මහ බැංකුවේ සල්ලි පිල්ලිය! – 15කගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

360

ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ සුරක්‍ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම මුදල් භාරකාර මණ්ඩලයේ නිලධාරීන් 15 දෙනාගෙන් කොටුව පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

මේ ආකාරයේ මුදල් අතුරුදන්වීමක් වාර්තා වී ඇත්තේ මහ බැංකු ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර රුපියල් ලක්‍ෂ 50 ක මුදල කිසියම් පුද්ගලයකු සොරාගත්තේ ද එසේත් නැත්නම් එම මුදල් නිකුත් කිරීමේදී අතපසුවීමක් සිදුවී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මෙම මුදල් තැන්පත් කර තිබූ මහ බැංකුවේ භූගත තුන්වැනි මහලේ ගබඩා කාමරය අධිආරක්‍ෂිත ආරක්‍ෂක ක්‍රමවේදයන්ට අනුව සකස් කර තිබූ එකක් බව පොලිසිය පවසයි. මෙම මුදල් ගබඩාකර තිබෙන කාමරයට පිටස්තර කිසිවකුටවත් ඇතුළු විය නොහැකි අතර එහි යෑමට හැකියාව ඇත්තේ එම මුදල් භාරකාර මණ්ඩලයේ නිලධාරීන් 15 දෙනාට පමණක් බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ. මේ අතර මුදල් ගබඩාව තිබූ තුන්වැනි මහලේ සී සී ටී වී දර්ශන සියල්ල පොලිසිය විසින් මේ වනවිටත් පරීක්‍ෂා කර ඇත.

රටේ විවිධ බැංකුවලට නිකුත් කරන මුදල් සියල්ල මහ බැංකුවේ තැන්පත් කර තිබෙන අතර අතුරුදන්වී ඇත්තේ එසේ නිකුත් කිරීමට නියමිතව තිබූ මුදල් වලින් රුපියල් ලක්‍ෂ 50 ක මුදලකි.

මෙම මුදල් අතුරුදන්වූ පෙරේදා (11 දා) දිනයේදී පමණක් මහ බැංකුවේ මෙම භූගත මුදල් සුරක්‍ෂිතාගාරයෙන් රුපියල් මිලියන 25 ක මුදලක් නිකුත් කර තිබී ඇති බව ද විමර්ශන වලින් හෙළිවී ඇත.

මෙම මුදල් අංශය භාර ප්‍රධානියා විසින් පෙරේදා දහවල් කොටුව පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබිණි.

මේ අතර මහ බැංකුවෙන් ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම නිකුත් කිරීමට ඇති මුදල් නැවත ගණනය කිරීමක් සිදුකිරීමට මහ බැංකුව කටයුතු කරමින් සිටියි.

කොටුව පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

මහ බැංකුවෙනුත් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් මහ බැංකුව ද වහාම අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඉවට් ප්‍රනාන්දු මහත්මිය ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසුවාය.

කොළඹ 01, මහ බැංකු ප්‍රධාන ගොඩනැඟිල්ලේ මුදල් අධි සුරක්ෂිතාගාරයේ කාමරයක තිබූ රු. ලක්ෂ 50 ක මුදලක් මෙසේ අතුරුදන්ව ඇති බවට මහ බැංකුව කොළඹ කොටුව පොලිසියට පැමිණිලි කර ඇත.

අදාළ මුදල්වල අඩුවක් තිබූ බවට හෙළි වීම නිසා වහා ම පොලිසියට පැමිණිලි කළ බවත් ඊට අමතරව මෙසේ මහ බැංකුව අභ්‍යන්තර පරීක්ෂණ සිදුකරන බවත් ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනිය ප්‍රකාශ කළා ය.

මේ අනුව අදාළ ස්ථානයේ සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම සහ අදාළ අතුරුදන් වූ මුදල් නෝට්ටු මණ්ඩලය සෙවීම සඳහා යළිත් මුදල් ගණනය සිදු කිරීම ඇතුළු අභ්‍යන්තර පරීක්ෂණ කටයුතු දැන් සිදුවෙමින් පවතින බවත් ඇය කියයි.

මහ බැංකු ප්‍රධාන ගොඩනැඟිල්ලේ භූගත කාමරයක තිබූ මුදල් බණ්ඩල අතුරින් මෙසේ එක් මුදල් බණ්ඩලයක් අතුරුදන්ව ඇතැයි එම අංශ භාර ප්‍රධානියා පොලිසියට පැමිණිලි කර ඇති අතර එම මුදල් නෝට්ටු බණ්ඩලය කලින් භාවිත කළ රු. 5000 නෝට්ටුවලින් සමන්විතව තිබී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment