මහීපාලගේ ගොවිපළෙන් යූරියා මිටි 400ක් හමුවීමත් සමග  ආණ්ඩුකාර ධුරයෙන් යන්නැයි ගොවීහු උද්ඝෝෂණයේ

1736

මෙයා ආණ්ඩුකාරවරයෙක් නෙවෙයි ජාවාරම්කරුවෙක්

ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ඇතුළු යූරියා පොහොර නොමැතිව ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇති මොහොතක උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාට අයත්

ගොවිපළකින් යූරියා පොහොර මිටි හාරසීයක් හමුවීමත් සමඟ ඊයේ (12දා) උතුරු මැද පළාත් සභාව ඉදිරිපිටට රැස්වූ පිරිසක් ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ උපදේශක අමල් පියතිලක මහතා.

මේ වෙලාවේ උතුරු මැද පළාතේ සිවිල් ක්‍රියාකාරීන් සංගම්වල නියෝජිතයන් එක්කෙනා බැගින් මෙම ස්ථානයට සහභාගි වී සංකේතාත්මකව කියන්නේ, ඉතිහාසයේ ලංකාවේ ආණ්ඩුකාරවරු හිටිය නම් උතුරු මැද පළාතේ දැනට ඉන්න ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා තමයි දූෂිතම ආණ්ඩුකාරවරයා කියලා අපි කියනවා. ජනතාව එක්රැස් කරන්න ඉස්සෙල්ලා, ජනතාව පාඩම් උගන්නන්න ඉස්සෙල්ලා වහාම මෙහෙන් වැදගත් විදියට ඉල්ලා අස්වෙන්න කියලා අපි කියනවා. අපේ පළාතට ගැළපෙන අපේ ගඳ සුවඳ හඳුනන ගොවි ජනතාවගේ දුක දැනෙන ආණ්ඩුකාරවරයෙක් දෙන්න කියලා ජනාධිපතිවරයාගෙන් අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. අපි ඒ එක්කම අනුරාධපුරයේ සිටින සියලුම නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේලාගේ වෙලාව දැන් පැමිණ තිබෙනවා. ඔබවහන්සේලා මේකට පෙරමුණ ගන්න ඕනේ. අපේ පළාත පෙනි පෙනී දූෂණය කරනවා පිටින් ආපු උදවිය.

මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සහ හිටපු පළාත් ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ ජයලත් බණ්ඩාර සෙනෙවිරත්න මහතා.

අපි පළාත් සභාවේ ඉන්න කාලයේදී මේ පළාත් සභාවේ දස අවුරුදු සංවර්ධන සැලැස්මක් හැදුවා. අද මේ ආණ්ඩුකාරවරයා ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න දෙන්නෙ නැහැ. එම සැලැස්මේ අඩංගු වෙලා තියෙන්නෙ මේ පළාත සංවර්ධනය කරන්නේ කොහොමද, දුප්පත්කම නැති කරන්නේ කොහොමද කියලයි. අද එන්න එන්නම පළාතේ දුප්පත්කම වැඩි වෙනවා. ණය බර වැඩි වෙනවා. මෙයා ආණ්ඩුකාරවරයෙක් නෙවෙයි ජාවාරම්කරුවෙක්. අපි කියන්නේ පළාතේ දුප්පත් ජනතාව තවත් දුකට පත් කරන්නේ නැතුව ගෞරවාන්විත ලෙස ඉල්ලා අස්වෙන්න කියලයි.

මෙම උද්ඝෝෂණය පැවති අවස්ථාවේදී උතුරු මැද පළාත් සභාව අවට සහ පළාත් සභා පරිශ්‍රය තුළ යුද හමුදාව සහ පොලිසිය දැඩි රැකවල් යොදා තිබුණු අතර කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථද ස්ථාන ගතකර තිබුණි.

උද්ඝෝෂකයන් සිව් දෙනකු සංදේශයක් භාරදීම සඳහා පළාත් සභා පරිශ්‍රයට ගමන් කළද ආණ්ඩුකරවරයා නොසිටීම හේතුවෙන් එය නියෝජිතයකුට භාරදීමෙන් අනතුරුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.

උද්ඝෝෂකයන් නගන චෝදනා සම්බන්ධයෙන් විමසීමට අප උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ජංගම දුරකථනයට කීප වතාවක් ඇමතුම් ලබා ගත් අතර එය විසන්ධි කර තිබිණි, ඉන් අනතුරුව ආණ්ඩුකාරවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් කළ විමසීමකදී, ආණ්ඩුකාරවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොමැති බැවින් එම අවස්ථාවේදී ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බව පැවසූ අතර ආණ්ඩුකාරවරයා පසුව සම්බන්ධ කර දෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment