මහ පාරේ විරෝධයට එකතු වෙන සයිබර් උද්යෝගය ඇනොනිමස්

690

ගෝඨාභයටත් දින දාහතරක් දීලා

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව පුපුරුවන්නට ආ ගයි ෆොක්ස්ගේ අලුත් රූපය

1982 වසරේ නිර්මාණය වූ, කළු – සුදු චිත්‍ර කතාවකට, නූතන ලෝකය වර්ණය මේ තරමට වෙනස් කළ හැකි වේයැයි සිතා ගැනීම පවා අපහසුය. අතීතයේ අරගලය උදෙසා දිවි පුදන ලද මිනිසකුගේ, අනාගත නැඟිටීමක් මූලික කර ගනිමින්, V for Vendetta නම් චිත්‍ර කතාව නිර්මාණය කරනුයේ, ඇලන් මුවර්ගේ ලියමනෙන් සහ ඩේවිඩ් ලොයිඩ්ගේ චිත්‍රයෙනි. අනාගත බ්‍රිතාන්‍යයේ අරගලයක් පිළිබඳව නිර්මාණය කරන ලද මෙම චිත්‍ර කතාව ඇසුරෙන් පසු කාලයක නිර්මාණය වූ චිත්‍රපටය ලෝකයේ තරුණ ප්‍රජාව, හුදකලා අරගලකරුවන් බවට පරිවර්තනය කරවීම සඳහා පදනමක් බවට පත්විය.

වසර හාරසියයකට පෙර බ්‍රිතාන්‍යයේදී අයුක්තිය, අසාධාරණයට එරෙහිව සටන් කරන ලද මිනිසකු වසර 2030 දී යළිත් සිය අරගලය දියත් කිරීම මෙම කතාවේ පදනමය. මර්දනය, නීතිය වූ 2030 වසරේ බ්‍රිතාන්‍යයේ පාලන තාලය තුළ, කතා කිරීමේ නිදහසේ සිට සියලුමානව අයිතීන් මර්දනය විය. එරට පොලිස් රාජ්‍යයක් බවට පත්ව තිබේ. ඩ නම් චරිතය නැඟී සිටින්නේ මේ අවස්ථාවේදීය. ඔහු රාජ්‍යය රිදවීම සඳහා හුදකලා සටන් ආරම්භයක් ලබා දෙන්නේ, පැරණි ගොඩනැඟිල්ලක් පුපුරුවා හරිමිනි. එම පිපිරවීම පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන පොලිසියට, වී සමග ඉවී නම් යුවතියක් සිටිනා ඡායාරූප කිහිපයක් හමුවීමත් සමග සියලු පරීක්ෂණ ඒ දෙසට කේන්ද්‍රීයව ගමන් කරනු ලබයි. ඒ සමග පොලිසියේ උත්සාහය වන්නේ ඉවී අත්අඩංගුවට ගැනීමය. ඊට හේතු වන්නේ සැබෑ මුහුණෙන් එම ඡායාරූපයේ පෙනී සිටින්නේ, ඉවී පමණක් නිසාය. අරගලකාරී ‘වී’ පසුදා උදෑසන, රූපවාහිනි නාලිකාවක් සිය ග්‍රහණයට ගෙන, සියලුරට වැසියන් සජීවී ලෙස ආමන්ත්‍රණය කරමින්, ඊළඟ වසරේ නොවැම්බර් පස් වෙනිදා තමන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පුපුරුවා හරින බවත්, සියලු දෙනා පැමිණ එම අවස්ථාව දැක බලා ගන්නා ලෙසත් ආරාධනය කරනු ලබයි. සිය කතාවෙන් අනතුරුව ඉවී ගෙන තිරයෙන් පිටවී යන ‘වී’ ඉන් පසු කතා මාලාව තුළ ජවනිකා බොහොමයක් නිරූපණය කරනා මුත් ඔහුගේ මුහුණ කිසිවිටකත් ජනාතාවට දැක ගැනීමට ලැබෙන්නේ නැත. වර්තමානයේ හැකර්වරුන්ගේ සංකේතය බවට පත්ව තිබෙන්නේ, එසේ සඟවා ගත් ‘වී’ ගේ මුහුණය.

‘වී’ සිය මුහුණ සඳහා භාවිතා කරනු ලබන්නේ, තමන්ගේ පරමාදර්ශය වන සැබෑ ලෝකයේදී ඊට වසර හාරසියයකට පෙර සිටි මිනිසකුගේ මුහුණය. නම නොදන්නවා වූවාට, ලෝකයේ අද සිටිනා බොහෝ දෙනකු මේ මුහුණ හඳුනන්නෝය.

1605 නොවැම්බර් 5 වන දින වෙඩි බෙහෙත් කුමන්ත්‍රණය සිදුවූ දිනයය. ගයි ෆෝක්ස් උපත ලැබුවේ 1570 දී යෝර්ක්හිදී ය. එය අද එක්සත් රාජධානියට අයත් ප්‍රදේශයකි. ෆෝක්ස්, රෙපරමාදු භක්තිකයකු ලෙස උපත ලැබ පසුව කතෝලික ආගම වැළඳ ගත්තේය. මෙම සමයේදී එංගලන්තය සලකන ලද්දේ, කතෝලික වීම අපරාධයක් ලෙසය. මෙම පීඩනයට ප්‍රතිචාර වශයෙන් සමහරු කැරලි ගැසීමට සැලසුම් කළහ. එම සැලසුම් අතරින් වඩාත් ප්‍රසිද්ධ සිද්ධිය වන්නේ, වෙඩි බෙහෙත් කුමන්ත්‍රණයය. 1605 දී වෙස්ට්මිනිස්ටර් මාළිගය පුපුරුවා හැරීම එහි අරමුණ විය. පළමුවන ජේම්ස් රජු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මරා දැමීම සඳහා සිදු කරන ලද මෙම කුමන්ත්‍රණයට පුපුරන ද්‍රව්‍ය විශේෂඥයකු අවශ්‍ය විය. ගයි ෆෝක්ස් පැමිණියේ එහිදීය. ස්පාඤ්ඤ හමුදාවේ සේවය කර තිබූ ගයි ෆොක්ස් වෙඩි බෙහෙත් භාවිතය පිළිබඳව හසලයකු විය.

කුමන්ත්‍රණය සඳහා දායක වූ දහතුන් දෙනාගෙන් එක් අයකු අතින් සියල්ල හෙළිවූ අතර ෆෝක්ස් සිය ක්‍රියාන්විතය සඳහා සඟවා තබන ලද වෙඩි බෙහෙත් බැරල් 36 ක් සමග ෆෝක්ස් අත්අඩංගුවට පත්විය. 1605 නොවැම්බර් 5 වන දින ලන්ඩනයේ සාමිවරුන්ගේ මන්දිරය පුපුරුවා හැරීමට කුමන්ත්‍රණය කළ, ගයි ෆෝක්ස්ගේ සැබෑ මුහුණ, ලෝකයේ ප්‍රසිද්ධම වෙස්මුහුණ බවට පසු කලෙක පත්වන්නේය.

1982 – 1989 සමයේදී ප්‍රසිද්ධියට පත්වූ V for Vendetta චිත්‍ර කතාවේ සහ එහි 2005දී නිර්මාණය වූ V for Vendetta චිත්‍රපටයේ, ප්‍රධාන චරිතය වන ‘වී’ ගයි ෆොක්ස්ගේ මුහුණු හැඩති වෙස් මුහුනේ සැරසී සිටීමෙන් පසුව, විරෝධතා නියෝජනය සඳහා එය ලෝකය පුරා සංකේතයක් විය. මෙය වඩාත්ම ප්‍රසිද්ධියට පත්වන්නේ, ඇනෝනිමස් ඔන්ලයින් හැක්ටිවිස්ට් කණ්ඩායම සිය සංකේතයක් බවට පත් කර ගැනීමෙන් පසුවය. නිර්නාමික භාවිතය සඳහා වර්තමානයේ සංකේතය බවට ගයි ෆොක්ස් වෙස් මුහුණ පත් වන්නේ එසේය.

විසි එක්වෙනි ශත වර්ෂය ආරම්භ වන්නේ, එතෙක් සාමුහික භාවයෙන් තොරව ජීවත්වීමට නොහැකිව සිටි මානවයා, හෝමෝ සේපියන්ස් සේපියන්ස් අයිසොලේටෙඩ් හෙවත් හුදකලා මානවයකු බවට පත් කරමිනි. තොරතුරු තාක්ෂණය සහ පරිගණක භාවිතය සමග පුද්ගලික පරිගණකවේදය වෙත සමාජයක් ලෙස ගමන් කිරීම හේතුවෙන් සියලු මානව සම්බන්ධතා අයිසොලේටෙඩ් හෙවත් හුදකලාවේ සිට මෙහෙයවන තත්ත්වයක් කරා විකාශනය වීම සිදුවිය. මේ හේතුවෙන් සිය ආදරය, විරහව, විරෝධය ආදී සියල්ල විද්‍යුත් තිරයකින් තොරව ප්‍රකාශ කළ නොහැකි පරපුරක් බිහි වූ අතර, ඔවුන් අතරින් බිහිවූ දඩබ්බරයෝ නායකත්වයෙන් හෝ එකෙහෙලා සිදු කෙරෙන මෙහයවීමකින් තොරව සයිබර් භූමියේ අමුතු අමුතු විස්කම් පෑමට පටන් ගත්තේය. මේ සඳහා වූ මෑත උදාහරණයක් වන්නේ, ලෝකයේ ප්‍රසිද්ධ හැකර් සමූහයක් වන ඇනොනිමස්ලාගේ (Anonymous) ගොදුරක් බවට, ව්‍යාපාරික සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයකු වන එලෝන් මස්ක් පත්වීමය. ලෝක බිලියනපති ලැයිස්තුවේ දෙවැනියා වන මස්ගේ පුද්ගලික ගමන් සියල්ලම එක් හැකර් තරුණයකු ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔහු එක්තරා අන්දමක පැහැරගැනීමකට ලක්ව තිබෙන බව සඳහන් කළ හැකිය. එම තරුණයාගේ මෙම ක්‍රියාකාරම් සිය ආරක්ෂාවට තර්ජනයක් බැවින්, වහාම එම කටයුත්තෙන් ඉවත්වන ලෙස දන්වන ලද එලෝන් මස්ක්, ඒ සඳහා ඩොලර් කිහිපයක් ලබාදීම සඳහා ද යෝජනා කළත්, එම ගතමනාව තවත් වැඩි කර සහ එලෝන් මස්ක් හිමිකාරීත්වය දරන ටෙස්ලා සමාගමේ රැකියාවක් යන කොන්දේසි ඉදිරිපත් කරමින්, තරුණ හැකර්වරයා සිය බ්ලැක්මේල් ක්‍රියාන්විතය දිගින් දිගටම පවත්වාගෙන යමින් සිටියි. මෙසේ ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලික චරිත සහ සමාගම් වෙත තර්ජනය කරමින්, කප්පම් ලබා ගන්නා හැකර්වරු සේම, පාලක පන්තිය සඳහා විරෝධතා දක්වන හැකර් පිරිස් ද බිහිවී තිබේ.

ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දියත්ව සිටින ව්‍යාපාරය සමග ඒ සඳහා අනන්‍යවූ සයිබර් පියවර කිහිපයක් ද ආරම්භ වී ඇති අතර, විරෝධතාකරුවන්ගේ පාඨයක් වන අයථා ඉපැයීම් සම්බන්ධයෙන් සෙවීම සඳහා ඇනොනිමස් හැකරුන් සිය සේවය ලබාදීමට ඉදිරිපත්ව සිටිනා බව පසුගිය දිනවල වාර්තා විය.

ඇනොනිමස් හෙවත් නිර්නාමිකයන්ගේ කතාව ආරම්භ වන්නේ 2003 වසරේදීය. නිර්නාමික සමාජ ප්‍රජා වෙබ් අඩවියක් වන 4chan අඩවිය සිය පරිශීලකයන් සඳහා නමක් නොමැතිව එහි සැරිසැරීම සඳහා අවකාශ සලසාදීම, වෙබ් ලෝකයට පමණක් නොව දේශපාලන ලෝකයට ද නව මානයක් විවර කරදෙනු ලැබීය. ආවේගාත්මක යෞවනය වෙනදා සමාජ අවකාශයේ දක්වන විප්ලවීය විරෝධය වෙනුවට සයිබර් අවකාශයේ නමක් නොදන්නා තරුණ ප්‍රජාව සිය විරෝධය දැක්වීම සඳහා පටන් ගනු ලැබුවේ, නායකයකු හෝ දර්ශනයක් ආදී කිසිවක් නොතකා හරිමිනි.

4chan වෙබ් පරිශීලකයන් ‘සිරා’ නොවන මට්ටමේ වැටලීම්, බාධා කිරීම ආදිය සිදු කරමින්, විසිළු ස්වරූපයෙන් මුල් කාලයේදී සිදු කරන ලද ක්‍රියාකාරම් පසුව ඇස් රතු වන විසිළු දක්වා දුරදිග ගියේය. ඒ අනුව එකිනෙකාගේ පුද්ගලික ගිණුම් ආදියට රිංගා, අනවශ්‍ය පරිදි පෞද්ගලික ජීවිත නිරාවරණය, දෙවෙනි වටයේදී සිදුවිය. අවසානයේදී, ඔවුහු සමාජ හෝ දේශපාලන අරමුණු වටා කැරකෙන්නට පටන් ගත්හ.

2012 වසරේදී දී ටයිම් සඟරාව ලොව වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගෙන් කෙනකු ලෙස ‘නිර්නාමිකයා’ නම් කළේය. ඊට පෙර වසරේදී ටියුනිසායාවෙන් ආරම්භ වූ ආරබි වසන්තය සඳහා නිර්නාමිකයෝ සහ සමාජ මාධ්‍ය සිදු කරන ලද මෙහෙවර මේ සඳහා හේතු පාදක වන්නට ඇත.

Arab Spring හෙවත් ආරාබි වසන්තය යන යෙදුම, මුල් වරට භාවිත කරන ලද්දේ, එක්සත් ජනපදයේ, ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාක් ලින්ච්ය. ඔහුගේ විවරණය අනුව එතෙක් කැකෑරෙමින් තිබූ ආරාබිකරයේ අසහනය ටියුනීසියාවේ බෙන් අලිගේ පාලනය පුපුරුවා හරිමින්, සයිබර් අවකාශයේ දේශපාලනය ද පදමට මුසු කර ගනිමින් නව ලෝකයක් සඳහා ඉඩ විවර කළේය.

26 හැවිරදි තරුණ වීදි වෙළෙන්දකු වූ මොහමඩ් බෝවූසීසි, 2010 දෙසැම්බර් 17 වැනිදා ටියුනීසියාවේ විදීයකදී ප්‍රසිද්ධියේ ගිනි තබා ගන්නා ලද්දේ, නගර සභාවේ දූෂිත නිලධාරීන් තමන්ට දිගින් දිගටම අල්ලස් ඉල්ලා කළ හිරිහැර හා පොලිසියේ අඩන්තේට්ටම් සඳහා විරෝධය පෑමක් ලෙසය. තදබල ලෙස ජීවන අවදානමකට ලක්වූ බෝවූසීසි, රෝහල්ගත කිරීමෙන් පසු, 2011 ජනවාරි 4 වැනිදා මියයෑමත් සමග, ටියුනීසියාවේ විදි දිගේ දෝරේ ගලා ගිය විරෝධතා ලෝකයට ගලා ගියේ, එතෙක් පැවති මාධ්‍ය ඔස්සේ නොව, සමාජ මාධ්‍ය ඔස්සේය.

බිහිසුණු ආකාරයෙන් ‘මහ පාර’ සමග හරිහරියට, බෙන් අලිගේ පාලනයට එරෙහිව, සමාජ මාධ්‍ය විරෝධය දැඩි වූ අතර එය නිර්නාමික කලබගෑනියක් නොව, එක්සත් ජනපද න්‍යායය පත්‍රය සඳහා සිදු කළ පෙළ ගැසීමක් බව කලක් යත්ම ලෝකයා අවබෝධ කර ගත්තේය. වසර 25කට ආසන්න කාලයක් රට පාලනය කළ අලිගේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය රැලිය නම් පහක්ද තහනම් කරමින්, එක්සත් ජනපද හිතවාදී එන්නඩා ව්‍යාපාරය ටියුනීසියාවේ බලය, 2011 ඔක්තෝබරයේ පැවති මැතිවරණයෙන් ලබාගැනීම සමග, සිය අත්හදා බැලීම අඛණ්ඩව, අරාබිය මධ්‍යයේ සිදු කිරීමට එක්සත් ජනපදය තීරණය කළේය. ජෝර්දානය, කුවේට්, ඊජිප්තුව, ඇල්ජීරියාව, යේමනය, බහරේන් හා සිරියාව සිසාරා ව්‍යාප්ත වූ මේ රැල්ල, යම් අසහනයක්, ගිනි පුළිඟුවක් සේ ගෙන එක්සත් ජනපද අභිප්‍රාය සඳහා එය ගිනි ජාලාවක් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත කිරීම දක්වා ක්‍රියාදාමයක් බවට පත්විය.

මහ පාරේ විරෝධයට එකතු වෙන සයිබර් උද්යෝගය ඇනොනිමස්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ නමක්, ගමක් නොමැති හැකර්වරුන්ගේ ක්‍රියාකාරීත්වය අද වන විට ලෝක දේශපාලන, සමාජ චලිතය සඳහා දැනෙන දායකත්වයක් ලබාදෙමින් සිටින බව කිව හැකිය. ස්නොඩන්, ජුලියන් අසාන්ජ් වැනි නමක් දන්නා සමහර සයිබර් හැකරුන්, මුදාහරින ලද රහස් කන්දරාව ලෝකයේ දිග පළල අලුතන් මනින තත්ත්වයක් කරා ළඟා කරවිය. විකිලික්ස් කියන්නේ නවීන පුස්තකාලයක්. මේ පුස්තකාලය පරිශීලනය කරන්නන්ට අප ජීවත්වන ලෝකයේ සැබෑ ස්වරූපය වටහාගන්න පුළුවන්. දැන් අපි සුපිරි රාජ්‍ය බලයට එරෙහිව වෛරසයක් වගේ ක්‍රියා කරනවා. මේ ලෝකය මීට වඩා සාධාරණ තැනක් වෙනවා දකින්න කැමති මිනිස්සු අපි සමග එකතු වී වැඩ කරනවා. බොහොමයක් රාජ්‍යයන් අපිව ද්‍රෝහීන් විදිහට හඳුන්වනවා. ඒත් අපි ද්‍රෝහීන් නෙවෙයි. අපි අපේ හෙළිදරවු කරන්නේ මාධ්‍ය වෙතට විතරයි. ඒ කියන්නේ ජනතාවට. ඒක ජනතාවගේ අයිතියක් යනුවෙන් පවසන ජුලියස් අසන්ජ් සිය ගවේෂණය සඳහා පදනම කර ගනු ලබන්නේ හැකර් ක්‍රමවේදයය. ඔස්ටේ්‍රලියානු ජාතික ජුලියස් අසන්ජ්, ගවේෂණ හැකර් සංස්කෘතියේ නියමුවා ලෙස හැඳින්විය හැකිය. ඉරාක යුද සමයේදී සහ පසුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හුවමාරු කරන ලද කේබල් පණිවිඩ හැකර් ක්‍රමවේදයෙන් ලෝකයට හෙළි කරන ලද ඔහු, 2006 වසරේ ආරම්භ කරන ලද ‘විකිලික්ස්’ වෙබ් අඩවිය ඔස්සේ, රහස්‍ය කේබල් පණිවිඩ මිලියන 11ක් පමණ ඔහුගේ නායකත්වය යටතේ ලෝකය මුදා හැර ඇති අතර, එය එක්සත් ජනපදය සහ යුරෝපයේ මිලිටරි යාන්ත්‍රණය දෙදරවා හරින තරම් ප්‍රබලත්වයක් කරා යොමුව තිබුණි.

එසේම එක්සත් ජනපදය විෂයෙහි ප්‍රබල ආකාරයෙන් හැකර් ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය වන ලද්දේ, ජනාධිපති ට්‍රම්ප් සමයේදීය. එසේම පසුගිය එක්සත් ජනපද ජනාධිපතිවරණ සමයේදී ද හැකර්වරු සිය බලය එළිපිටම ප්‍රදර්ශනය කරමින්, දෙපැත්තටම අභියෝග එල්ල කළහ. මෑතදීම හැකර්ලා සිය ශක්තිය පෙන්වන ලද්දේ, හැකර් සාමූහිකය විසින්Slava Ukraini” #OpRussia ඇතුළු හැෂ් ටැග් සහ සටන් පාඨ කිහිපයක් එකම් කරමින්, යුක්රේන් ධජයේ පැහැය රුසියානු රාජ්‍ය, බැංකු සහ මාධ්‍ය වෙබ් අඩවි ගණනාවක් වෙත මුදාහළේය.

අවම වශයෙන් රුසියානු සහ බෙලරුසියානු වෙබ් ඉලක්ක 2,500 ක් සඳහා මෙම නිර්නාමිකයන් ප්‍රහාර එල්ල කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ හැකර් දේශපාලනයේ සහ ඔවුන්ගේ සමාජ භාවිතයේ මතුපිට කතාවකි. එය බැලූබැල්මට අරගලකාරිය. සීමා විරහිතව අපක්ෂපාතීය. අතිශය සාධාරණවාදීය, එසේ වුවත් හැකර් යන්නම හොරකම සඳහා වෙනත් වචනයක් බව කිව යුතුය.

හැකර්වරයකු යනු පරිගණකයක් හෝ වෙනත් ඊට සමාන තාක්ෂණික උපකරණයක් භාවිතා කරමින් තමාට අවසර නොමැති දත්ත හෝ ලිපිගොනුවලට ඇතුළු වීම සඳහා හැකියාව සහිත අයෙකි. එය නියත ලෙසම අනවසර අතුල්වීමකි.

මේ හේතුවෙන් හැකර් වර්ගීකරණයකට ලක් කරමින්, ඔවුන් හඳුනා ගැනීම, මූලික සයිබර් අපරාධ හිදී දක්නට ලැබේ.

  1. ඇමෙචර් Amateurs – ආධුනික තත්ත්වයේ ලා සැලකෙන හැකර් කාණ්ඩය මේ නම් වේ. ඔවුන් මූලික මෙවලම් ආශ්‍රිතව හෙවත් අදාළ වෙබ් අඩවි උපාංග භාවිතයෙන් හැකර් කටයුතු සිදු කරනු ලබයි.
  2. හැකර්ස් Hackers – බාහිර පරිගණකයකට හෝ යම් ජාලයකට අනවසරයෙන් ඇතුළු වී එය විඩාපත් කිරීම, අක්‍රීය කිරීම මොවුන්ගේ සිරිතය. සිදු කරන ප්‍රහාර හැඩය අනුව වයිට් හැට් හැකර්, ග්‍රේ හැට් හැකර් සහ බ්ලැක් හැට් හැකර් ලෙස මොවුන් වර්ග වේ. සංවිධානගත හැකර්ස් Organized Hackers – දේශපාලන සහ සමාජ අභිප්‍රායන් සතු සංවිධානය නොවූ හෝ සංවිධාන ගත වූ පිරිස්ය. බුද්ධි සේවා, දේශපාලන පක්ෂ, ත්‍රස්තවාදී කණ්ඩායම්, ආදිය මෙම ගණයට අයත් හැකර් ක්‍රියාකාරකම් හි නිරතවන අතර, සමහර සයිබර් අපරාධ කල්ලි ද ඒ සඳහා යොමුව තිබේ.
  3. සයිබර් අපරාධකරුවන් Cyber Criminals – මෙය අපරාධමය අපේක්ෂාවන් සහිත හැකර් භාවිතයක් වේ. මූල්‍යමය වශයෙන් බැංකු ආදී ආයතන හැකර් කිරීම. එසේම කොන්ත්‍රාත්තුවක් අනුව යම් ආයතනයක වෙබ් අඩවි, දත්ත සඳහා පහරදීම දත්ත පැහැර ගැනීම, ගිණුම් බාධා කිරීම, ආදිය මේ ගණයට අයත්වේ.
  4. හැක්ටිවිටිස් Hacktivists – දේශපාලන සහ සමාජ ආවරණ මූලික කරගත් ක්‍රියාකාරීන් වේ. දේශපාලකයන්ගේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්, ගනුදෙනු, රහසිගත ජීවිත ආදිය හෙළිදරව් කිරීම සිදු කරයි. මෙහි සමහර කාණ්ඩ ඒ පිළිබඳව දත්ත ලබාගෙන, ඒවා හෙළිදරව් කරන බව කියා කප්පම් ලබා ගැනීම ද සිදු කරයි.
  5. රාජ්‍ය අනුග්‍රාහක State-sponsored – බුද්ධි අංශ සහ මිලිටරි මූලිකත්වය ඇති රජය මෙහෙයවන හැකර් කණ්ඩායම් මේ ලෙස හැඳින්වේ. රාජ්‍ය සයිබර් පද්ධතියේ ආරක්ෂාව, රජයට එරෙහි හැකරුන් හඳුනාගැනීම සහ දඩයම් කිරීම මෙහි කාර්යය වේ.

මේ හැකරුන්ගේ ලෝකයේ මූලික හැඩතලයන්ය. ඔවුහු නව ක්‍රමවේද ඔස්සේ සිය අරගලය, කුමන්ත්‍රණය දියත් කරන බව කිව හැකිය. පසුගියදා ලෝකයේ ප්‍රබලම ඇනොනිමස්ලා පිරිසක්, ශ්‍රී ලංකාවේ පවතින විරෝධතා ව්‍යපාරයට සහයෝගය ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුරෙන් වහාම ඉල්ලා අස්නොවුනහොත්, මෙම ජාත්‍යන්තර හැකරුන් කණ්ඩායම ලෙස සඳහන් පිරිස ප්‍රකාශ කර ඇත්තේ, තමන් දින දාහතරක් ඒ සඳහා කල් ලබාදෙන බවත් එසේ නොවන්නේ නම් සයිබර් යුද්ධයක් සඳහා තමන් පෙළ ගැසෙන බවත්ය.

● මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment