මහ නිධන් කොල්ලයක් ගැන හෙළිදරවුවක්…..

703

* බහිරවයා ගැසූ නිසා මියගිය කතාව බොරුවක්

 * පුරා විද්‍යා නිලධාරියා මියගියේ කොහොමද?

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනියුක්තව අනුරාධපුර පුරාවිද්‍යා කැණීම් කාර්යාලයේ සේවය කළ පී. ආර්. රොෂාන් කුමාර මෙය ලියන මොහොත වන විට ජීවතුන් අතර නැත. කැණීම් දත්ත විශ්ලේෂණ අංශයේ සේවය කළ ඔහු ඉකුත් 02 වැනි දින කැණීම් කටයුත්තක් පිණිස තවත් නිලධාරීන් පිරිසක් සමඟ අනුරාධපුරයෙන් තරමක් බැහැර වෙනත් ප‍්‍රදේශයක් වෙත පිටත්ව ගොස් ඇත. යන රොෂාන් කුමාර ඇතුළු 12 දෙනකුගෙන් යුත් එම කැණීම් කණ්ඩායම අදාළ කැණීම් කටයුතු සිදු කරන ප‍්‍රදේශයේ නේවාසිකව දින කිහිපයක් ගත කරන අතර එහි කැණීම් ශිල්පියකු ලෙස කටයුතු කළ රොෂාන් කුමාර හදිසියේ රෝගාතුර වන්නේ එලෙස නේවාසිකව රාජකාරි කරන අතරතුරය. හදිසියේ හටගත්සේ හිසේ වේදනාවකින් පෙළෙන ඔහු එම සිදුවීමෙන් දින කිහිපයකට පසු වෛද්‍ය ප‍්‍රතිකාර පිණිස අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කරන අතර රොෂාන් කුමාර මරණයට පත් වන්නේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

මහ නිධන් කොල්ලයක් ගැන හෙළිදරවුවක්.....
මියගිය කැණීම් නිලධාරියා

ඔහුගේ මරණය වාර්තා කරමින් ඇතැම් සමාජ මාධ්‍ය ජාලා සඳහන් කර සිටියේ මහ වන මැද හටගත් හිසේ රුදාව සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර පිණිස යොමු නොකොට බහිරව පූජා සිදු කිරීම හේතුවෙන් තිස්තුන් හැවිරිදි මෙම පුරාවිද්‍යා නිලධාරියා මරණයට පත්ව ඇති බවය. ඒ අනුව එහි වරද පැටවෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මතය. ඉකුත් දිනෙක සිදු කරන ලද මෙම හෙළිදරව් හේතුවෙන් එම මරණය පිළිබඳව සමාජය තුළ යම් කතා බහක් නිර්මාණය විය. අදාළ පුවත පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ එය මුළුමනින්ම සත්‍යය විකෘති කර පෙන්වා දුන් පුවතක් බවත් අදාළ රාජකාරිය සිදු කිරීම මිස බහිරව පූජා පැවැත්වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රාජකාරියේ කොටසක් නොවන බවත්ය.

 මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යභාවය රටට හෙළි කිරීමේ අරමුණින් දෙපාර්ශ්වයක් ඔස්සේ කරුණු හෙළිදරව් කර ගැනීමට අපට හැකි විය. රොෂාන් කුමාරගේ ඥාති පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ ඔහුගේ පියානන් වන පී. ආර්. පුංචි රණා මහතා සඳහන් කර සිටියේ රාජකාරිය පිණිස ඉකුත් 02 වැනි දින සිය නිවසින් පිටත්ව ගොස් ඇති තම පුතණුවන් ඉන් දින කීපයකට පසු රෝගාතුරව නැවත නිවසට පැමිණි බවත් එතැන් සිට දින කීපයක් නිවසේ රඳවා තබා ගනිමින් දින කිහිපයක් තිස්සේ ඔහුට ප‍්‍රතිකාර සිදු කිරීමෙන් අනතුරුව ඔහුව රෝහල්ගත කිරීමට කටයුතු කළ බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පී. ආර්. පුංචි රණා මහතා.

 ‘‘ඔළුව කකියනව කියල පුතා ගෙදර ආවට පස්සෙ ගෙවල් කිට්ටුව ඉන්න වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ල බෙහෙත් ගත්ත. නමුත් අසනීපය හොඳ අතට පත් වුණේ නැහැ. වරින් වර උණ ගත්තා. කැලෑව මැද්දේ අසනීප වෙච්ච හින්දා මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක් වෙන්න ඇති කියල සැකයකුත් අපිට තිබුණා. ඒ හින්දා ඒවට අවශ්‍ය වත්පිළිවෙත් කීපයකුත් ඔය අතරේ සිද්ධ කළා. දෙවියන්ට භාරහාර වුණා. රජරට මිනිස්සු විදිහට අපි ඒවා විශ්වාස කරනව. නමුත්.. ඒ එකකින්වත් සුවයක් ලැබුණෙ නෑ. ඔහොම ඉන්න අතරේ පුතා සිහි විකාරෙන් වගේ දොඩවන්න ගත්ත. දවස් තුනක් විතර යද්දි රෝගය තව තවත් උත්සන්න වෙන්න ගත්තා. ඒ පාර තමයි අපි තීරණය කළේ එයාව විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න. පුතාව පරීක්ෂා කරපු වෛද්‍යවරයා කිව්වා වැඩිදුර ප‍්‍රතිකාර පිණිස පුතාව රෝහල්ගත කරන්න අවශ්‍යයි කඩිනමින් ඒක කරන්න කියලා. ඒ පාර තමයි අපි අනුරාධපුර මහ රෝහලට පුතාව ඇතුළත් කරන්නෙ. ඊට දවසකට පස්සේ තමයි අපිට ආරංචිය ලැබෙන්නේ පුතා මියගියා කියල.

 රොෂාන් කුමාර රාජකාරිය පිණිස නිවසින් පිටත්ව යෑමෙන් අනතුරුව ගත කළ අවසන් දින කීපයත් ඒ අතරතුර ඔහු රෝගාතුර වීම සම්බන්ධවත් අදහස් දැක්වූ අනෙක් පාර්ශ්වය නියෝජනය කරනු ලබන්නේ ඔහුත් සමග රාජකාරිය පිණිස පිටව ගිය පුරාවිද්‍යා නිලධාරීන් පිරිසය. එම කණ්ඩායමේ කැණීම් භාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ ඒ. ඒ. විජේරත්න මහතා එහිදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ තම කණ්ඩායමේ සේවය කළ රොෂාන් කුමාර යම් රෝගී තත්ත්වයක පසුවීම හේතුවෙන් නැවත ඔහුගේ නිවසට පැමිණීමේ අවශ්‍යතාවයෙන් පසුවූ බවත් ඉන් අනතුරුව එම අවස්ථාව ඔහු වෙත ලබාදීමට තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායම කටයුතු කළ බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැණීම් භාර නිලධාරිවරයා මෙසේ ද සඳහන් කර සිටියේය.

 ‘‘මේ කැණීම් කටයුත්තට මා ඇතුළු තවත් සාමාජිකයන් එකොළොස් දෙනෙක් සහභාගි වුණා. රොෂාන් කුමාර කියන්නේ ඒ අතරින් එක් අයෙක්. කාලයක් තිස්සේ ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ පුද්ගලයෙක්. ඒ වගේම මගෙත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ කැණීම් කටයුතු සිද්ධ කළ දක්ෂ කැණීම් ශිල්පියෙක්. එදා අපට පැවරුණු රාජකාරිය තමයි පහල මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියට යට වෙන පුරාවස්තු සම්බන්ධයෙන් කැණීම් සිද්ධ කිරීම. එම කටයුත්ත දවසකින් දෙකකින් නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ප‍්‍රදේශයට ගිහින් එහි නතර වෙලා තමයි අපට රාජකාරිය කරන්න සිද්ධ වෙන්නේ. ව්‍යාපෘතිය සිද්ධ කිරීමට නියමිතය ප‍්‍රදේශයට තරමක් මෙහාට වෙන්න ඉදි කරලා තිබෙන විහාරස්ථානයක තමයි අපි ක`දවුර ඉදි කරන්නේ. ඌත්තු වෙල්ලිය විහාරස්ථානය කියන නමින් තමයි එම ස්ථානය හඳුන්වන්නේ. එතැන ඉඳලා කැනීම් කරන ස්ථානයට කිලෝමීටර් හතරක පමණ දුරක් යන්න ඕනා. ඒ ප‍්‍රදේශය විශාල වශයෙන් වන අලි ගැවසෙන ස්ථානයක්. ආරක්ෂාව ගැන හිතලා තමයි අපි විහාරස්ථානයෙහි නතර වෙලා කැණීම් කටයුතු සිද්ධ කරන්න තීරණය කළේ. මුල් දවස් දෙක තුන ඇතුලේ කැණීම් ප‍්‍රදේශය එළිපෙහෙළි කරන එක තමයි කොතැන ගියත් අපේ මූලික රාජකාරිය වෙන්නේ. ඊට පස්සේ අදාළ ප‍්‍රදේශය සිතුවම් ගත කරලා කැණීම් ස`දහා අවශ්‍ය සැලසුම් හදලා ඊටත් පස්සේ තමයි කැණීම් කටයුතු ආරම්භ කරන්නේ. පුරුදු පරිදි එහෙම දවස් කීපයක් වැඩ කරගෙන යද්දී තමයි රොෂාන් තුළ යම් අසනීප තත්ත්වයක් මතු වෙන්න ගත්තේ. එතනදි රොෂාන් කිව්ව එයා ඉන්නේ තවදුරටත් රාජකාරිය කරන්න පුළුවන් තත්ත්වයක නොවෙයි ගෙදර යන්න ඕන කියල. ඔහුව තනිවම පිටත් කරලා එවන එකේ යම් අවදානමක් පවතින හින්දා තවත් නිලධාරියෙක් එක්ක තමයි ඔහු කඳවුරෙන් පිටත් වෙලා ආපසු නිවසට එන්නේ. ඒ සිදුවීමෙන් දවස් හය හතක් ගියාට පස්සේ තමයි අපිට ආරංචි වෙන්නේ අපේ සහෝදර නිලධාරියා වූ රොෂාන් කුමාර මරණයට පත්වුණා කියල. මේ ආරංචියත් එක්ක ඇතැම් සමාජ මාධ්‍ය ජාලා සඳහන් කරල තිබුනා එයා අසනීප වුණාට පස්සේ මහ වනාන්තරය මැද තියාගෙන අපි ඔහුට බහිරව පූජා සිද්ධ කළා කියල. ඒක මුළුමනින්ම අසත්‍ය පුවතක්. කැණීම් භාරව කටයුතු කළ නිලධාරියා වශයෙන් මම ඒක මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනව. රාජකාරිමය වශයෙන් කැණීම් කටයුතු කරන්න මිසක් අපි කැලේට යන්නේ බිලි පූජා බහිරව පූජා පවත්වන්න නෙවෙයි. එම අසත්‍ය පුවතෙන් වැඩිදුරටත් වාර්තා කරලා තියෙනව අපේ කණ්ඩායම ? මැද්දේ වනාන්තරයේ සංචාරය කරමින් ඉන්න අතරතුර තමයි රොෂාන් රෝගාතුර වෙන්නේ කියලා. ඒකත් මුළුමනින්ම අසත්‍ය පුවතක්. හවස 4:30 ට රාජකාරි නිමා කළාට පස්සේ අපි කරන්නේ කඳවුරට හෝ එහෙම නැත්නම් නතර වෙලා ඉන්න වෙනත් ස්ථානයකට හෝ ඇවිත් රාත‍්‍රිය ගත කරන එක පමණයි. මහ ?ට වනාන්තර අස්සෙ රිංගන්න අපට බලයක් දීලත් නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නෑ. විශේෂයෙන්ම ඔය කියන ප‍්‍රදේශය ගත්තොත් විශාල වශයෙන් වන අලි ගැවසෙන ප‍්‍රදේශයක්. ඒ හින්දා රාත‍්‍රියේ දී පමණක් නොවෙයි දහවල් කාලයේදීත් ඒ ප‍්‍රදේශයේ සැරිසරන එක අනතුරුදායකයි. මේ කාරණා ගැන සැබෑ තත්ත්වය නොදැන අසත්‍යය පුවත් සමාජ ගත කරන ඇතැම් පිරිස් ඒ හරහා උත්සාහ කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට අගෞරව කිරීමේ අරමුණින් කියලත් මේ වෙලාවේ මතක් කර සිටිනවා…”

 සිදුවීම පෙළ ගැසෙන්නේ ඉහත සඳහන් ආකාරයෙන්ය. පුරාවිද්‍යා කැණීම් ශිල්පී රොෂාන් කුමාර මරණයට පත්ව අද වන විට සතියක් ඉක්ම ගොස් අවසන්ය. විවාහක පුද්ගලයකු වූ ඔහුට හය හැවිරිදි දියණියක් සිටින අතර ඔහුගේ බිරිඳ වන උදෙශිකා මධුෂානි මේ වන විට දෙවන දරු උපත පිණිස සූදානමින් පසුවන ගැබිනියක්ය. හදිසියේ හටගත් රෝගාබාධයක් හේතුවෙන් රොෂාන් කුමාර අවාසනාවන්ත ලෙස මරණයට පත් වන්නේ එවැනි වටපිටාවක් තුළය. කෙසේ වුවද සියල්ල නිමාවට පත්වී අවසන්ය. ඉකුත් 13 දා මරණයට පත් මෙම කැණීම් ශිල්පියාගේ අවසන් කටයුතු ඊට පසු දින විශාල පිරිසකගේ සෝ සුසුම් මැද අනුරාධපුර තිසා වැව ප‍්‍රදේශයේ දී සිදුකරනු ලබන්නේ තවත් බොහෝ කලක් ජීවත්ව සිටිය යුතු පුද්ගලයකුගේ අකල් වියෝව පිළිබඳව නෑ සිය හිතවතුන් තුළ උපන් ශෝකය ද සහිතවය.

 *  රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment