මහ පාරේ  පොලිස් ගුටිකෙළි

1138

රටේ නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ භාරදූර වගකීම ඉටුකරනු ලබනුයේ පොලිසිය විසිනි. ජන ජීවිතයේ සෑම අංශයකම ආරක්‍ෂාව සහතික කරමින් සමාජ සුරක්‍ෂිතතාවය තහවුරු කිරීමේ පෘථුල වගකීම ශී‍්‍ර ලංකා පොලිසිය වෙත පැවරී ඇති බව ආයතන සංග‍්‍රහයේ ඇතුළත්ය. ඒ අනුව සමාජ සාමය සහ පැවැත්ම සඳහා පාදක වන අපරාධ මර්දනය හා නිවාරණය, මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම, දූෂණ මර්දනය, රථවාහන පාලනය, පරිසර ආරක්‍ෂණය, ආපදා අවස්ථාවලදී ජනතාවට සහන සැලසීම සහ ප‍්‍රභූ ආරක්‍ෂාව යන ප‍්‍රධාන කාර්යයන් පොලිස් විෂය පථයට ඇතුළත්ය.

පොලිසියේ කාර්යභාරය පිළිබඳ අපට හදිසියේ සිහිපත් වූයේ වරකාපොළ ප‍්‍රදේශයේ 36 කන්ද ප‍්‍රදේශයේදී මහ පාරේ පොලිසියේම දෙපිරිසක් අතර ඇතිවූ ගුටිකෙළිය නිසාවෙනි.

පසුගිය 29 වැනිදා රාති‍්‍ර පොලිසියේ මෙම දෙපිරිස ගැටෙද්දී ඔවුන් සිට ඇත්තේ සිවිල් ඇඳුමෙනි. සිද්ධියෙන් එස්අයිලා දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂකවරයකු සහ පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනා සහ මාරවිල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ලොක්කෙකු රඹුක්කන ප‍්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ජීප් රථයකින් එමින් සිටියදී තවත් වාහනයක ගමන් ගත් පිරිසක් සමඟ ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් මෙම ගුටිකෙළිය සිදුව ඇති බවද සැළය. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී අනෙක් වාහනයේ ගමන් කර තිබුණේ ද පොලිසියේම පිරිසකි. එහි සිට ඇත්තේ ගම්පහ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරි පිරිසකි. මෙම දෙපාර්ශ්වයම සිවිල් ඇඳුමින් සැරසී සිටි නිසා එකිනෙකා හඳුනාගෙන නැති බවක් පෙනේ. එනිසාම දෙපිරිසම ‘පොලිස් පාට්’ දමා ඇත්තේ පොලිසියේම අය බවට හඳුනා නොගෙනය.

මහ පාරේ පොලිස් ගුටිකෙළිය නැවතී ඇත්තේ 119 දුරකථනයට ලැබුණු ඇමතුමක් ඔස්සේ වරකාපොල පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් එම අවස්ථාව වන විට එක් පාර්ශ්වයක් තමන් පැමිණි මෝටර් රථයෙන් පලා යද්දී ඔවුන් පසුපස පන්නා ගොස් අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිස් නිලධාරීන් සමත්ව ඇත. මෙම කතාව තමිල්නාඩුවේ බාල බොළඳ චිත‍්‍රපටයක තිරනාටකයකට සමානය. මෙතැන වැරැුදිලා හෝ එක් පාර්ශ්වයක් පොලිස් නිලධාරීන් නොවන සිවිල් කණ්ඩායමක් වූයේ නම් අපට මෙම කතාව මෙසේ පෙළගස්වන්නට සිදුවන්නේ නැති බව සිකුරුය. මෙම සිද්ධියේ අවාසනාවන්තම සිද්ධිය වනුයේ සාමය රැුකීමට සිටින පොලිස් නිලධාරීන් මහමග ගුටිකෙළ ගනී නම් අන් අයට කවර සරණක්ද යන්නය. එනිසාම පොලිස් ඇඳුම ඇතත් නැතත් මනුෂ්‍යත්වයට ගරු කරමින් හැසිරීමේ යුතුකම හා වගකීම මෙම නිලධාරීන් පැහැර හැර ඇති බව පැහැදිලිය. රටේ ජනතාවගේ විනය සෑදීමට පෙර පොලිසිය සිය විනයගරුකභාවය රැුකගත යුතු බව මෙම සිද්ධිය අපට පසක් කරදෙනු ඇත.

මේ වනවිට අප රටේ පොලිස් සේවය පිළිබඳ ඇත්තේ හොඳ චිත‍්‍රයක් නොවන බව සත්‍යයකි. බියෙන් සැකෙන් තොරව පොලිස් ස්ථානයකට ගොස් තම රාජකාරිය කර ගැනීමට ජනතාවට අවස්ථාව තිබිය යුතුය. එම තත්ත්වය නිර්මාණය වීමට නම් පොලිසිය මහත්වරුන්ගේ පොලිසියක් කළ යුතුය. කාකි කෝට් එකට යටින් සිටින්නේ සැබෑ මානව හිතවාදී මනුස්සයකු විය යුතුය. පොලිසිවල එවැනි මහත්වරු සිටින බව අපට විශ්වාසය. එහෙත් කිරි කළයට ගොම දමන්නා සේ පොලිස් සේවය අපකීර්තියට පත්කරන පිරිසක් ද පොලිසියේ සිටින බව රහසක් නොවේ. පොලිසියේ සැබෑ මහත්වරුන්ගේ යුතුකම විය යුත්තේ මෙම නරක පුත‍්‍රයන් දමනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. දූෂණය ම`ඩින්නට පෙර පොලිසියේ අය දූෂිතයන් නොවී සිටිය යුතුය. ප‍්‍රචන්ඩත්වය පාලනය කිරීම සඳහා තමන් ප‍්‍රචණ්ඩත්වයට යට නොවී සිටීමට පොලිස් නිලධාරීන් වගබලා ගත යුතුය. සමාජයේ සාමකාමී පරිසරය නිර්මාණය කිරීමට පොලිසියේ අය සාමකාමීව හැසිරිය යුතුය. මහමග ගුටිකෙළ ගනිමින් පොලිසියේ සමහරුන් පිස්සු කෙළින විට එහි අගෞරවය පෙරළා පොලිසිය වෙතම එන බව අමුතුවෙන් කිව යුතු නැත. ‘අපරාධ සහ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම’ පොලිසියේ දැක්ම ලෙස හඳුන්වා දී ඇත. ඊට අනුගතව රාජකාරි කිරීම පොලිස් නිලධාරීන්ගේ වගකීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment