මහියංගන ධාතු ගර්භයේ රිදී පත්තිරු නිදන්කළ පංච ජොන් අන්දරය

360

අදින් වසර 67කට පෙර සිදු කළ අසිරිමත් පිංකමක්

මේ කියන්නට යන කතාවේ සඳහන් පින්සාර මිනිසුන් මේ වනවිට ජීවතුන් අතර නැත. ඔවුහු මිය පරලොව යන්නේ ශේෂය පිණිස විසල් මතකයන් ඉතිරි කර තබමින්ය. අසා සිටීමේදී පවා සාදු සිතුවිලි උපදින එම සිරිමත් මතකය අප හමුවේ හෙළිදරව් කර සිටියේ එම අතීත මිනිසුන්ගේ දරු මුණුබුරන් කීපදෙනකු විසින්ය. ඔවුන් අතරින් ද ඩී. බී. සුගතදාස මහතා සතු මතකය සුවිශේෂී වන්නේ ඔහුගේ පියාණන් වන ඩී. බී. ජෝන් උපාසක තැන ඇතුළු තවත් “ජෝන්” ලා සිව් දෙනකු විසින් සිදු කළ මෙම අසිරිමත් පින්කම පිළිබඳ සිරිමත් මතක ඩී. බී. සුගතදාස මහතාගේ මනස තුළ තවමත් පැළපැදියම්ව පැවැතීම හේතුවෙන්ය. මහියංගණ සෑරඳුන් සතු වන්දනීය ඉතිහාසය රනින් රිදියෙන් සැරසූ තම පියාණන් ඇතුළු සිව්දෙනකු ගෙන් සමන්විත පංච ජෝන් අන්දරය අප හා පවසමින් ඔහු ප්‍රකාශ කර සිටියේ “ජෝන්” නැමැති නම් ඇතුළත් එම පස්දෙනා අතරට කලක් මෙරට අග්‍රාමාත්‍ය ධුරය ඉසිලූ සර් ජෝන් කොතලාවල මහතා ද ඇතළත් බවය. එම මහරු අතීතයේ සිරිමත් මතකය මෙනෙහි කළ අගලවත්ත දාපිලිගොඩ පදිංචි සී. බී. සුගතදාස මහතා ඔහු සතු මතකයේ එක් සුවිශේෂී පරිච්ඡේදයක් අප හමුවේ විවර කර සිටියේ මේ අයුරින්ය.

“ඒ කාලේ මං පුංචි කොලු ගැටයා. අගලවත්තෙ බේරගම කියන ගමේ හිටිය ජෝන් උපාසක මහත්තයා කියලා කෙනෙක්. ඔහු දනට පිනට හිතැති පුද්ගලයෙක්. මුළු ජීවිත කාලයම තනිකඩව ගත කළ ජෝන් උපාසක තැන තමන් සතු සියලු ධනය ආගම දහමට කැප කරල අවසානයේ කළුගල ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව ඉන්න අතරෙ තමයි ඔහු මිය පරලොව ගියේ. අන්න ඒ ජෝන් උපාසක තැන තමයි මුලින්ම දැනගෙන තියෙන්නේ මහියංගණ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරල නිධන් වස්තු තැන්පත් කිරීමේ පින්කමක් පවත්වන්න යනවා කියලා. මේ ආරංචිය ලැබුණට පස්සෙ තමයි ජෝන් උපාසක තැන තීරණය කරන්නෙ, ඒ මහා කුසල කර්මයට තමනුත් දායක වෙන්න ඕන කියලා. ඒ පාර ඔහු මොකද කරන්නෙ තමන් සතු රන් රිදී ටික මකවල පූජා වස්තුවක් තනන්න තීරණය කරනවා. මේ ආරංචිය වටපිටාවේ පදිංචි උදවිය දැන ගත්තට පස්සෙ ඒ අයත් ඔවුන්ට පුළුවන් ආකාරයෙන් ඒ සඳහා සම්මාදම් වෙන්න තීරණය කරනවා. ඒ සම්මාදම කොච්චර ද කියනවා නම් අවසානයේදී රාත්තල් 6ක් බරට රන් රිදී එකතු වෙනවා. එතැන වැඩි පුරම තිබුණේ ‘උණ පුරුක් වළලු’ කියල ඒ කාලෙ හැඳින්වූ රිදී වළලු ජාතියක්. ඊට අමතරව මුද්‍රා කොණ්ඩ කූරු, හවඩි, සුර ආදියත් තිබිල තියෙනවා. ඒ බව මම ඇස් දෙකෙන් දැක්කා. ඊට අමතරව තාත්තා ඒ කාලේ ඔය විස්තරය මගෙත් එක්ක කියලත් තියෙනවා.”

මහියංගන ධාතු ගර්භයේ රිදී පත්තිරු නිදන්කළ පංච ජොන් අන්දරය

“මගේ තාත්තගෙ නම ඩී. බී. ජෝන්, ඔහු දක්‍ෂ නිර්මාණ ශිල්පියෙක්. අපේ පළාතේ වෙහෙර විහාරස්ථාන බොහෝමයක් සඳහා පූජා භාණ්ඩ නිර්මාණය කළේ මගේ තාත්තා. ඒ හින්ද වෙන්න ඇති බේරගම ජෝන් උපාසක තැන විසින් මහියංගණ මහ සෑයට පූජා කරන්න තීරණය කළ පූජා භාණ්ඩය නිර්මාණය කරන්න මගේ තාත්තට භාර දෙන්නෙ. දැන් මේ කටයුත්තට ජෝන්ල දෙන්නෙක් සම්බන්ධයි. බේරගම ජෝන් උපාසක තැන විසින් සම්මාදම් කරල ගෙනැත් තාත්තට භාර දෙන රිදී රත්තරන් ටික පිරිසිදු කරල රන් රිදී මිශ්‍ර පත්තිරු නිර්මාණය කළේ මගේ තාත්තා. මාස ගාණක් තිස්සේ මගේ තාත්තා ඒ කටයුත්තෙ නිරත වුණා. ශ්‍රද්ධා භක්තිය මුල් කරගෙන තමයි හැම දෙයක්ම සිද්ධ වුණේ. පුස්කොළ පොතක ප්‍රමාණයට තමයි පත්තිරුවක දිග පළල ගත්තෙ. ඒ කටයුත්ත බොහොම ලස්සනට පිරිසිදුවට සිද්ධ කළාට පස්සෙ තවත් ජෝන් කෙනෙක් මේ පුණ්‍ය කර්මයට දායක වෙනවා. ඔහු තමයි අගලවත්ත උඩවෙල ප්‍රදේශයේ පදිංචිවෙලා හිටිය දෙමින් ආච්චි අතුකෝරලාගේ දොන් ජෝන් කියන ඉස්කෝලෙ මහත්තයා. දැන් මේ කටයුත්තට ජෝන්ල ම තුන්දෙනයි.”

1950 දශකයේ මුල් භාගයේ සිදු වූ අපූර්ව සිදුවීම් මාලාවක් අප හමුවේ හෙළිදරව් කර සිටින ඩී. බී. සුගතදාස මහතා තමන් සතු මතකය නිවැරදි පිළිවෙළට ප්‍රකාශ කර සිටින ආකාරය සිත්ගන්නාසුලුය. තම පියාණන් ඇතුළු එකම නමින් හඳුන්වනු ලැබූ තවත් සිව්දෙනකු එකතුව සිදු කළ මහා පුණ්‍ය කර්මයෙහි ඉතිරි තතු ඔහු විසින් පවසන්නට වූවේ ඉහත සඳහන් විස්තරය සිදු කිරීමෙන් පසුව ලබාගත් මඳ විවේකයකින් අනතුරුවය.

“ ජෝන් ඉස්කොලෙ මහත්තයට පැවරිච්ච වගකීම තමයි මගේ තාත්තා අතින් නිමාවට පත් කළ රිදී පත්තිරු මත සතිපට්ඨාන සූත්‍රය ලියන එක. එතුමා ඒ කටයුත්ත පිණිස දවස් ගාණක් මහන්සිවෙලා තිබෙනවා.

ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බොහොම ලස්සනට අර පත්තිරු මත සතිපට්ඨාන සූත්‍රය ලියා තබන්න ජෝන් ඉස්කොලෙ මහත්තයට පුළුවන්කම ලැබෙනවා. දැන් මහියංගණ මහ සෑ රඳුන් උදෙසා පූජා කරන්න නියමිත පිරිත් පොත් වහන්සේගේ වැඩ කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිද්ධ කරලා ඉවරයි. නමුත් පිරිත් පොත් වහන්සේ අංග සම්පූර්ණ කරන්න නම් පිටකම්බා (ආවරණ) දෙක හදන්න ඕන. ඒ වැඩෙන් භාර අරන් තියෙන්නෙ ජෝන් කෙනෙක්මයි. ඔහුත් අගලවත්තෙ පදිංචි පුද්ගලයෙක්. ප්‍රදේශවාසීන් ඔහුව හඳුන්වන්නෙ ජෝන් බාස් උන්නැහෙ කියලා. එයත් දක්‍ෂ නිර්මාණ ශිල්පියෙක්. ඔහු මොකද කරන්නෙ පිත්තල උපයෝගී කර ගනිමින් අලංකාර තලයමින් යුක්ත පිට කම්බා දෙකක් ඒ සඳහා නිම කරලා දෙනවා. සතිපට්ඨාන සූත්‍රය ඇතුළත් රන් රිදී මිශ්‍ර පිරිත් පොත් වහන්සේ නමක් “ජෝන්”ලම හතර දෙනෙක් විසින් එහෙම නම් කළාට පස්සේ බොහොම ගරු ගාම්භීර අයුරින් ඒ පිරිත් පොත් වහන්සේව මහියංගණයට වැඩම කරවනවා.

සිව් දෙනකුගේ දහදිය මහන්සිය මතින් හා පිනට ලැදි තවත් බොහෝ පිරිසකගේ දායකත්වය මතින් රනින් රිදියෙන් කරන ලද පිරිත් පොත් වහන්සේ මහියංගණ මහ සෑ රඳුන්ගේ “අඩියේ නිධානය” ලෙස තැන්පත් රකනු ලබන්නේ 1955 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වැනි දිනය. එම නිධන් වස්තු තැන්පත් කිරීම (අඩියේ නිධානය) සිදු කරනු ලබන්නේ ද සුවිශේෂී පුද්ගලයකු විසින්ය.

මහියංගන ධාතු ගර්භයේ රිදී පත්තිරු නිදන්කළ පංච ජොන් අන්දරය

ඔහු ද “ජෝන්” කෙනකු වීම තුළ මෙම අසිරිමත් පුවත එකළ මෙරට පැවැති මුද්‍රිත මාධ්‍ය විසින් නම් කරනු ලබන්නේ “පංච ජෝන් හවුල” නමින්ය. පස්වැන්නා ලෙස මෙම පුණ්‍ය කටයුත්ත පිණිස අත ගසන ලද පුද්ගලයා අන් කවරෙක්වත් නොව එවකට මෙරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ සර් ජෝන් කොතලාවල ශ්‍රීමතාණන්ය. එය කලින් සැලුසුම් කළ දෙයක් නොව, නිධන් වස්තු ප්‍රදර්ශනය කිරීමේදී එය දුටු සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා විසින් එම මොහොතේ ගත් තීරණයක් අනුව එය සිදු වී ඇත. වැඩිහිටියන්ගෙන් අසා දැනගත් කරුණුවලට අනුව ඒ සිදුවීම පිළිබඳවත් ඩී. බී. සුගතදාස මහතා විසින් විස්තර කර සිටියේ පහත සඳහන් ආකාරයෙන්ය.

නිධන් වස්තු තැන්පත් කරන්න පෙර ඒවා මහජන ප්‍රදර්ශනය පිණිස ඉදිරිපත් කරල තිබෙනවා. මේක නරඹන්න සර් ජෝන් කොතලාවල මහත්තයත් සම්බන්ධ වෙනවා. ඒ කාලේ රටේ අගමැති එතුමා, නිධන් වස්තු නරඹද්දී එතුමාගේ ඇස මේ අපූර්ව නිර්මාණය ළඟ නතර වෙනවා. සර් ජෝන් එතෙකින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. පිරිත් පොත් වහන්සේ ගැන එතැන හිටිය සංවිධායකයාගෙන් විස්තර විමසනවා. එතැනදී තමයි එතුමා දැනගෙන තියෙන්නෙ මේ අපූර්ව නිර්මාණය කරලා තියෙන්නෙ “ජෝන් ල” හතර දෙනෙක් විසින් බව. ඊට පස්සෙ එතුමන් ජෝන් හින්ද ඔහු විසින්ම තීරණය කරල තියෙනවා අගලවත්තේ ජෝන් ල විසින් නිර්මාණය කළ ඒ අගනා පූජා වස්තුව මහියංගණ මහ සෑ රඳුන්ගේ “අඩියේ නිධානය’ ලෙස එතුමගේම සුරතින් තැන්පත් කළ යුතුයි කියලා.

මේ පුණ්‍ය කටයුත්ත “පංච ජෝන් හවුලක්” ලෙස ප්‍රකට වෙලා තිබෙන්නේ ඒ නිසයි.”

ඩී. බී. සුගතදාස ඇතුළු අගලවත්ත ප්‍රදේශයේ පදිංචි තවත් වියපත් මිනිසුන් කීපදෙනකු විසින් ආවර්ජනය කරන ලද එම අතීතය දින වකවානු සහිතව සනාථ කර ගැනීම පිණිස මහියංගණ සෑ රඳුන් සතු ඉතිහාසය පිරික්සා බැලිය යුතුයි. ඒ අනුව කරන ලද සොයා බැලීමකදී අගලවත්තේ මිනිසුන් පවසන අතීතය සියයට සියයක් නිවැරදි බව සනාථ විය.

වසර 2500ක් ඉපැරණි මහියංගණ සෑ රඳුන් වරින් වර 8 වරක් ප්‍රතිසංස්කරණය කර ඇත. එහි අවසන් වරට ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබන්නේ 1949 සැප්තැම්බර් මස 09 වැනි දිනය. එවකට මෙරට අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලබන්නේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන් විසින්ය. එතුමන් විසින් රිදියෙන් කරන ලද උදෑල්ලක ආධාරයෙන් මංගල පස් පිඬැල්ල කැපීමෙන් අනතුරුව ආරම්භ කරන මහියංගණ මහ සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව 1955 සැප්තැම්බර් මස 03 වැනි දින මහියංගණ මහ සෑ රඳුන්ගේ අඩියේ නිධානය සිදු කරනු ලබන්නේ සර් ජෝන් කොතලාවල විසින්ය. අගලවත්ත මිනිසුන්ගේ අපරිමිත ශ්‍රද්ධාවේ “අමිල නිධානය” මහියංගණ සෑ රඳුන්ගේ අඩියේ නිධානය බවට පත් වන්නේ ඒ ආකාරයෙන්ය. එය ඉතිහාසය විසින් සනාථ කර පෙන්වන කරුණක්ය. ඉන් අනතුරුව මහියංගණ මහ සෑ රඳුන්ගේ හතරැස් කොටුවේ ධාතු නිධානය 1958 සැප්තැම්බර් මස 18 වැනි දින මෛත්‍රීපාල සේනානායක ඇමතිවරයා විසින් ද කොත්වහන්සේ පැළඳවීමේ මහෝත්සවය එවකට මෙරට අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලද ඩඩ්ලි සේනානායක මහතා ඇතුළු තවත් ප්‍රභූන් පිරිසකගේ සහභාගීත්වයෙන් 1961 සැප්තැම්බර් මස 21 වැනි දින සිදු කර ඇති බවට ද මහියංගණ මහ සෑ ඉතිහාසයේ සඳහන් තවත් වැදගත් කරුණු කාරණාවන්ය.

මහියංගණ මහ සෑ රඳුන් දෑසින් දැක ගැනීම තුළ පවා බොදුනුවන් තුළ උපදවන්නේ බුදුන් දැකීම වැනි පින්සාර හැඟීමක්ය. ඒ සා පින්සාර දසුනක ඇතුළු ගර්භයක තැන්පත් කොට ඇති අගලවත්ත මිනිසුන්ගේ ශ්‍රද්ධාව මුසු දහදිය මහන්සිය මේ මොහොතේ පවා අපරිමිත වන්දනාවට ලක්වෙමින් ඇත. ඒ සා විසල් පුණ්‍ය කර්මයක් පිණිස නිර්ලෝභීව ඉදිරිපත් වූ එම අතීත මිනිසුන් මේ වනවිට මෙලොව හැර ගොස් ඇතත් සුගතිගාමී උපතක් පිණිස ඔවුන් විසින් කරන ලද ඉහත සඳහන් පුණ්‍ය කර්මය පමණක් වුවද ප්‍රමාණවත්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment