මහ නායක මාහිමි වහන්සේලාගේ දශකයක ලෝක ශාසනික මෙහෙවර

249

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සුදුස්සන් සොයා තනතුරු දීම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමය දක්වා දිවෙන චාරිත‍්‍රයකි. බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ධර්ම-විනය පදනම මත පිහිටා ශාසනයේ චිරස්ථිතිය උදෙසා සංඝ සම්මුතියෙන් එවැනි තනතුරු පත්කර ගන්නට යෙදුණු බවට බොහෝ නිදසුන් ශාසන ඉතිහාසය තුළ දැකිය හැකිය. වර්තමාන සංඝ පරිපාලන ව්‍යුහගත ධූරාවලිය තුළ ඉහළින්ම ඇති ධුරය මහානායක ධුරය යි. සෑම නිකාය පාර්ශ්වයකටම එකී නිකාය පාර්ශ්වයට අයත් භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් තීරණ ගැනීමට මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වැඩ සිටී. ශාසනික කටයුතු සම්බන්ධයෙන් මහනාහිමියන්ගේ මැදිහත් වීම නීත්‍යානුකූලව ද පිළිගෙන ඇත. ශී‍්‍ර ලාංකේය සම්බුද්ධ ශාසනය පිළිබඳ භාරධාරීන් ලෙස අද වන විට පිළිගැනෙන්නේ ත්‍රෛනිකායික මහානායක මාහිමිවරුන් ය. එහෙත් මහානායක තනතුර පිළිබඳවත් ඒ හා සැබැඳි වගකීම් සමුදාය පිළිබඳවත් වත්මන් සාමජ දේශපාලනික පරිසරය තුළ ශී‍්‍රමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා මුහුණ දෙන ප‍්‍රායෝගික ගැටලූ පිළිබඳවත් අවධනාය යොමු නොකොට සංඝ සංස්ථාවේ යහපැවැත්ම උදෙසා ස්ථාපනය කරන්නට යෙදුණු මහනායක තනතුරට විරුද්ධව ඇතැම් ශාසන භාරධාරී තෙරවරුන් ආවේගශීලීව කරන චෝදනාවන් හා ප‍්‍රකාශයන් අතිශය ශෝක ජනක ය. එවැනි චෝදනාවන් පදනම් විරහිත චෝදනාවන් බව කනගාටුවෙන් වුව ද ප‍්‍රකාශ කළ යුතු ය.

අක්තපත‍්‍ර ගන්න උනන්දු මහනාහිමිවරුන් සසුන රකින්න උනන්දු නොවන බවට හා ශාසනය තුළ ඇති පරිහානියට මහානායක හිමිවරුන් වගකිව යුතු බවට මෑතක දී ශාසන භාරධාරී හිමිනමක් විසින් සිදුකරන ලද ප‍්‍රකාශය අලළා මෙම කෙටි අදහස් දැක්වීම සිදුකරනුයේ ගත වූ කාලවකවානුව තුළ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය මෙන්ම සමාජ ප‍්‍රගමනය උදෙසා කෙතරම් විශිෂ්ට සේවයක් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් විසින් සිදුකර ඇද්දැයි යන්න පිළිබඳ කෙටි විග‍්‍රහයක් සිදුකිරීමේ පිවිතුරු අරමුණෙන් මිස කිසිවකු සමග වාද කිරීමේ හෝ තර්ක කිරීමේ අපේක්‍ෂාවෙන් නොවන බව පළමුව අවධාරණය කරනු කැමැත්තෙමි.

මෙම සහස‍්‍රකයේ ගත වූ දශක දෙකකට අධික කාලය අප ශී‍්‍ර ලාංකිකයන් වශයෙන් නොයෙක් ස්වභාවික විපත්තීන්ට මෙන්ම නොයෙක් සමාජ, ආර්ථික, දේශපලනික අර්බුදයන්ට ද ගොදුරු වූවෙමු. එකී සෑම අවස්ථාවක දීම පාහේ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් දැඩි අවදිකමකින් යුක්තව ශාසන චිරස්ථිතිය මෙන්ම ලාංකේය සමාජ යහපැවත්ම උදෙසා ද මැදිහත් සිතින් ස්වකීය ආගමික නායකත්වය සැපයීමට නොපසුබටව කටයුතු කළ බවට සාධක බොහෝ ය.

සද්ධර්මය විකෘති කරමින් බුද්ධ චරිතය පිළිබඳව සාවද්‍ය මත සමාජගත කරන ශ‍්‍රමණ වේෂධාරීන් පිළිබඳ රටේ රාජ්‍ය නායකයන් දැනුවත් කිරීමට අවස්ථා ගණනාවක දී ම මහානාහිමිරුවන් පියවර ගෙන ඇත. එහෙත් විහාර දේවාලගම් පනත තුළ පවත්නා අඩුලූහු`ඩුකම් හේතුවෙන් එවැනි පුද්ගලයන් සසුනෙන් නෙරපීමේ හැකියාවක් මහානාහිමිවරුන්ට නොමැත. එයට පිළියම් සැපයීමේ අරමුණෙන් විහාරදේවාලගම් පනත නව සංශෝධන සහිතව කෙටුම්පත් කොට 2012 වර්ෂයේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනයක් සහිත එවකට බුද්ධශාසන අමාත්‍යවරයා යොමුකර ඇත. ඉන් අනතුරව ද අද දක්වාම විහාරදේවාලගම් පනත අවශ්‍ය යාවත්කාලීන කිරීම් සහිතව සම්මත කර ගැනීමට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් උත්සහ දරන බව බොහෝ ගිහි-පැවිදි පිරිස් නොදන්නා කාරණයකි. එහෙත් කුමන හෝ අදෘශ්‍යමාන බලවේගයකින් එකී කටයුතු ප‍්‍රමාද වීම ශාසනයේ අවාසනාවකි. තව ද 2009 වර්ෂයේ එතෙක් පැවති බුද්ධශාසන අමාත්‍යාංශය අහෝසි කොට ආගමික කටයුතු අමාත්‍යාංශය පිහිටු වූ අවස්ථාවේ දී නැවත ලක්ජනරජ ව්‍යවස්ථා ප‍්‍රකාරව බෞද්ධ ශාසනික කටයුතු වඩාත් විධිමත්ව සිදුකිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය යළි ස්ථාපිත කරවීමට කටයුතු කිරීම, එසේම ශාසනයේ පැවැත්මට දැඩි හානිකර ස්වභාවයකින් කි‍්‍රයාත්මක වූ උපාධිධාරී පත්වීම් ප‍්‍රදානයේ දී උපාධිධාරී භික්‍ෂුන් වහන්සේලා උදෙසා රජයේ පත්වීම් ප‍්‍රදානය කරන විට පාසල් ගුරු තනතුරු සඳහා පමණක් භික්‍ෂූන් වහන්සේ පත් කිරීමට පියවර ගන්නා ලෙස රජයට දැන්වීම ශාසනයේ සුරක්‍ෂාව උදෙසා මහනාහිමිවරුන් විසින් ගන්නා ලද දහසකුත් දූරදර්ශී කි‍්‍රයාපිළිවෙත් අතුරින් කිහිපයක් පමණි. එපමණක් නොව භික්‍ෂු වේෂධාරීන්ගෙන් අකටයුතුකම් වලින් භික්‍ෂු ප‍්‍රතිරූපය විනාශ වීම වැළැක්වීම පිණිස විධිමත් භික්‍ෂු හැඳුනුම්පතක අවශ්‍යතාව මහනායක මාහිමිවරුන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ අදාළ අංශ දැනුවත් කර ඇති මුත් තවමත් ඒ පිළිබඳ විධිමත් යාන්ත‍්‍රණයක් සකස් නොවීම රාජ්‍ය පරිපාලන තන්ත‍්‍රයේ පවතින අකාර්යක්‍ෂමතාව මිස මහානාහිමිවරුන්ගේ දෝෂයක් නොවන බව සැමට අවබෝධ කරගත හැකි සරල කාරණයකි.

මහනාහිමිවරුන් ප‍්‍රමුඛ සංඝ සභාවන් විසින් ධර්ම-විනයානුකූලව භික්‍ෂු සංස්ථාව තුළ පැනනඟින අර්බුද විසඳන්නට උත්සහ දැරුව ද එකී තීරණය අභියෝගයට ලක්කරමින් බොහෝ භික්‍ෂුන් සිවිල් අධිකරණයේ මහනාහිමිවරුන්ට හා සංඝ සභාවන්ට විරුද්ධව නඩු පවරණ අවස්ථා අද වන විට සුලභ ය. ඇතැම් අණපනත් මගින් සාම්ප‍්‍රදායිකව මහානාහිමිවරුන්ට පැවරුණ විහාරාධිපති පත්කිරීම් ආදි බලතල සුක්‍ෂම ලෙස වංචාසහගත පැහැර ගැනීම ද අද වන විට බොහෝ ශාසනික අර්බුද සඳහා හේතු වී ඇති බව සිහිපත් කරනු කැමැත්තෙමි. විහාර – දේවාලගම් පනත හා කථිකාවත් මගින් එකී අර්බුද විසඳීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදනයන් සපයා ගැනීමට මේ වන විට ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුකරමින් පවතී. භික්‍ෂුන් වහන්සේලා විහාරස්ථානවල නොයෙක් ගැටලූ විසඳා ගැනීමට සිවිල් අධිකරණයට යෑමේ දී මුහුණපාන විවිධ අපහසුතාවන් මඟහරවා ගැනීමට අගවිනිසුරුතුමන් දැනුවත් කොට මහනුවර අධිකරණ සංකීර්ණය තුළ විශේෂ අධිකරණයක් විහාරස්ථාන ගැටලූ සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා ඇති කිරීමට මහනාහිමිවරුන් කටයුතු කළ ද පසුව එය නිලධාරීන්ගේ මාරුවීමත් සමග අහෝසි වී යෑම කනගාටුවට කරුණකි.

එමෙන්ම දේශපාලනික වශයෙන් ද ජාතික හා ජාත්‍යන්තර තලය තුළ නොයෙක් අර්බුදයන් පැනනැඟුණ විට ඒ සඳහා ඍජුව සිය මැදහත්වීමට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් කටයුතු කළ අවස්ථාවන්ට උදාහරණ බොහෝ ය. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් සමග යුද්ධය පවතින අවස්ථාවේ දී මල්වතු මහානාහිමියන් ස්වකීය ශක්ති ප‍්‍රමාණයෙන් ඒ සඳහා මැදිහත් වී එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත නායකයන් හා උතුරේ දෙමළ දේශපාලකයන් සමග සාකච්ඡාවට 2005 වර්ෂයේ දී කටයුතු කළ අකාරය අද වන විට බොහෝ දෙනකුට අමතකව ඇති සේය. එමෙන්ම 2014 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශී‍්‍ර ලංකාවට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනාවලිය ඉවත දමන ලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිතුමන් වෙත ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් කටයුතු කළහ.

එමෙන්ම 2010 වර්ෂයේ ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ පක්‍ෂ පාට භේද පසෙකලා ඒ පිළිබඳ සාධනීය මැදිහත්වීමක් සිදුකරමින් දේශයේ සුරක්‍ෂාව උදෙසා එතුමන් විසින් සිදුකරන ලද සේවය සලකා එතුමන් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට මහානාහිමිවරු කටයුතු කළහ. ශී‍්‍ර ලාංකේය බෞද්ධ භික්‍ෂූන්ට හා සංචාරකයන්ට තමිල්නාඩුව තුළ දී අමානුෂික ලෙස පහරදීම් සම්බන්ධයෙන් ඉන්දීයානු මහකොමසාරිස්තුමන් දැනුවත් කරමින් එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස ඉන්දීය රජයට බල කරමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට, ජාතීන් අතර සමගිය හා සංහිඳියාව වර්ධනය කරමින් රටේ ආර්ථික, සාමාජික, දේශපාලනික ගැටලූ විසඳා ගැනීමට විශේෂ පාර්ලිමේන්තු පොදු කාරක සභාවක් ස්ථාපිත කිරීමට 2011 වර්ෂයේ දී එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් වෙත යෝජනා කිරීම, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මහනාහිමිවරුන් විසින් සිදුකළ සාධනීය මැදිහත් වීම් අතුරින් අවස්ථා කිහිපයක් පමණි.

එසේම ගත වූ කාලවකවානුව තුළ ඇති වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය ඇතුළු විවිධ වෘත්තිකයන්ගේ ගැටලූ කඩිනමින් විසඳීමට මහානායක මහනාහිමිවරුන් විසින් රජයට බලකරමින් ඉදිරිපත් කර ඇති ලිපි ලේඛණ හා එකාබද්ධ සංදේශ සමාජීය ප‍්‍රශ්න පිළිබඳ මහානාහිමිවරුන් කොතරම් අවිදිමත් භාවයකින් කටයුතු කරන්නේ ද යන්න මනාව පැහැදිලි කරන නිදර්ශන ය.

එමෙන්ම රට තුළ නොයෙක් ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ හා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ මුවාවෙන් ඇතැම් දේශපාලනඥයන් ස්වකීය පටු අරමුණු මුදුන්පත් කර ගැනීමට වෙර දරන සෑම අවස්ථාවකදීම පාහේ ඒ පිළිබඳ මනා අවදියකින් සිට රටේ රාජ්‍ය නායකයා දැනුවත් කරමින් එකී ව්‍යසනයන්ගෙන් රටත් සමාජයත් මුදා ගැනීමට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් දූරදර්ශීව කටයුතු කොට ඇති බව මෙහිලා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. 2015 වර්ෂයේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් හරහා බුද්ධාගම විෂය හා ඉතිහාස විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට ඇතැම් පුද්ගලයන් සැලසුම් සකස් කරන විට ඒ පිළිබඳ එවකට රාජ්‍ය නායකයා දැනුවත් කරමින් එවැනි අප‍්‍රතිපත්තීන් වැළැක්වීමට මහනාහිමිවරුන් කටයුතු කළ බව ද සඳහන් කරනුයේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විෂයෙහි නමස්කාර පෙරටුව ය.

මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ගෞරවයට හානි කරමින් වයෝවෘද්ධ හාමුදුරුවරු මහානායක පදවිවලට වැඩිපුර පත්වන බවත්, ශාරීරික දුර්වලභාවය නිසා ශාසනික කටයුතු පිළිබඳ මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ උනන්දුව අඩු බවටත් කරන චෝදනා සැබවින්ම පදනම් විරහිත ය. සංඝ සම්මුතියෙන් මහානායක තනතුර සඳහා සීලවෘද්ධ, තපෝවෘද්ධ, ගුණවෘද්ධ මහථෙර නමක් පත් කර ගැනීම ශාසනික චරිත‍්‍රයයි. මහානායක තනතුරට පත්වීමෙන් අනතුරුව අත්තනෝමතික ලෙස මහානාහිමිවරුන් කටයුතු කරන බව ව්‍යංගයෙන් හැඟෙන ලෙස ඇතැමුන් කරන ප‍්‍රකාශයන් සාවද්‍ය වේ. සංඝ සභාවන්ගේ ඒකමතිකත්වය මත පිහිටා සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කිරීම ශාසනික සම්ප‍්‍රදාය බව සැවොම හොඳින් දන්නා කරුණකි.

මහනායක හිමිවරුන් ඇතුළු භික්‍ෂූ නායකත්වය දේශපාලන නායකන්ට සෙත්පතමින් ලෞකික ලාභ ලබමින් දේශපාලනයට ගැතිකම් කරන බවට ඇතමුන් කරන අමනෝඥ චෝදනාවන් මහනායක තනතුර වැනි උතුම් ශාසනික තනතුරු හැල්ලූ කිරීමේ පටු අරමුණින් සිදුකරන අවස්ථාවාදී ප‍්‍රකාශන බව මෙහිලා කනගාටුවෙන් වුවද ප‍්‍රකාශ කළ යුතුය. සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මෝපදේශයන් මත පිහිටා කටයුතු කරන ශ‍්‍රවකයන්ගේ මග ශාන්තියේ මගයි. අවේගශීලීව මහාමාර්ග අවහිර කරමින් ජන ජීවිතයට බාධා පමුණුවමින් පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍රයන් මත පිහිටා භික්‍ෂූ භූමිකාවට නොගැළපෙන අවස්ථාවාදී ලාමක හැසිරීම් ප‍්‍රතික්‍ෂේප මහානායක මාහිමිපාණන් වහන්සේලා තරයේ ප‍්‍රතික්‍ෂේප කරති. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දී නොයෙක් ආර්ථික, දේශපාලනික හා සාමාජීය අර්බුද උද්ගත වූ විට රාජ්‍ය පාලකයන් වෙත එකී අර්බුද නිරාකරණය කර ගැනීමෙහිලා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිදුකළ ආකාරය ශාසනය ඉතිහාසය තුළ විස්තර වේ. එකී චිරාගත ශාසන සම්ප‍්‍රදාය අනුව යමින් රාජ්‍ය පාලකයන්ට අනුශාසනා කිරීම හැර මහනාහිමිවරුන් සිදුකළ යුත්තේ කුමක් ද?

නිකාය පාර්ශ්ව සතු මෙම සාම්ප‍්‍රදායික සංඝ පරිපාලනය ව්‍යුහයට බාධා පැමිණෙන අයුරින් ඇතැම් භික්‍ෂුන් වහන්සේලා නොයෙක් සංවිධාන හා දේශපාලන පක්‍ෂ පිහිටුවා ගනිමින් පෞද්ගලික ප‍්‍රතිරූපය වර්ධනය කර ගනිමින් ලෞකික ලාභ උදෙසා ගිජුව කටයුතු කිරීම ලාංකේය භික්‍ෂුව පිළිබඳ ජාතික ජාත්‍යන්තර වශයෙන් අයහපත් ප‍්‍රතිරූපයක් නිර්මාණය කිරීමට අද වන විට හේතු වී ඇති බව නොරහසකි. එහෙයින් අවශ්‍යය අණපනත් කඩිනමින් සම්මත කර ගනිමින් පෞද්ගලික ලාභාපේක්‍ෂාවෙන් දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට ගැතිව කටයුතු කරන එවැනි භික්‍ෂු වේෂධාරීන් පිළිබඳ දැඩි කි‍්‍රයාමාර්ග ගනිමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන්නට ත්‍රෛනිකායික මහානාහිමිවරුන් නුදුරු අනාගතයේ දීම කටයුතු කරනු ඇති බව මාගේ විශ්වාසයයි.

ඒ සඳහා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඇපකැප වී සිටින සෑම භික්‍ෂූන් වහන්සේ නමකගේම සහය මහනාහිමිවරුන් ප‍්‍රමුඛ අදාළ සංඝ සභා වෙත ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මුල සිඳ ගස රැකගැනීම සිදු කළ නොහැක්කක් බව අප විසින් අවබෝධ කොට ගත යුතු සත්‍යයකි. සම්බුද්ධ ශාසනයේ ප‍්‍රවර්තනය, ප‍්‍රවර්ධනය හා සුරක්‍ෂණය උදෙසා මෙන්ම සමාජ ප‍්‍රගමනය උදෙසා ත්‍රෛනිකායික මහානාහිමිවරුන් විසින් සිදුකළ සුවිසල් සේවයෙන් බිඳක් මෙලෙස ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කළේ සාවද්‍ය මතවාදයන් සමාජය තුළ පතුරවමින් ශී‍්‍රමත් මහනාහිමිවරුන්ගේ උතුම් ලෝක ශාසනික සේවාවන් අවප‍්‍රමාණ කිරීමේ අධර්මිෂ්ට උත්සහයක් වේ නම් එය වැළැක්වීම අප සැමගේ යුතුකමක් ලෙස සලකාය.

රාජකීය පණ්ඩිත, දර්ශනපති
මහවෙල රතනපාල ස්ථවිර

advertistmentadvertistment
advertistmentadvertistment