මහින්ද රටට වඩා පවුලට ලැදිවීමත් ප්‍රශ්නවලට බලපෑවා – කුමාර වෙල්ගම

227

ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම අනවශ්‍ය බවත් ඔහු කළ යුත්තේ බිරිඳ සමග පිනක් දහමක් කරගෙන නිවෙසට වී නිදහසේ කාලය ගත කිරීම බවත් නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා ඊයේ (05දා) පැවසීය.

ගෝඨාභය මහතාට යහපත් බිරිඳක් සිටින බැවින් ඇය සමග කාලය ගත කිරීම මේ මොහොතේ සුදුසු බව පැවසූ කුමාර වෙල්ගම මහතා, තමන් දිගින් දිගටම කීවාක් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනය නොතේරෙන බවත් එය තවදුරටත් එසේම බවත් කියා සිටියේය.

රට මේ මොහොතේ වැටී ඇති අවාසනාවන්ත තත්ත්වයට රාජපක්ෂ පවුල මුළුමණින්ම වගකිව යුතු බව පැවසූ කුමාර වෙල්ගම මහතා, මහින්ද රාජපක්ෂ මහතා රටට වඩා පවුලට ලැදිවීම රට මුහුණ දී ඇති බොහෝ ප්‍රශ්නවලට හේතු වී ඇති බවට චෝදනා කළේය. ලබන වසරේ පෙබරවාරි 25 වැනිදායින් පසු රාජපක්ෂ පවුල ගෙදර යැවිය හැකි වනු ඇතැයි කුමාර වෙල්ගම මහතා මෙහිදී අනාවැකියක්ද පළ කළේය.

නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම අදහස් පළකළේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඊයේ බත්තරමුල්ලේදී විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment