මහින්ද, බැසිල්, කබ්රාල් සහ ආටිගල රටින් යන්නේ නෑ!

176

නීතිඥවරු එකඟතාව පළ කරති

රට ආර්ථික අගාධයකට ඇද වැටීමට හේතුපාදකවූ තීන්දු තීරණ ගත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 6 වන වගඋත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මහාචාර්ය ඩබ්ලිව්. ඩී, ලක්‍ෂ්මන් මහතාට අද (15 දා) දක්වා විදේශ ගමන් තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 දා) නියෝගයක් නිකුත් කළේය.

එම නඩුවේ සෙසු වගඋත්තරකරුවන් අතරින් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව සිය සේවාදායකයන් රටින් පිටව නොයන බවට අධිකරණය හමුවේදී එකඟතාවක් පළ කළහ.

එසේ නමුත් හය වන වගඋත්තරකාර ඩබ්ලිව්. කේ. ලක්‍ෂ්මන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා කරුණු දක්වමින් නඩුවට හා එකී පැමිණිල්ලේ මෝසමට අදාළ ලේඛන සිය සේවාදායකයා වෙත මෙතෙක් ලැබී නොමැති බැවින් එවැනි එකඟතාවයක් ලබාදීමේ ගැටලුවක් ඇතැයි පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු දක්වමින් විදේශ ගත නොවන බවට එම වගඋත්තරකරු එකඟතාවයක් නොදක්වන්නේ නම් අද සිය පැමිණිල්ල යළි කැඳවනතෙක් හෝ ඔහුට විදේශ ගමන් තහනමක් පනවන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ, ප්‍රියන්ත ජයවර්ධන හා එල්. ටී. බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

රට ආර්ථික අගාධයකට ඇද දැමීමට හේතුපාදක වූ තීන්දු තීරණයන් වගකිවයුතුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට බලකරන නියෝගයක් නීතිපතිවරයා වෙත කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම අද දක්වා කල්තැබීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment