මහ කන්නයේ වී ගොවිතැන ගැන දිගාමඩුල්ලෙන් ඇසෙන අදෝනාව ඇහෙන කතාව…

879

ලංකාවටම බත සපයන්නට දිගාමඩුල්ලේ ගොවි රජවරු දක්වන්නෙ ප‍්‍රබල දායකත්වයකි. දිගාමඩුල්ල සරුපස පෙරෙළි ඒ මත වැවෙනා නිල්වන් ගොයමින් රන්වන් රන් කරලින් පිරී ඉතිරෙද්දි ගොවියාගේ සිත් පමණක් නොව දුටුවන්ගේ සිත්ද පිනා යති.

නමුත් රජය මගින් රසායනික පොහොර භාවිතය නවතා දැමීමත් සමඟම රට තුළ විවිධ මත පළවෙමින් තිබේ. පොහොර නැතිව වගා කරන්න බැහැ කියමින් බොහෝ ගොවීහු දිගින් දිගටම මැසිවිලි නගන්න වූහ. ඒ පිළිබඳව ‘දිවයින’ දිගාමඩුල්ල මිටියාවත පුරා ගොවි රජවරුන්ගෙන් අදහස් පිළිබඳ විමසා බලන්නට විය.

පන්සල යනු ගම්මානයේ තිබෙන කොඳු නාරටියයි. මිනිස්සු බොහෝ දුක කියන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්ටය.

අම්පාර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී සහ නාමල්තලාව ශෛලබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමියන් ‘ඉරිදා දිවයින’ට මෙසේ පවසා සිටින්නට වූහ.

පොහොර ගැටලූව නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිමින් සිටින්නේ. ඒ නිසාම විහාරස්ථානය පැමිණ නිතරම ඔවුන්ගේ දුක කියනවා. ඒ වගේම කාබනික වගාව තුළින් වගාව ගොඩනගන්නට පුළුවන්. නමුත් එක්වරම රසායනික පොහොර නවතා දැමීම නිසා ගොවීන් අසරණ වුණා. රසායනික පොහොර ගොවීන්ට ලබාදීම එකවර නතර නොකර ටිකෙන් ටික කාබනික පොහොරවලට ඔවුන්ව හුරු කරානම් පොහොර හිඟයක් ඇති වෙන්නෙත් නෑ. රජය දෙන රසායනික පොහොර එපා කියලා ගොවීන් එදාට කාබනික පොහොර හදාගෙන වගා කරාවි.

ඒ නිසා කාබනික පොහොර වගාවට ගොවියා පියවරෙන් පියවර හුරු කරානම් පොහොර හිඟයක් නැතිව සාර්ථකව එම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්න තිබුණා. කාබනික වගාව තුළින් ගොවියාට හා අනාගත පරපුරටම නිරෝගිමත්භාවය ලැබෙනවා ඒ සංකල්පනාව ඉතා හොඳයි. නමුත් ක‍්‍රියාත්මක කරන ආකාරය ගැටලූ සහිතයි යනුවෙන් නාරද හිමියන් පවසා සිටින්නට වූහ.

අඹගහවැල්ල ප‍්‍රදේශයේ ගොවි මහතෙකු වන ශාන්ත බණ්ඩාර මහතා මෙලෙස තම අදහස් දක්වා සිටියේය.

වී වගාවේදී අවධානය යොමුවිය යුතු ගැටලූ රැසක් තිබෙනවා. භූමිය අනුව පස් සාම්පල පරීක්ෂා කරලා නිසි වී වර්ගය හඳුන්වා දීලා නෑ. බිත්තර වී පුද්ගලික වෙළඳුන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ නිසි පරිදි නැහැ. පුද්ගලික සමාගම් දෙන වී වර්ග දිගටම වගා කරන්න වෙලා. අනිවාර්යයෙන්ම උචිත බිත්තර වී නිසි පරිදි තිබිය යුතුයි. බිත්තර වී ලංකාවේ ප‍්‍රමාණාත්මකව සකස් කරන්න නිසි ක‍්‍රමවේදයක් නෑ.

ගියවර පොහොර නිසි ලෙස නොලැබුණ නිසා වී වගාවෙන් නිසි අස්වැන්න ලබා ගන්න බැරි වුණා. ඒ වාගේම අපේ වී අඩු මිලට තමයි දෙන්න ලැබුණේ. රසායනික පොහොර නැතිව එන මාස් කන්නයේ වී වගාව නිසි ලෙස කරන්න බැරි වෙලා තියෙන්නේ. කාබනික පොහොර හැදුවට ඒවා ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා ගොවීන්ට මෙවර අඩු ඉඩම් ප‍්‍රමාණයක් තමා වගා කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා වී අස්වැන්න අඩුවෙලා ගොවීන්ට අන්ත අසරණ වෙන්න සිදු වේවි. කාබනික වගාව අදියරෙන් අදියරට කරා නම් එහෙම වෙන්නේ නැහැ යනුවෙන් ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ ය.

උහන වලගම්පුර පදිංචි ටී. ජී. චන්ද්‍රසේන මහතා වී වගාව ගැන මෙසේ අදහස් දැක්වූවේය.

”වසර ගානක සිට කාබනික පොහොර භාවිතයෙන් වී සහ එළවළු වගාව සිදුකරනු ලැබුවා. අපේ ගමේ පිළිකා රෝගීන් පස් දෙනෙක් සහ වකුගඩු රෝගීන් රැසක් සිටිනවා. ඒ රසානික පොහොර භාවිතය නිසා. ඒ නිසා දැන්වත් රජය කාබනික පොහොර භාවිතයට යොමු වීම පිළිබඳව මා තුළ ඇත්තේ පුදුමාකාර සතුටක්. කාබනික පොහොර භාවිතා කර අස්වැන්න අඩු වෙනවා කිව්වට කාබනික පොහොර භාවිතය නිසා අස්වැන්න වැඩි වෙනවා. පොහොර භාවිතය කෘමි හානි වැඩි වෙනවා. අස්වැන්න නෙලන්න දවසක් දෙකක් තියෙද්දි බෙහෙත් ගහනවා. මෙහම ගියොත් අපේ අනාගත පරපුරටත් වස විස කන්න වේවි. ජනාධිපතිතුමා ගත් තීන්දුව අපි අගය කරනවා. ඉස්සර වහින කාලෙට වැව්වල තිබෙන ජලජ ශාක ඔක්කොම ගහගෙන ගිහිල්ලා මුහුදට යනවා. දැන් එහෙම වැවෙන ශාක කොම්පෝස්ට් පොහොර හදන්න භාවිතා කරනවා. එදා රවුන්ඩප් අහල විනාශ කරපු මානං ගස් ටික කපලා පොහොර කාබනික පොහොර වලට ගන්නවා. තණකොළ පවා කපල අද ගොවීන් කාබනික පොහොර හදා ගන්නට උත්සාහ දරනවා. ඒ නිසා අද රටම කොම්පෝස්ට් පොහොර හදන ගොවි බිමක් බවට පත්වෙලා තියෙන්නේ. රසායනික පොහොර නිසා බහුජාතික සමාගම් පෝසත් වෙලා මිනිස්සු ලෙඩ වෙන එකයි වෙන්නේ. මේ පාර පොහොර නැතිව වගා ප‍්‍රමාණය අඩු වුණත් කාබනික පොහොර භාවිතය කර වගා කර ඒ ඉඩම් භාගයක් අස්වැද්දුවත් එක විශාල දෙයක්. රසායනික පොහොර නැතිව අපි විශාල ජයග‍්‍රහණයක් ලබනවා නිරෝගිමත් අනාගත පරම්පරාවක් බිහි කරන්න පුළුවන්. ඒ නිසා කාබනික පොහොර වලින් වස විසෙන් තොර අස්වැන්නක් ගන්න පුළුවන් බව අත්දැකීමෙන් දන්නවා” යයි චන්ද්‍රසේන මහතා පවසා සිටියේය.

මහ කන්නයේ වී ගොවිතැන ගැන දිගාමඩුල්ලෙන් ඇසෙන අදෝනාව ඇහෙන කතාව…

රසායනික පොහොර භාවිතය කිරීම පිළිබඳව ආකාරයෙන් ගොවීන් විවිධාකාර මත පවසා සිටිද්දී දිවියාගල ප‍්‍රදේශයෙන් හමුවු එස්. ආර්. එම්. ගුණසිංහ බණ්ඩා මහතා මෙසේ අදහස් දැක්වීය.

”වගාවන් කරනවා නම් පොහොර වුවමනයි. කොම්පෝස්ට් ඇති තරම් නිෂ්පාදනය කරලා තියනවනම් ගැටලූවක් නෑ. ඒවා දිරන්න කාලයක් යන නිසා තව ටිකක් හරි රසායනික පොහොර දෙනවනං හොඳයි. දැන් වෙලා තියෙන රසායනික පොහොර දුන්නත් නැතත් වී වගාව කරන්න. කියන්න බෑ අස්වැන්න ලැබේද? මොකද වෙන්නේ කියලා. ගොඩක් කාබනික පොහොර දිරලා නැහැ. තමන්ටම හදා ගන්න බැරිවෙලා තිබෙනවා. රසායනික පොහොර මිටියක් හරි දෙකක් හරි ලබාදුන්නොත් ගොවීන්ට වගාවට යොදා ගන්න පුළුවන්. එහෙම නොවුණොත් ඒ නිසා ඉදිරියේදී ලැබෙන අස්වැන්න පිළිබඳ අවිනිශ්චිතභාවයක් තිබෙනවා. අපි ජීවත් වෙන්නෙ කොහොමද කියලා අපිට බියක් දැනෙනවා. මේක ටිකෙන් ටික කරානම් ඒ අතර ලංකාවේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරාට පස්සේ ගැටලූවක් නැතුව ගන්න තිබ්බා. එකපාර කරපු නිසයි මේ ගැටලූව යනුවෙන් ගුණසිංහ මහතා පවසා සිටියේය.

අම්පාර දිවියාගල පදිංචි සමන් ප‍්‍රියන්ත මහතා ද මෙසේ පවසා සිටියේය.

එළඹෙන මාස් කන්නය වගාවට ගොවීන්ට කාබනික පොහොර නැතිවෙයි කියල හිතෙනවා. මොකද හදන කොම්පෝස්ට් ටිකක් තාම දිරල නෑ. ඒ නිසා ඉදිරියේදී වගාව ගැටලූ සහගතයි. මේ පාර රසායනික පොහොරට ටිකක් ලබා දුන්නා නම් ලබන කන්නේ වෙද්දී කාබනික පොහොර හදාගන්න අවස්ථාවක් තිබෙනවා. කලින් 55ට වී ගත්තා. නමුත් දැන් ගන්නෙ රුපියල් 50ට ඒ නිසා ගොවීන්ට ලොකු ආදායමක් ගන්න එක අහිමි වෙලා ගියා. කාබනික පොහොර හදනවා බලන්න නිසි පරිදි නිලධාරීන් එන්නේ නැහැ. සමහර වෙලාවට මිනිස්සු හිතුමනාපෙට හදනවා. රජය මොන නීතිය දැම්මත් වැඩක් නෑ. හාල්, සීනි, කිරිපිටි නෑ, දැල් වී වගාවත් අවුල් වෙන්න යන්නේ. රජයෙන් හාල් මිලදී අරගෙන කොටලා සකස් කරන්න නැතිව පුද්ගලික වෙළෙන්දන්ට දීලා බලාගෙන ඉන්නවා. අම්පාර ඉඟිනියාගල විශාල රජයේ වී මෝලක් තිබෙනවා. එක කාලයක් වී සකස් කරල කෙටුවා. කෝටි ගානක් වටිනා ගොඩනැඟිලි යන්ත‍්‍ර තියෙනවා. ඒවා නැවත ආරම්භ කර රජය මගින් මිලදී අරගෙන සහල් කරන්න පුළුවන්. රජය මේ සියල්ල පුද්ගලික අංශයට කරන්න දීලා බලාගෙන ඉන්නවා. ඒ නිසා හාල් මිල ඉහළට ගිහිල්ලා ජනතාව අසරණ වෙනවා.” ඇතැම් ඇමැතිවරු, මන්තී‍්‍රවරුන් පුද්ගලික ආයතන වලට සීනි ගේන්න හාල් ගේන්න අවසර දීලා මිල පාලනය කරන්න බැරිව ඉන්නවා. අන්තිමේදී පාඩු ගොවි ජනතාවටයි. පාරිභෝගිකයින්ටයි. වී ගොවීන් අපි හැමදාමත් අසරණ වෙනවා යැයි සමන් ප‍්‍රියන්ත මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ය. දිගාමඩුල්ල මිටියාවත පුරා අප බොහෝ දෙනකුගෙන් අදහස් විමසූ විට ඔවුන්ට හෙට දිනයේ දී වගා පිළිබඳව ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයකි. නිසි පරිදි කොම්පෝස්ට් පොහොර සකසා ගැනීමට සහ මිලදී ගැනීමට ස්ථානයක් නොතිබීම නිසා වී අස්වැන්න සාර්ථකව නොලැබේ යැයි ඔවුන් තුළ සැකයක් පවතී. ඒ නිසා යම් තරමින් හෝ රසායනික පොහොර ලබාදී කොම්පෝස්ට් පොහොර භාවිතා කරන්න ඉඩ අවස්ථාව ලබා දෙන්නේ නම් ලැබෙන මහ කන්නයේ වී වගාව සාර්ථක කර ගෙන ඒමට හැකිවනු ඇතැයි ගොවීන් බලාපොරොත්තුවෙන් පසුවෙති. කාබනික වගාවට ගොවීන් කැමැත්ත තිබුණත් ඔවුන් පවසා සිටින්නේ එය ඉතා අසීරු කාර්යයක් බවයි. ”මේ කාබනික පොහොර භාවිතයක් තුළ මහා පරිමාණ වී වගාකරුවන් දැඩි ගැටලූවකට පත්වී තිබේ. අක්කරයක්, දෙකක් වැනි සුළු ප‍්‍රමාණයක් වගා කරන ගොවියා ඒ සඳහා කොම්පෝස්ට් පොහොර ඔහු සකසා ගත්තද මහා පරිමාණයෙන් වී වගා කරන වගාකරුවන්ට නිසි පරිදි කොම්පෝස්ට් නොමැතිවීම නිසා වී වගා බිම් ප‍්‍රමාණය අඩු කරන්න සිදුව වන බවයි ඔවුන් පවසා සිටින්නේ.” සමහර ගොවීන් පවසා සිටියේ අපි මේ පාර වගා කරන්නේ කෑමට පමණයි. නැතුව වගා කරලා අපි මුදල් ටික නාස්ති කරගන්න බෑ යනුවෙන් පවසා සිටියි. මේ ආකාරයට දිගාමඩුල්ලේ ගොවි රජවරු හෙට දිනයේ දී මහ කන්නය වගා කර නිසි අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වේ යැයි මහත් බියකින් පසු වෙති. ජනාධිපතිතුමාගේ අවධානය මේ පිළිබඳව යොමුව කාබනික පොහොර භාවිතා කරන අතරතුර යම් තරමින් හෝ රසායනික පොහොර ලබාදෙන්නේ නම් ලබන මහ කන්නයේ ගොවීන්ගේ අතමිට සරු වන බව ඔවුන්ගේ විශ්වාසයයි.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment