මහ කන්නයට බිත්තර වී අපිම හදමු…. – වී මිල ඉහළයි, ගොවියා කමතේදීම වී සියල්ල විකුණනවා

715

පසුගිය වගා කන්න දෙකක් තිස්සේම වී ගොවියා මැවිසිලි නඟනු ලැබුවේ තම කුඹුර සඳහා යොදන්නට සුදුසු පොහොර වර්ගයක් වෙළෙඳපොළේ නොමැති බව කියමිනි. ඊට අමතරව ඔහු මේ වනවිට හොඳටම ඇබ්බැහි වී තිබෙන වල්නාශකද නොමැති බව සඳහන් විය. රටේ ආහාර සුරක්ෂිතතාවයට මේ අඩුපාඩුව හරහා සිදුවෙන බලපෑම බලධාරීන්ට අවබෝධ වීමට හානිය උත්සන්න වෙනතෙක් සිටින්නට සිදුවීම නම් රටක් වශයෙන් ගත්කළ කනගාටුවට කරුණකි. අවශ්‍ය ගුරුහරුකම් කෘෂිකර්මය උගත් පාර්ශ්වයන් වෙතින් නිරතුරුවම ලැබෙද්දී පවා, මැදිහත් සිතින් ඒවාට සිත යොමුකරන්නට මීට වඩා උනන්දු විය යුතුව තිබුණි. කෙසේ වෙතත් ලබන මහ කන්නය සඳහා රසායනික පොහොරත්, අවශ්‍ය කෘෂිරසායන ද්‍රව්‍යයත් ලැබෙන බවට මේ වනවිට කොළ එළි දැල්වී තිබේ. එහෙත් රටේ ප්‍රධාන ගොවිතැන වන වී වගාවට බලපාන තවත් සාධකයක් සම්බන්ධයෙන් ඉදිරියේ ඇතිවිය හැකි ප්‍රශ්නකාරී තත්ත්වයක් ගැන දැන් සිටම අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවයක් පවතී. ඒ බිත්තර වී සැපයුමයි. රජයේ ගොවිපළ තුළ නිපදවා, සහතික කළ බිත්තර වී ලෙස ගොවීන් අතට පත්වන්නේ රටේ සමස්ත බිත්තර වී අවශ්‍යතාවයෙන් 10% කටත් අඩු ප්‍රමාණයකි. ඉතිරියෙන් යම් ප්‍රමාණයක් රජයේ අධීක්ෂණය යටතේ පුද්ගලික බිත්තර වී නිපදවන්නන් අතින් සෑදී වාණිජ ධාරාවට එකතුවන අතර, අවශ්‍ය ඉතිරි ප්‍රමාණය කිසිදු සහතික කිරීමක් නොමැතිව ගොවීන් අතර හුවමාරු වන්නේ අවිදිමත් බීජ වශයෙනි.

මහ කන්නයට බිත්තර වී අපිම හදමු.... - වී මිල ඉහළයි, ගොවියා කමතේදීම වී සියල්ල විකුණනවා

කෘෂිකාර්මික වගාවක සාර්ථකභාවයට ගුණාත්මක බීජ මගින් ඇතිකරන බලපෑම සුළුපටු නොවේ. ඇතැම්විට වගාවේ අස්වැන්න තීරණය කිරීම වෙනුවෙන් 25% ක පමණ දායකත්වයක් දක්වන්නේ බීජවල ගුණාත්මය බවට විද්‍යාත්මක කරුණුවලින් පවා සනාථ වී ඇත. ලංකාවේ ප්‍රධාන ගොවිතැන වන වී වගාවටද මෙය සත්‍යයකි. ඒ නිසා කලෙක සිට ගොවිජනතාවට උපදෙස් දෙනු ලැබුවේ සහතික කරන ලද බිත්තර වී භාවිතා කරමින් තම භූමියට හිමි විභව අස්වැන්න වෙතට ගොස් උපරිම ප්‍රතිලාභ නෙළාගන්නා ලෙසටයි. එහෙත් වර්තමානයේදී සිදුවෙන වී වෙළෙඳාමේ ස්වභාවය හමුවේ ලබන මාස් කන්නයට ගන්නට බිත්තර වී ටිකක්වත් ඉතිරිවේ දැයි සැකසහිතය. ව්‍යාපාරිකයන් කුඹුරටම ඇවිත් ඇතැම්විට කාටුව ඉවත් කරන්නටත් පෙර කමතේදීම බැතට මිල නියම කිරීම නිසාත්, ලැබෙන මුදල ඒ තරමටම ආකර්ශනීය ගණනක් නිසාත් ගොවියා පෙළඹෙන්නේ වැඩිය දුරදිග නොසිතා තම අස්වැන්න විකුණා දැමීමටයි. මීළඟ කන්නය වගා කන්නයට අවශ්‍ය බිත්තර වී ටික පවා වෙන්කර ඉතිරි කර ගැනීමට ඇතැම්විට හෙතෙම අමතක කර දමයි.

මහ කන්නයට බිත්තර වී අපිම හදමු.... - වී මිල ඉහළයි, ගොවියා කමතේදීම වී සියල්ල විකුණනවා


“කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ බිත්තර වී ගොවීන් ඉන්නවා. ඔවුන් විසින් බිත්තර වී හදනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඒ අයගේ වගාබිම් මුල සිටම පරීක්ෂා කරලා තමයි බීජවලට අවශ්‍ය සහතිකය ලබාදෙන්නේ. සාමාන්‍ය වාණිජ වී වගාවට සාපේක්ෂව විධිමත්ව බිත්තර වී සෑදීම මගින් ගොවියා වැඩි මුදලක් උපයනවා. ඒ වගේම ඔහු යොදන මහන්සියත් වැඩියි. නමුත් දැන් ආහාර හිඟයක කතාබහ උත්සන්න වෙලා කමතේ වී මිල ඉහළ ගිහින්. වැඩි මහන්සියකින් තොරව ලොකු මුදලකට වී විකුණාගන්න පුළුවන් නිසා බිත්තර වී සෑදීමේ විධිමත් ක්‍රමවේදය හරහා යමින් වැඩි වැඩක් කරන්නත්, වැඩි බරකට කරගහන්නත් ගොවියාට අවශ්‍ය නෑ. ඔහු විසින් තම අස්වැන්න සියල්ල විකුණා දැමීමේ සිරිත නිසා ඉදිරි කන්නයක් තුළදී බිත්තර වී ප්‍රශ්නයක් ඇතිවේවි. ඒ නිසා අපි යෝජනා කරනවා විධිමත් බිත්තර වී නිෂ්පාදනයෙන් පරිබාහිරව, හදිස්සියට කළහැකි ක්‍රමයක්. එනම් තමාගේ දැනට තිබෙන කුඹුරෙන් සුළු කොටසක් වෙන්කරගෙන, මීළඟ කන්නයට තමන්ට අවශ්‍ය බිත්තර වී ටික එතැනින් සාදා ගැනීමේ ක්‍රමයයි මෙසේ හඳුන්වන්නේ. දැනට ඇතැම් කුඹුරු පීදෙන තත්ත්වයේ තිබෙනවානේ. ඒ අයට මේ වැඩේට පහසුවෙන් ඇතුල්වෙන්න පුළුවන්.”

 මෙසේ පවසන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ වී වගාව පිළිබඳ ප්‍රධාන කෘෂි විශේෂඥ රෝහණ තිලකසිරි මහතාය. ඉදිරියේදී කුඹුරු අක්කරයක් වගාකිරීම සඳහා දැනට තිබෙන කුඩා ලියැද්දක ඇති ගොයම යොදාගත හැකි ආකාරය ඔහු පෙන්වා දෙයි. වගාකරු ප්‍රථමයෙන් සැලකිලිමත් විය යුත්තේ ගොයමේ පීදී ඇති වෙනත් වර්ගයන්හි ගොයම් කරල් කපා ඉවත් කිරීමටයි. ලපටි කරල් පිරුණු ලියැද්දේ ඇති ගොයමේ, වෙනස් උසකින් තිබෙන කරල් නිසා කලවම් වූ වී ප්‍රභේදයන් පහසුවෙන් හඳුනාගත හැකිය. එම කරල් කපන අතර වාරයේදීම ඉහළට එසවී තිබෙන වල් කරල් කැපීමටද අමතක කළයුතු නැත. ඒ අනුව පළමු පිරිසිදු කිරීම කරනු ලබන්නේ  වගාව ක්ෂේත්‍රයේ තිබියදීමය.

 “කුඹුරු අක්කරයක් තිබෙන ගොවියකුට මීළඟ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී ටික තමන්ටම හදාගන්න වුවමනා වෙන්නේ මීටර් 10 ක් පමණ දිග පළල තියෙන ලියැදි කොටසක්. ඉතින් මේ වගේ කුඩා කොටසක් පිරිසිදු තත්ත්වයෙන් රැකබලා ගන්න එක එතරම් අමාරු කටයුත්තක් නෙවෙයි.”

 රෝහණ මහතා තවදුරටත් සඳහන් කරයි. මෙම බිම් කොටසේ අස්වැන්න නෙළීම මිනිස් ශ්‍රමයෙන් අතින්ම කරනවානම් වඩාත් සුදුසුය. අනතරුව කොළ මඩින යන්ත්‍රයකින් අස්වැන්න සකසා ගත හැකිවේ. යම් හෙයකින් සංයුක්ත නෙළනයක් භාවිතා කෙරෙන්නේ නම් අදාළ ලියැද්දට යන්ත්‍රය දැමීමට පෙර වෙනත් වී ප්‍රභේද කලවම් වීම වැළැක්වීම සඳහා යන්ත්‍රය හොඳින් පිරිසිදු කරගත යුතුය. තවද නෙළන අස්වැන්න යන්ත්‍රයෙන් පිටතට පැමිණෙද්දී පළමුව එන වී මළු දෙක තුනක් බිත්තර වී ලෙස භාවිතයට නොගැනීමට කල්පනාකාරී විය යුතුය. මන්දයත් පිටින් පිරිසිදු කළ නොහැකි යන්ත්‍ර කොටස් තුළ රැඳී තිබුණු වෙනත් වී වර්ග පළමු වී මළු කිහිපයට මිශ්‍ර වී තිබිය හැකි බැවිනි. මෙම වී හොඳින් පිරිසිදු කරගෙන තෙතමනය 13% වන තුරු වේලා ගැනීමෙන් පසුව පිරිසිදු ඇසුරුමක දමා වාතාශ්‍රය ඇති ආරක්ෂාකාරී තැනක ගබඩාකර තැබීමට පුළුවන් වේ.

 ඉදිරි කන්නය සඳහා දැනට තිබෙන වගාවෙන් තමා විසින්ම වෙන්කර සාදාගන්නා මෙම බිත්තර වී මල්ලේ සහතික කළ බවට යොදන ලද ලේබලයක් නැත. එසේ නමුත් එහි පිරිසිදු බව, වෙනත් වී ප්‍රභේද අන්තර්ගත නොවන බව, හොඳ පැළවීමේ ශක්තියක් රැඳෙන අයුරින් වගාව රැකබලා ගත්බව යනාදී කරුණු පිළිබඳව පැහැදිලි සහතිකයක් වගාකරුගේ හෘද සාක්ෂිය තුළ ලියැවී තිබේ. ආයතනයක් මගින් වී මල්ලක එල්ලන කඩදාසි ලේබලයකට වඩා වැඩි වටිනාකමක් එම සහතිකයට ඇත. දේශීය සහලෙන් රට සරුකරන්නට සිතමින් වැටුණු තැනින් නැඟිට යන මේ ගමනේ සාර්ථකත්වය රැඳී ඇත්තේ තැනේ හැටියට ඇනේ ගසනවා වැනි මෙවන් අවස්ථානුකූල සුසරකිරීම් බවද ගොවි ප්‍රජාව තේරුම්ගත යුතුය. එම උපදෙස්වලට අවංකව අවනත විය යුතුය.

 සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment