මහ බැංකුවට දේශපාලන බලපෑම් බෑ: පොලී අනුපාතය ඉහළ දමයි

1018

ඔහොම සල්ලි අච්චු ගහන්න එපා කියා මා එදා කීවා

ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ සහාය මට ලැබෙනවා

නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

මහ බැංකුව දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට තමා දැඩිව කි‍්‍රයාකරන බව මහ බැංකුවේ නව අධිපති ලෙස පත්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ඒ සඳහා රජයේ මූල්‍ය ප‍්‍රතිපත්තිවලින් ද බලය ලැබී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

රටේ පවතින මූල්‍ය අර්බුදය කලමනාකරණය කිරීමට මහ බැංකුව පියවර ගන්නා බවත් රටේ මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය නැති කිරීමට දේශපාලන අධිකාරිය පියවර ගත යුතු බවත් හෙතෙම කීවේය.

ඒ අනුව ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩන`ගා ගෙන පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් ලබාගත හැකි යැයි ද ඔහු පැවසීය.

මහ බැංකුවේ නව අධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (08 දා) සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී නව අධිපතිවරයා මෙසේ ද පැවසීය.

වසර දෙකක් තිස්සේ පවතින ආර්ථික අර්බුදය එකවර වෙනස් කළ නොහැකියි. පළමුව සිදුකළ යුත්තේ කඩාවැටෙන ආර්ථිකය නැවැත්වීමට පියවර ගැනීමයි. එහිදී පළමු පියවර ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට මූල්‍ය මණ්ඩලය තීරණය කළා.

ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය සමග වාචික සාකච්ඡුාවක් ලබන 18 වැනිදා පවත්වනවා. ඉන්පසු අපගේ මූල්‍ය ප‍්‍රතිපත්ති සැලසුම් සකස් කර වාර්තාවක් ලබාදෙනවා.

මුදල් ඇමැතිවරයෙක් නොමැතිව වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු සාකච්ඡා පැවැත්විය හැකියි.

නමුත් මුදල් ඇමැති ලෙස අලි සබ්රි මහතා පත්ව සිටිනවා.

ණය ප‍්‍රතිව්‍යුහගතකර ගැනීම සම්බන්ධව කටයුතු කරන දින වකවානු දැන්ම පැවසිය නොහැකියි. ඊට පෙර අප රටේ ඉදිරි ආර්ථික සැලසුම් සකස් කර ලබාදිය යුතුයි.

රටේ මුදල් අච්චු ගැසීමේදී අනවශ්‍ය ලෙස එය නොකරන ලෙස එදා මම ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. නමුත් ඒ මොහොතේ ජනාධිපතිවරයා වෙනත් අයගේ උපදෙස් පිළිගෙන එය ප‍්‍රතික්‍ෂේප කළා යැයි ද ඔහු කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment