මහ කන්නයට වෙලාවට පොහොර එනවා බය නැතිව වගා කරන්න පටන් ගන්න – ඇමැති අමරවීර කියයි

93

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේදී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට නිකුත් කෙරෙන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 29 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සහ රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී මහ කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කාබනික සහ රසායනික පොහොර සැපයුම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ඒ අනුව කිසිදු සැකයකින් තොරව ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ හැකි බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය නියෝජනය කරමින් එහි නියෝජිතයෝ සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment