මහින්ද-වාසු-ගාමිණී පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 53යි

155

තිදෙනාම ජනපති සටනට පැමිණි අය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සහ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු මෙන්ම 1994 ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වූ (එජාප) දිවංගත ගාමිණී දිසානායක යන මහත්වරු තිදෙනාම පාර්ලිමේන්තුවට තේරී පත්වී මැයි මස 27 වැනිදාට වසර 53ක් සපිරේ.

1970 මැයි මස 27 වැනිදා පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් බෙලිඅත්ත අසුන නියෝජනය කරමින් ශ්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස තරග කරමින් වැඩි ඡන්ද 6626 කින් මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය. වාසුදේව නානායක්කාර මහතා ලංකා සමසමාජ පක්‍ෂයේ අපේක්‍ෂකයකු ලෙස කිරිඇල්ල අසුනට තරග කරමින් වැඩි ඡන්ද 6183 කින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ අතර දිවංගත ගාමිණී දිසානායක මහතා ද එජාප අපේක්‍ෂකයා ලෙසින් නුවරඑළිය අසුනට තරග කරමින් වැඩි ඡන්ද 2077 කින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මහින්ද රාජපක්‍ෂ මහතා 1970 මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත්වූ ළාබාලතම මන්ත්‍රීවරයා වූ අතර එවිට ඒ මහතාගේ වයස අවුරුදු 23 කි.

ගාමිණී දිසානායක මහතා 1994 නොවැම්බර් 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි විධායක ජනාධිපතිවරණයේ දී එජාප ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නාම යෝජනා භාර දී තිබූ අතර 1994 ඔක්. 23 වැනිදා රාත්‍රියේ තොටලඟදී පැවැති ජනාධිපතිවරණ රැළියක් අමතමින් සිටිය දී එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඒ මහතා ඇතුළු පිරිසක් ඝාතනයට ලක්විය.

මහින්ද රාජපක්‍ෂ මහතා ආණ්ඩු කීපයක් යටතේ ප්‍රබල ඇමැති ධුර ගණනාවක්ද, අග්‍රාමාත්‍ය ධුරය ද හෙබැවූ අතර 2005 හා 2010 යන වර්ෂවල ජනාධිපතිවරණවල දී ජය ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ජනවාරි 08 වැනිදා පරාජයට පත්වූ අතර වාසුදේව නානායක්කාර මහතා 1982 දී නව සම සාමාජ අපේක්‍ෂකයා ලෙස ද, 1999 ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සන්ධානයේ අපේක්‍ෂකයා ලෙස ද තරග කළ අතර ජනාධිපතිවරණ දෙකේදී පිළිවෙළින් 1982 දී ඡන්ද 17,005 (ප්‍රතිශතය 0.26%) හා 1999 දී ඡන්ද 23,668 (ප්‍රතිශතය 0.28%) ක් ලබා ගත්තේය.

මෙම 1970 මහා මැතිවරණයේ සුවිශේෂත්වය වන්නේ පර්ලිමේන්තුවට පත්වූ තිදෙනාම විටින් විට ජනාධිපතිවරණ සඳහා තරග කිරීමයි. එලෙසම 1970 මැයි 27 මහා මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා බෙලිඅත්ත අසුනින් දොස්තර රංජිත් අතපත්තු මහතා ද (එජාප), වාසුදේව නානායක්කාර මහතා, කිරිඇල්ල අසුනින්, දොස්තර ලෙනාඩ් කිරිඇල්ල (එජාප) මහතා ද පරාජය කිරීමයි. මේ දෙදෙනාම වෛiවරුන් වීම සුවිශේෂ සිද්ධියකි.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment