මහ බැංකුව භාරගන්න කබ්රාල් මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

78

මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඊයේ (13 දා) ඉල්ලා අස්විය.

ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිධුරය භාර ගැනීමේ අපේක්‍ෂාවෙන් ඒ මහතා මෙලෙස මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ පෙරවරුවේ භාර දුන්නේය.

අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසුගිය වසරේ (2020) පැවැති මහ මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්ව රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගත්තේය.

කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අසුන සඳහා හිටපු මන්ත‍්‍රීවරයකු වූ ජයන්ත කැටගොඩ මහතා පත් කෙරෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා ඊයේ තහවුරු කළේය.

ජයන්ත කැටගොඩ මහතා මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පසුගිය ජුලි මස 06 වැනිදා සිය ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

කැටගොඩ මහතා 2000 වසරේදී කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් ප‍්‍රථමයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 2001 වසරේදී නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු 2011 වසරේදී මෙන්ම 2020 වසරේදීද ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්ව ඇත.

වත්මන් මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඞී. ලක්‍ෂ්මන් මහතා අද (14 දා) ධුරයෙන් ඉල්ලා අස්වූ පසු අජිත් නිවාඞ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට පත්වීමට නියමිත ය.

කබ්රාල් මහතා 2006 වසරේ සිට 2015 වසර තෙක් මහ බැංකු අධිපතිධුරය හෙබවා තිබේ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment