මහ බැංකුව රුපියල පා කළේ කිසිම පාලනයකින් තොරව – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

385

පසුගිය මාර්තු මාසයේ දී මහ බැංකුව විසින් රුපියල පා කළේ කිසිදු පාලනයකින් තොරව බව වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (15) අනාවරණය කළේය.

එසේම එම අවස්ථාවේ රුපියලේ අගය පා කිරීමට කටයුතු කළේ මුදල් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

ඊයේ (15දා) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති පශ්චාත් අයවැය සමාලෝචන සම්මන්ත්‍රණයකදී තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ ද පැවසීය.

“පහුගිය කාලය තුළ රට ආර්ථික අර්බුදයකට යොමුවන බව පැහැදිලි වුණා. මේ අවුරුද්ද මුල ඉඳන්ම අපේ ණය ගෙවීමේ හැකියාව අඩුවෙලා, අස්ථාවර, සස්ටේනබල් නැති තත්ත්වයකට පත්වුණා කියන එක හැමෝම දන්න කාරණයක්. අපිට ණය දීපු පාර්ශ්ව පවා ඒ වෙලාවේ ඉඳන් හිටියේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ලැහැස්ති වෙලා. ණය කමිටු ලැහැස්ති කරගෙන සූදානමකුත් තිබුණා, අපි මේක නිවේදනය කරන්නත් කලින් ඉඳලා.

ඒ වෙලාවේ අපේ සංචිත අඩු වීගෙන යනකොට, ජනවාරි මාසේ අපේ ස්වෛරීත්ව බැඳුම්කර මිලියන 500ක් ගෙවන කොට අපේ සංචිත තිබ්බේ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්ත්වයක. රේටිංග් හොඳටම අඩු වෙලා, අපේ ණය දීපු අය සූදානම්ව හිටියේ පැහැදිලිවම ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ණය ගෙවන්න හැකියාවක් නැහැ කියන එක. ඒ අනුව ණය ගෙවීමට හැකියාවක් නොමැතිව තියෙද්දී මහ බැංකුවෙන් 203ට රුපියලේ අගය පවත්වාගෙන ගියා. සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ පෙට්‍රල් ඩීසල්වලට වියදම් කරලා.

එතකොට එහෙම බැරි බව තේරුණාම තමයි මාර්තු මාසේ පළවෙනි පියවර ගත්තේ, රුපියල් පා කරලා ඇරියා කිසිම කන්ට්‍රෝල් එකක් නැතිව. මුදල් මණ්ඩලයේත් අනුමැතිය නැතිව රුපියල පා කරලා ඇරියා. එතැනින් තමයි එකපාරටම 203 ඉඳලා 365, 380 යනකං ගියේ.”

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment