මහේල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශක ලෙස පත් කරයි

364

ලෝක ක‍්‍රිකට් පිටියේ අතිදක්ෂ පුහුණුකරුවෙකු ලෙස පිළිගැනීමට ලක්ව ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මහතා ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස පත් කර ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිල නිවේදනයකින් කියවුණේ මහේල ජයවර්ධන මහතාගේ පත් කිරීම 2022 ජනවාරි 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වන බවත් වසරක කාලයක් සඳහා එම පත්වීම බල පැවැත්වෙනු ඇති බවත්ය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව සමඟ සාකච්ඡුා කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන විධායක කමිටුව විසින් මහේල ජයවර්ධන මහතාව පුහුණු උපදේශක තනතුරට පත් කිරීමට පියවර ගනු ලැබීය.

නව පත්වීම යටතේ මහේල ජයවර්ධන මහතා ජාතික පිරිමි කණ්ඩායම මෙන්ම සෙසු ජාතික කණ්ඩායම් වල ක‍්‍රිකට් අංශය භාරව කටයුතු කරනු ඇත. ඊට අමතරව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ, ක‍්‍රීඩකයන්ට සහ කණ්ඩායම් කළමනාකරණය සඳහා වන සියලූම උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සඳහා වන සහයෝගය ජයවර්ධන මහතා ලබාදීමට නියමිතය.

හිටපු නායකයා ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීම පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, ”ඉදිරි 2022 වසරේ ශ‍්‍රී ලංකාවට හිමි ජාත්‍යන්තර දින දර්ශනය පිළිබඳව සැලකිල්ලට ගනිමින් දීර්ඝ කාර්ය භාරයක් සඳහා ජාතික කණ්ඩායම සමඟ එක්වීම ගැන අපි අතිශයින් සතුටට පත් වෙනවා’’ යනුවෙන් සඳහන් කර සිටියේය.

”අවසන් වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක‍්‍රියාත්මක වූ පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ඉහළ දක්ෂතා දැක්වීම සඳහා මහේල ලබා දුන් දායකත්වය මිල කළ නොහැකියි’’ යැයිද ප‍්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

නව පත්වීමට අමතරව, ජයවර්ධන මහතා ලබන 2022 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සූදානම් වන ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ ද කටයුතු කරනු ඇත.

‘‘ජාතික කණ්ඩායම වගේම වයස අවුරුදු 19 න් පහළ සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ ඇතුළු විවිධ සංවර්ධන සංචිතවල සිටින ක‍්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන ඒමට උපකාර කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා’’ යැයි උපදේශක පුහුණුකරු තනතුරු ලැබීම පිළිබඳව ජයවර්ධන මහතා සඳහන් කර සිටියේය.

”මම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට දැඩි ඇල්මක්් දක්වනවා වගේම සියලූ වයස් කාණ්ඩ සමඟ වැඩ කිරීම මගින් අනාගතයේදී අපිට ස්ථාවර වූ සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්ථාවක් හිමිවන බව විශ්වාස කරනවා. මගේ ප‍්‍රධානම කාර්ය භාරය වන්නේ ඉදිරි වසර ඇතුළත අපගේ ජාතික පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලයට උපායමාර්ගික සැලසුම් පිළිබඳව සහාය දැක්වීමයි.’’

මහේල ජයවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

ලොව ජනපි‍්‍රයම ලීග් කි‍්‍රකට් තරගාවලිය වන අයිපීඑල් තරගාවලියේ ශුරතාවය 2017, 2019 සහ 2020 වසරවලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබාදීම මහේල ජයවර්ධන මහතාගේ පුහුණුකාරීත්වය යටතේ සිදු වූ අතර ලොව පළමු පන්දු 100 තරගාවලියේ ශුරතාවය සදර්න් බ්‍රේව් කණ්ඩායම හිමිකර ගත්තේ ද මහේල ජයවර්ධන මහතාගේ පුහුණුකාරීත්වය යටතේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment