්දි ගෙවූ සිසුන් පිළිබඳ ශෝකීය පුවතක්ද ඇත. එයට මුල් වූයේ සිසුවකුගේ පෙම්පතක් බවද කියැවිණි. කුමක් වුවත් මේ මිල්ලනියේ සිද්ධිය ඊටත් වඩා කුඩා සිසු පිරිසකගේ ක්‍රියාවකි. ඒ අතින් බලන විට මේ චූදිත සිසුවෝ සමනල පැටව් වැන්න. මිල්ලනියේ පොලිස් රාළහාමිලා දරුවන්ට විදුලිසර ඇල්ලීමෙන් හා බැටන් පොලුවලින් පහර දී ඔවුන්ගේ හා අදාළ ගුරුවරුන්ගේ මනදොල සපුරා ගැනීම නිසා වැඩේ ඒ තරමින් නතර වූවා විය හැකිය. එසේ නොවන්නට මිල්ලනියේ විදුහලෙන් අර ඇඹිලිපිටියේ කුප්‍රකට වාර්තාව බිඳ දැමීමටද ඉඩ තිබුණි. කුමක් වුවත් පොලිසිය හා අධ්‍යපනය භාර ඉහළ නිලබල මෙන්ම ඇමැති උතුමෝද මේ චෝදනා විමසා බලා යුක්තිය ඉටු කළ යුතු වෙති. තම දරු පැටවුන්ට මේසා වධ බන්දනවලට ලක් වන මොහොතක පිතු සෙනේ ඇට මිදුලු තුළට වැද දුක් දෙන බවද මේ සිප් කිරි පොවන ගුරුවරුන්ට සිහිපත් කර දිය යුතුය.

දේශපාලන අමන මෙහෙයුම් නිසා අධ්‍යාපනය මෙන්ම පොලිසියද කුණු වී තිබෙන බව කව්රුත් දනිති. එහෙත් පොලිස් සේවයට වඩා ගුරු සේවය ගැන අපට ආඩම්බර විය හැකිය. සිප් කිරි පෙවු මූසිලයන් උඩු මහලේ සිටියදීත් තවමත් මඩ කඩිති උඩින් පැන ඉස්කෝලේ යන ගුරු උතුමෝ සිටිති. ඇඹිලිපිටියේ සිසු වධය මෙන්ම මිල්ලනියේ ගුරුවරුන්ගේ යක්‍ෂාවේශය අපට අනුමත කළ නොහැකි වුවත් අදත් තම බත්පත, බතක් නොඉදෙන පැලක සිසු දරුවකුට තුන්සිත පහදවා දී සැනහෙන ගුරුවරුද සිටිතියිද සටහන් කර තැබිය යුත්තේ ඒ උතුම් දිසාපාමොක් පරපුර වෙනුවෙන් කළෙත් ගුරු සේවේ. සුවඳ පත නල සේවේ යනු පැරකුම්බා සිරිතේ කතුවරයාගේ සුභාෂිතයකි. එහෙත් අද පරපුරේ බොහෝ ගුරු උපදේශකයෝ පවා ඒවා දනිත් දැයි සැක සිතේ.

කෙසේ වුවද මේ සියලු සමාජ දේශපාලන කැළඹීම් දෙස බලන අපට සිහිපත් වන්නේ කොසොල් රජු විසින් දුටු බව සඳහන් සිහින දහසය පිළිබඳ බෞද්ධ විග්‍රහයයි. කොසොල් රජු දුටු හයවන සිහිනයෙහි වූයේ මුහුණු ද්විත්වයක් හෙවත් මුහුණු දෙකක් ඇති කළු පැහැ අශ්වයකු එහි වූ මුඛ දෙකෙන්ම ආහාර ගන්නා ආකාරයකි. මේ සිහිනයෙහි අර්ථය සමාජ පරිහානියත්, සියලු සදාචාර ධර්ම මානව වටිනාකම් යුක්තියේ හා සාධාරණයෙහි මිනුම් දඬු ආදී සියල්ල විකෘති වී තිබෙන බවය. සත්‍යය ඉන්ද්‍රිය සංවරය යහපත බිඳ වැටී බොරුව අසංවරය දුෂ්ටත්වය සමාජගත වී තිබෙන බවය. අධමයන්ට නිවටුන්ට හොරුන්ට ආදී පාපතර බලවේග සියල්ල සමාජ මතු මහලෙහි සැණකෙළි සිරියෙන් සිටිද්දී පොදු ජනයා දුකින් සාගින්නෙන් පෙළෙමින් පීඩාවට විපතට පත්ව සිටින බවය. ලැජ්ජා බිය අතුරුදන් වන බවය. දුසිරිත සුසිරිත වී පාලනයත් සමාජ අගයත් පිරිහී යන බවය.

මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කරන්නේත් ප්‍රශ්න විසඳීමට නොහැකි දූෂණය, වංචාව නඩත්තු කරන දේශපාලනඥයන් ගෙදර යා යුතු බවය. අද රටට වුවමනා අලුත් දේශපාලන සංස්කෘතියට අදාළව ජනතාව බුද්ධිමත් තීරණ ගත යුතු බවද උන්වහන්සේ කියති. ඌරුවරිගේ වන්නියලැත්තන් පෙන්වා දෙන්නේත් ඡන්දයට ඉදිරිපත් නොවුන අය මෙන්ම ඒවායින් පරාජයට පත්වු අයද පාර්ලිමේන්තුවට යද්දී ආදි වාසීන් වන මේ බිමේ උරුමක්කාරයන්ට සාධාරණ නියෝජනයක් අද නොමැති බවය. මුළු රටම එය අනුමත කරති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment