මහේල ඉන්දීය පුහුණුකරු ධුරය එපා කියයි

1105

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නැයි එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීම ශී‍්‍ර ලංකාවේ හිටපු කී‍්‍රඩක මහේල ජයවර්ධන විසින් ප‍්‍රතික්ෂේප කර අර ඇති බවට වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය විසින් මේ බව වාර්තා කරන අතර වත්මන් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන රවී ශාස්තී‍්‍ර ලබන මාසයේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත් වන හෙයින් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය මහේලගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකරයට ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරය ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව අනිල් කුම්බ්ලේ වෙත පැවරීමට මේ වන විට තීරණය කර ඇතත් එය ඊට පෙර මහේල ජයවර්ධන වෙත ලබා දීමට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. එහෙත් ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වීමට කැමැත්නේ පසුවන හෙයින්ද දැනට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන හෙයින්ද ඔහු එම ධුරය ප‍්‍රතික්ෂේප කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ කොන්දේසිවලට අනුව ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු හට කි‍්‍රකට් සම්බන්ධයෙන් වෙනත් කොන්ත‍්‍රාත් භාර ගත නොහැකි අතර මෙම කාරණයද මහේල විසින් එම ධුරය ප‍්‍රතික්ෂේප කිරීමට බලපෑ බව වාර්තා වේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් ඉන්දීය පි‍්‍රමියර් ලීග් ශූරතාව තුන් වතාවක් එම කණ්ඩායමට දිනා දීමට මහේල ජයවර්ධන සමත්වී තිබේ. මීට අමතරව එංගලන්තයේ සදර්න් බ්‍රේව් කණ්ඩායමේද පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල ‘ද හන්ඩ‍්‍රඞ්’ තරගාවලියේ ශූරතාව එම කණ්ඩායමට දිනා දීමටද කටයුතු කළේය.

කෙසේ වෙතත් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසාලන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස මහේල ජයවර්ධන පත්කර ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානයද යොමු වී ඇති අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කමිටුවට මේ පිළිබඳ ඔවුන් දන්වා ඇති බවටද පසුගියදා වාර්තා පළවිය. එ් අනුව මහේල ජයවර්ධන ඉන්දීය පුහුණුකරු ධුරය ප‍්‍රතික්ෂේප කිරීමට එම කාරණය බොහෝ දුරට බලපා ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිත අනිල් කුම්බ්ලේ මීට පෙරද ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2017 වසරේදී විරාට් කෝලි සමගින් ඇති වූ ආරවුලක් හේතුවෙන් කුම්බ්ලේ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment