මහ දවල් ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑ ජේලර්ගේ පුතා දැලේ!

306

වේයන්ගොඩ නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලක් ඊයේ පස්වරු 3.00 ට පමණ කොල්ල කා පලා යමින් සිටි සැකකරුවකු නගරවාසීන්ගේ සහ අවට වෙළෙඳ සැල් හිමි කරුවන්ගේ සහය ඇතිව වේයන්ගොඩ පොලිසිය විසින් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනිණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ නාරංවත්ත ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙක් වන අතර සැකකරුගේ පියා විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීයකු බව පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත.

ස්වර්ණාභරණ මිල දී ගැනීමේ මුවාවෙන් පැමිණ වෙළෙඳ සැල් හිමිකරුගේ අවධානය වෙනත් දෙසකට යොමු වනවාත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක 1,290,000ක් (දොළොස් ලක්ෂ අනූ දාහක්) පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් කොල්ල කා නගරයේ මහා වීදිය ඔස්සේ දිව යෑමේ දී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු ටී ෂර්ට් 4ක් සහ කමිසයක් පැළඳ සිටි අතර යම් කොල්ලයක් සිදු කිරීමෙන් අනතුරුව බාහිර පෙනුම වෙනස් කර ගනිමින් ජනතාවගෙන් සැඟවී සිටීමට පැළඳ සිටි එම ඇඳුම් එකින් එක ගලවා ඉවත් කිරීමේ සූක්ෂම ක්‍රියාවක් ලෙස එසේ ඇඳුම් කීපයක් පැලඳ ඇති බව පොලිසිය කර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත. සැකකරු කොල්ලය සඳහා පැමිණි යතුරු පැදිය වේයන්ගොඩ ගුවන් පාලම අසල නවතා තබා ස්වර්ණාභරණ කොල්ල කෑමෙන් පසු එම ස්ථානයට දිව ගොස් යතුරු පැදියෙන් පලා යෑමට සැලසුම් කර තිබූ බව ද පොලිස් විමර්ශනවල දී හෙළිව ඇත. සැකකරු පැමිණි යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අසංක රංගන, මහතාගේ අධීක්ෂණය යටතේ පො.ප. සුනිල් , පො.කො. (36105) පතිරාජ පො.කො. (2052) දුමින්ද පො.කො. (30518) ජයවර්ධන යන නිලධාරීහු වැඩි දුර පරීක්ෂණ සිදු කරති.

වේයන්ගොඩ ඉන්දික තුෂාර සිරිමෙවන් පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment