මහ බැංකුව කළ යුතුව තිබුණේ රුපියල මුළුමනින්ම නිදහස් කිරීමයි

2752

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන

මහ බැංකුව කළ යුතුව තිබුණේ ශී‍්‍ර ලංකා රුපියල මුළුමනින්ම නිදහසේ තීරණය වීමට ඉඩදීම බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ඊයේ (08දා* ‘දිවයින’ට කීවේය.

මහ බැංකුව කලක් තිස්සේ ඇමරිකානු ඩොලරයත් රුපියලත් අතර විනිමය අනුපාතය කෘතිම ලෙස රු. 202 ක මට්ටමේ පවත්වාගෙන යෑමේ තීරණයෙන් ඉවත් වීම ඉතාමත් හොඳ තීරණයක් බවද, එහෙත් එම තීරණය ගත් ආකාරය සුදුසු නොවන බවද රුපියල සම්පූර්ණයෙන්ම පාවීමට ඉඩ හැරියා නම් වඩාත්ම සුදුසු බවද විජේවර්ධන මහතා කීවේය.

ඩොලරයක අගය රු. 230 කට නොවැඩි මට්ටමක පවත්වාගෙන යනව කියන එක මහ බැංකුව නොදා හිටිය නම් ඇමෙරිකානු ඩොලරයේ අගය වෙළෙඳපොළේ ඉල්ලූම අනුව තීරණය වන බවද විජේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

මේ ගැන වැඩිදුර කරුණු පැහැදිලි කළ විජේවර්ධන මහතා මෙසේද කීවේය. 2000 වසරේදී අපි මෙවැනි තීන්දුවක් ගත්තා. ඒ අවස්ථාවේදීත් මෙවැනිම විශාල විදේශ අර්බුදයකට අපි මුහුණ දුන්නා. එහිදී මහ බැංකුව සම්පූර්ණයෙන්ම රුපියල පාවෙන්න ඉඩ හැරියා. මම නියෝජ්‍ය අධිපති වුණාට පසුව ඒක කළේ. එවිට රු. 72 ට තිබුණ ඇමරිකානු ඩොලරයේ අගය රු. 95 පමණ දක්වා එකපාරටම පහත වැටුණා. එයින් විදේශ විනිමය සමපේ‍්‍රක්ෂකයන්ගෙ බලාපොරොත්තු හීන කරල දැම්මා. එවිට නැවත ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය ගලාගෙන ආවා. ඒ අනුව සති තුනක් හතරක් ඇතුළත ඇමෙරිකානු ඩොලරයේ අගය රු. 85 ට අඩුවුණා. අඩුවෙලා ඒ මට්ටමේ ස්ථාවර වුණා. අදත් මහ බැංකුව කළ යුතුව තිබුණේ එලෙස රුපියල සම්පූර්ණයෙන්ම පාවෙන්න ඉඩ හැරීමයි. එසේ කළා නම් ඩොලරයේ අගය රු. 270 ට විතර අගයකට වැඩිවෙලා කෙටි කාලයක් තුළ නැවත ඇමෙරිකානු ඩොලරයේ අගය රු. 245 ත් රු. 250 ත් අතර මට්ටමක ස්ථාවර වෙනවා. මහ බැංකුවේ අපේක්ෂා ඉටුවන්නේ එසේ කිරීමෙනුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment