මහින්ද – නාමල් ඇතුළු පිරිසකට නොතිසි

273

පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියට කඩාවැදී රජයට එරෙහිව සාමකාමි අයුරින් විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහරදීමට එරෙහිව ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09 දා) අවසර ලබා දුන්නේය. එකි අමානුෂික ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ ළහිරු චානක ඇතුළු අරගලකරුවන් පිරිසක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි 22 වැනිදා විභාගයට ගැනීමට ද විජිත් කේ. මලල්ගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල දින නියම කළහ.

එම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළහ.

එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා නොදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා විනිසුරු මඬුල්ලෙන් දැඩිව ඉල්ලා සිටි නමුත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා ඇතුළු නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල ඉදිරිපත් වූ කරුණු අනුව පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට බැලූ බැල්මට පෙනී යන බවට නිගමනය කර පෙත්සම්
විභාගයට අවසර ලබා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment