මහ පුටු දෙකේ බල අරගලය සුඩානය

710

සුඩානයේ උද්ගත වී ඇති සිවිල් යුද්ධය පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍යයන්හි ප්‍රමුඛ පුවත වී තිබුණි. එරට අගනුවර වූ කාටූම් ඇතුළුව රට පුරාම සටන් ඇවිළී තිබේ. හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගියදා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සලකා බැලීම හේතුවෙන් එරට පැරා මිලිටරි නොහොත් අතුරු හමුදාවක්, රජයේ හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේ ය. බොහෝ විට සිවිල් යුද්ධයකදී රජයේ හමුදාවන්ට සටන් කිරීමට සිදුවන්නේ විපක්ෂ කැරලිකරුවන් සමඟය. නමුත් සුඩානයේ සටන් ඇවිළී ඇත්තේ රජයේ බලගතු හමුදා පාර්ශ්වයන් දෙකක් අතර වීම විශේෂත්වයකි. මෙම හමුදා පාර්ශ්ව දෙකට නායකත්වය දෙන්නේ එරට මිලිටරි පාලනයේ නායකයා සහ උපනායකයාය. ජනරාල්වරුන් දෙදෙනාගේ බල අරගලය හේතුවෙන් ලිපිය ලියන මොහොත වන විට සිවිල් වැසියන් 264ක් ඇතුළුව පුද්ගලයන් 420කට අධික පිරිසක් ගැටුමෙන් මියගොස් ඇත. 3,700කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මේ වනවිට සුඩාන වැසියන් දහස් ගණනක් සිය නිවෙස් අත්හැර කාටූම් නගරයෙන් පළා ගොස් ඇත.

● සුඩානය කැබලි වීම

1980 දශකයේ සිටම සුඩානයේ උතුරු හා දකුණු කොටස්වල වැසියෝ එකිනෙකාට එරෙහිව සටන් කළහ. සිවිල් යුද්ධයක ස්වරූපයෙන් දියත් වූ මේ සටන්වලට මූලික හේතුව මෙකී ජන කණ්ඩායම් අතර ඇති ආගමික හා ජනවාර්ගික විවිධත්වයයි. 2011ට පෙර තිබූ පැරණි සුඩානයේ උතුරු කොටස සමන්විත වූයේ ආරාබි මුස්ලිම් ජන කොටස්වලිනි. නමුත් දකුණු කලාපයේ ජීවත් වූයේ කළු ජාතික ක්‍රිස්තු භක්තිකයන් හා සාම්ප්‍රදායික අප්‍රිකානු ආගම් අදහන්නන් ය. දකුණු සුඩානයේ බලය අල්ලා ගත් සුඩාන මහජන විමුක්ති හමුදාව (Sudan Peoplezs Liberation Army) ප්‍රධාන වශයෙන් සමන්විත වූයේ ක්‍රිස්තු භක්තිකයන්ගෙනි. සුඩාන හමුදාව හා දකුණු සුඩානයේ බෙදුම්වාදී හමුදා කණ්ඩායම් අතර තිබූ සිවිල් යුද්ධය දශක තුනක් තිස්සේ පැවතුණි. මෙම විනාශකාරී යුද්ධයෙන් ජීවිත මිලියන දෙකකට වඩා විනාශ වී ඇත. ජනතාවගෙන් මිලියනයක් පමණ අවතැන් විය. ඉන් බොහෝ පිරිසක් ලොව පුරා සරණාගතයන් ලෙස ජීවත් වෙති.

මෙම සිවිල් යුද්ධයට තිත තබමින් වර්ෂ 2005 දී සුඩාන රජය හා සුඩාන මහජන විමුක්ති හමුදාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණි. අවසානයේ දකුණු සුඩානය අප්‍රිකානු මහාද්වීපයේ 55 වන රට බවට පත්විය. උතුරු කොටස සුඩානය නමින් තවදුරටත් කාටූම්හි රජය යටතේ පාලනය විය. සුඩානය කැබලි දෙකකට කැඩීමේ චෝදනාව එක්සත් ජාතීන්ට හා ඇමෙරිකාවට එල්ල වන්නේ මෙකී සාම ප්‍රයත්නය හේතුවෙනි. නමුත් එකිනෙකා කෙරෙහි වෛරයෙන් පසුවන ආගමික කණ්ඩායම් අතර ඇති වූ නිමා නොවන සටනකින් විනාශවන මිලියන ගණන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහාත් ලොව බලවත් රටවල්වලට නිරන්තරවම බලපාන සරණාගත ගැටලුවට පිළිතුරක් වශයෙනුත් මින් එහා ගිය ප්‍රායෝගික විසඳුමක් තිබුණා දැයි සැක සහිතය.

1952 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් පසුව සුඩාන ජනාධිපති ධූරයට පත්වූ සියලු දෙනා සිවිල් සමාජ පසුබිමක් ඇති දේශපාලනඥයෝ වූහ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත් වූ අගමැතිවරයකු සහිත ආණ්ඩුවක් විසින් සුඩානය පාලනය කරන ලදී. 1989 සිට 2019 දක්වා වසර තිහක් එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ඕමාර් අල් බෂීර්ය. ඔහු සුඩාන හමුදාවේ බ්‍රිගේඩියර් ජනරාල්වරයෙකි. බෂීර්ට පෙර සුඩානය පාලනය කළේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ සදීක් අල් මෙහෙදි අග්‍රාමාත්‍යවරයාය. හමුදා කුමන්ත්‍රණයකින් සුඩානයේ බලය අල්ලා ගත් බෂීර් බලයට පැමිණි වහාම එරට අගමැති ධුරය අහෝසි කළේය. ආණ්ඩුවේ සියලු බලතල තමන් වෙත පවරා ගත්තේය. සුඩානයේ සිවිල් යුද්ධය ආරම්භ වූයේ බෂීර්ගේ යුගයේදීය. දකුණු සුඩානය වෙන්ව ගියේ ද ඔහුගේ යුගයේදී ය. 2011 දී සුඩානය රටවල් දෙකක් බවට පත්වීමෙන් පසුව ද උතුරේ කාටුම් අගනුවර කරගත් සුඩානය නම් රාජ්‍යයේ පාලකයා ලෙස තවදුරටත් වැජඹීමට බෂීර්ට හැකි විය.

● ජනරාල් බුහාන් හා ජනරාල් දගාලෝ

මෙවර සටන් ඇවිලී ඇත්තේ සුඩානය හා දකුණු සුඩානය අතර නොවේ. රජයේ හමුදාව හා රජයටම අයත් ප්‍රබල අතුරු හමුදා බළකාය වූ Rapid Support Forces (RSF) අතරය. රජයේ හමුදාවට නායකත්වය දෙන්නේ ජනරාල් ආබිදෙල් ෆටේ අල් බුහාන් ය. ඔහු සුඩානයේ හමුදාපතිවරයා වන අතර එරට මිලිටරි පාලනයේ නායකයා ලෙස ද කටයුතු කරයි. අතුරු හමුදාවට නායකත්වය ලබා දෙන්නේ ජනරාල් මොහමඩ් හම්දාන් දගාලෝ ය. ඔහු සුඩාන හමුදා රජයේ දෙවැනියා ලෙස කටයුතු කරයි. මේ දෙදෙනාම විශාල හමුදා බලයක් සහිත ජනරාල්වරුන් දෙදෙනෙකි. දෙදෙනාම අඩියක්වත් පසුපසට ගැනීමට අකමැතිය. ජනාධිපති බුහාන්ගේ අණසක යටතේ ඇති රජයේ හමුදාවන්ට නාවික හා ගුවන් හමුදා බලය හිමිය. නමුත් දගාලෝගේ RSF පැරා මිලිටරි කණ්ඩායම ද සාමාජිකයන් ලක්ෂයක පමණ වන පාබල හමුදාවකින් සමන්විත බව පැවසේ.

ජනරාල් බුහාන්ගේ නම මුලින්ම කරළියට එන්නේ 2015 දී ය. ඉරාන හිතවාදී හූති කැරළිකරුවන් සමඟ සටන් කරන යේමන හමුදාවන්ට සහයෝගය ලබාදීම සඳහා 2015 දී සෞදි අරාබියේ නායකත්වයෙන් යුතු විදේශ හමුදාවක් යේමනයට යවන ලදී. මෙම විදේශ හමුදාව සෞදියට අමතරව සුඩානය, කුවේටය, ඊජිප්තුව, ජෝර්දානය, මොරෝකෝව හා මැලේසියාව ආදී රටවල්වල සාමාජිකයන්ගෙන් සමන්විත විය. එලෙස යේමනයට යවන ලද සුඩාන හමුදාවන්ගේ අණදෙන්නා වූයේ ජනරාල් බුහාන් ය. මේ කාලයේ ජනරාල් දගාලෝගේ පැරා මිලිටරි හමුදාව ද ජනරාල් බුහාන්ගේ සහයෝගයට යේමනයේ සටන් කරන ලදී. මේ නිසාම ජනරාල්වරුන් දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ගොඩනැඟුණු බව පැවසේ.

වර්ෂ 2019 දී ජනාධිපති බෂීර් විසින් ජනරාල් බුහාන්ව හමුදාපතිවරයා ලෙස පත්කරන ලදී. කෙසේ නමුත් බලය අල්ලා ගැනීම සඳහා තමන් කළ දේම තමන්ගේ හමුදාපතිවරයා ද කරනු ඇතැයි එවකට ජනාධිපතිවරයා වූ බෂීර් සැකයෙන් පසු විය. ඒ නිසාම බලවත් තනි හමුදාවක් පිළිබඳව ඔහුගේ මනාපයක් නොවුණි. බෂීර් විසින් දගාලෝගේ මූලිකත්වයෙන් ප්‍රබල අතුරු හමුදාවක් ගොඩනැඟුවේ එබැවිනි. ජනාධිපතිවරයාගේ වැඩි විශ්වාසය තිබුණේ රජයේ හමුදා පිළිබඳව නොව දගාලෝගේ අතුරු හමුදාව කෙරෙහි ය. නමුත් යේමනයේදී ඇති වූ මිත්‍රත්වය මත දගාලෝ පසුව බුහාන් හා එක්විය. දෙදෙනා එක්ව තමන්ගේ සේනාධිනායකයා වූ ජනාධිපති බෂීර් බලයෙන් පහකරන ලදී. දගාලෝගේ සහයෝගය මත බුහාන් සුඩානයේ මුල් පුටුවට පත්විය. ඉන් පසුව රටේ ජනාධිපතිවරයා ලෙස තමන්වම නම් කර ගන්නා ලදී. දගාලෝ ඉබේම නව මිලිටරි ජුන්ටාවේ උපනායකයා බවට පත්විය.

බලයට පත්වීමෙන් පසු ජනරාල් බෂීර්ට තමන්ගේ මිලිටරි පාලනයට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය විය. ඔහු ඇමෙරිකාව, ඊජිප්තුව, සෞදි අරාබිය හා ඊශ්‍රායලය ආදී රටවල්වල රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවිය. තවදුරටත් මිලිටරි නායකයකු ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට ඇති අපහසුතාවය තේරුම් ගත්තේය. ඒ නිසාම සුඩානය තුළ ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු විය. එහි මූලික පියවරක් වශයෙන් අන්තර්කාලීන ස්වෛරී කවුන්සලයක් (Transitional Sovereignty Council) පිහිටු වූයේ ය. මෙම කවුන්සලය සිවිල් දේශපාලනඥයන්ගෙන් ද මිලිටරි ජුන්ටාවේ නායකයන්ගෙන් ද සමන්විත විය. කවුන්සලයේ සභාපතිවරයා වූයේ ජනරාල් බුහාන්මය. ඔහුට වුවමනා වූයේ තමන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස ඉස්මතු කරගැනීමයි. එකී අන්තර්කාලීන පාලනයේ උපසභාපතිවරයා වූයේ ජනරාල් දගාලෝ ය. මෙම කවුන්සලය ස්ථාපිත කරන ලද්දේ පාලක හමුදා ජුන්ටාව හා විපක්ෂය අතර අත්සන් කරන ලද ගිවිසුමක් අනුව ය. ගිවිසුම අනුව කවුන්සලය විසින් මාස 39ක් සුඩානය පාලනය කළ යුතු විය. එකී මාස 39න් මාස 21ක් හමුදාවට ද ඉතිරි මාස 18 සිවිල් නායකයන්ට ද ලෙස පාලන බලය දෙපාර්ශ්වය අතරේ බෙදා ගෙන තිබුණි. කෙසේ නමුත් බුහාන් විසින් ආරෝපණය කරගත් සිවිල් නායකත්වයේ සළුපිළි 2021 වසරේදී නැවතත් ගැළවී ගියේය. හමුදාවේ පාලන කාලය 2021 නොවැම්බර් මාසයේ අවසාන වීමට නියමිතව තිබුණි. නමුත් ඊට මාසයකට කළින් බුහාන්ගේ ආණ්ඩුව කවුන්සලය විසුරුවා හැරියේය. සිවිල් ක්‍රියාකාරීන් අත්අඩංගුවට හෝ නිවාස අඩස්සියට ගත්තේය.

ජනරාල්වරු දෙදෙනාගේ බල අරගලය

ඉන්පසුව බුහාන් හා දගාලෝ එක්ව සුඩානය පාලනය කළත් දෙදෙනා අතර ඒ තරම් ඇයි හොඳැයියක් නොවුණි. තමන්ට පෙර තිබූ බෂීර්ගේ පාලනයේ සිවිල් නායකයන් තනතුරුවලට බඳවා ගැනීමට බුහාන් කටයුතු කළේය. දගාලෝ මේ ගැන සැක කළේය. කළින් ජනාධිපති බෂීර් විසින් තමන්ව දැඩි සේ විශ්වාස කරද්දී පවා ඔහුගේ පැත්ත නොගෙන ජනරාල් බුහාන්ට සහයෝගය දැක්වීම නිසා බෂීර්ගේ නිලධාරීන් දගාලෝ කෙරෙහි වෛරයෙන් පසුවිය. ඔවුන් කවදා හෝ තමාට පෙරළා පහර දෙන බවට සැකයක් නැත. ජනරාල් බුහාන් තමන්ට මදිපුංචිකම් කරන බව දගාලෝට වැටහී තිබුණි.

සුඩානයේ පාලන බලය බොහෝ විට කේන්ද්‍රගතව ඇත්තේ නයිල් නදිය ආශ්‍රිත ජන කණ්ඩායම්වලට අයත් ප්‍රභූ පවුල් වටාය. කාටූම් අගනුවර යනු මෙකී නයිල්-සුඩාන ශිෂ්ඨාචාරයේ කේන්ද්‍රස්ථානය යි. නමුත් ජනරාල් දගාලෝ සුඩානයේ බටහිරට වන්නට පිහිටි ග්‍රාමීය දාෆූර් කලාපයේ උපන්නෙකි. සුඩාන දේශපාලනයේ ප්‍රභූ පැලැන්තිය දගාලෝ හා ඔහුලේ සෙබළුන් පහත් තත්ත්වයේලා සැළකීය. දගාලෝ යනු බලයක් ලබා නොදිය යුතු “ගොඩේ බයියෙකු” ලෙස සළකා බැහැර කිරීමට ප්‍රභූහු උත්සාහ දැරූහ. නමුත් දගාලෝ මේ සියලු බාධක මැද ජාතික නායකයකු හා දේශපාලනඥයකු ලෙස ඉස්මතුවන්නට උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ. ඔහු තමන්ව හඳුන්වා ගන්නේ පීඩිත ජනතාවගේ නියෝජිතයකු ලෙසය. කළින් තමන් විසින්ම නිරනුකම්පිත ලෙස මර්දනය කළ දාෆූර් කලාපයේ කැරලිකරුවන් සමඟ පවා ඔහු දැන් සබඳතා ගොඩනඟා ගෙන තිබේ. තව ද දගාලෝ පසුගිය කාලය තුළ මහා ධන කුවේරයකු බවට පරිවර්තනය වී ඇත. ඔහුගේ මුදල් රන් ආකර, යකඩ හා වානේ, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රවල ආයෝජනය කර ඇත. ඒ අනුව ජනරාල් දගාලෝ බලය අතින් මෙන්ම ධනය අතින් ද පොහොසත් සුඩාන දේශපාලනයෙන් පහසුවෙන් අතුගා දැමිය නොහැකි චරිතයක් බවට පත්ව ඇත.

● රුසියානු මැදිහත් වීම

ජනරාල්වරුන් දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩුකම් වර්ධනය වෙද්දී දගාලෝගේ අතුරු හමුදාව රජයේ හමුදාවේ කොටසක් බවට පත්කිරීමට ජනරාල් බුහාන් තීරණය කළේය. මීට දගාලෝ කිසිසේත්ම එකඟ නොවීය. පසුව බුහාන් විසින් RSF හමුදාව විසුරුවාහැරීමට නියම කළ අතර එය නිල නොවන කැරළි හමුදාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් දගාලෝට රජයේ හමුදා ශක්තිය ගැන බියක් සැකයක් නැත. පසුගිය අප්‍රේල් 15 වැනි දා දගාලෝගේ අතුරු හමුදා ඒකක සටනට අවතීර්ණ විය. ඔවුන්ගේ අරමුණ සුඩානයේ බලය අල්ලා ගැනීමයි.

සුඩානයේ අද ඇති වී තිබෙන අර්බුදය පිටුපස පුළුල් ගෝලීය බල අරගලයක් පවතින බව සියුම්ව නිරීක්ෂණය කළ හොත් පෙනෙන්නට තිබේ. දගාලෝ දීර්ඝ කාලයක් තිස්සේ කැපී පෙනෙන හමුදා නායකයකු ලෙස කටයුතු කර ඇති නිසා කලාපීය නායකයන් සමඟ ද මනා සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇත. බටහිර හිතවාදී මාධ්‍යයන්ට අනුව දගාලෝ පිටුපස රුසියාව සිටින බව සඳහන් වේ. රුසියානු කුලී හමුදා ඒකකයක් වන වැග්නර් කණ්ඩායම (Wagner Group) දගාලෝගේ හමුදාව සමඟ මෙහෙයුම්වලට සහභාගි වන බව එකී මාධ්‍ය වාර්තා කරයි. නමුත් රුසියාව මෙකී වාර්තා ප්‍රතික්ෂේප කර ඇත. දගාලෝව බලයට පත්කිරීම රුසියාවට වටිනා ආයෝජනයක් වනු ඇතැයි බටහිර මාධ්‍ය පෙන්වා දුන්නත් ඊට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් නොකරයි. කෙසේ නමුත් සුඩානයේ රතු මුහුදට මායිම්ව නාවික කඳවුරක් ඉදිකිරීමේ රුසියානු අභිප්‍රාය නම් බැහැර කළ නොහැක. ඒ හරහා ඉන්දියානු සාගරයට පහසුවෙන් ළඟා වීමට රුසියාවට හැකිය. ජනරාල් දගාලෝ සුඩාන රජයේ දෙවැනියා ලෙස මොස්කව් වෙත ගොස් මේ යෝජනාවට එකඟ වී තිබුණි. ඇමෙරිකාව හා බටහිර කඳවුරට මේ අවස්ථාවේ සුඩානය පිළිබඳව එතරම් උනන්දුවක් නැති වුවත් රතු මුහුදේ නාවික කඳවුරක් ඉදිකිරීම සඳහා වූ රුසියානු අභිප්‍රාය පිළිබඳව ඔවුන් විමසිලිමත් බව පැහැදිලිය.

සටන දිගටම පැවතුණහොත් රට තවදුරටත් බෙදීගොස් දේශපාලන කැලඹීම වඩාත් නරක තත්ත්වයට පත්විය හැකිය. දගාලෝගේ වෙන්ව යෑම හමුවේ ජනාධිපති බුහාන් වැඩි වැඩියෙන් සිවිල් රාජ්‍යතාන්ත්‍රිකයන් පාලනයට එක් කර ගැනීමට උත්සාහ දැරුවත් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැත. එක්සත් ජාතීන් හා ඇමෙරිකානු මැදිහත්වීම මත ජනරාල්වරුන් දෙදෙනා අතර සටන් විරාමයක් ඇති කිරීමට කරන ලද උත්සාහයන් ව්‍යවර්ථ වී ඇත. බොහෝ රටවල් තම රාජ්‍යතාන්ත්‍රිකයන් හා පුරවැසියන් සුඩානයෙන් ඉවත් කරගනිමින් සිටිති. එක් බෙදුම්වාදී සිවිල් යුද්ධයකින් හෙම්බත්ව සිටි සාමාන්‍ය සුඩාන ජනතාව මේ මහ පුටු ගැටුම නිසා කබලෙන් ලිපටම වැටෙනු ඇත.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment