මහීෂ්ගේ කණ්ඩායම වනිඳුගේ කණ්ඩායමට පරදී

371

චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පූනේහිදී පෙරේදා (4 වැනිදා) පැවැති අයිපීඑල් තරගයෙන් ලකුණු 13 ක ජයක් ලබා ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 160 ක් පමණි.

කාසියේ වාසිය දිනූ චෙන්නායි පිලේ ආරාධනයෙන් පළමු පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් ලබාගැනීමට සමත් විය.

එහිදී මහිපාල් ලොම්රෝර් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් ද විරාට් කෝලි ලකුණු 30 ක් සහ ෆෆ් ඩු ප්ලෙසීස් ලකුණු 38 ක් ද රාජත් පටිදාර් ලකුණු 21 ක් සහ ඩිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 26 ක් ලබාගනිමින් බැංගලෝර් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

මහීෂ් තීක්ෂණ ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා වූවේය.

ඩෙවොන් කෝන්වේ පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 56 ක් ද, මොයින් අලී පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් සහ රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 28 ක් ලබාගත්තද චෙන්නායි පිලේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

හර්ෂල් පතෙල් කඩුලු 3 ක් සහ ග්ලෙන් මැක්ස්වෙල් කඩුලු 2 ක් දවාගත් අතර ඕවර 3 ක් යැවූ වනිඳු හසරංග ලකුණු 31 කට කඩුල්ලක් දවාගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment