මහ බැංකු අධිපතිගේ නිවේදනයට එරෙහිව පෙත්සමක්

211

අප රට බංකොලොත් වී ඇති බවටත් එම නිසා විදේශ රටවලින් ලබාගෙන ඇති ශ්‍රවණීය ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය අප්‍රේල් 12 වැනිදා නිකුත් කළ නිවේදනය නිසි බලයකින් තොරව නිකුත් කළ නීති විරෝධී නිවේදනයක් බවට නිගමනය කරන ලෙස ඉල්ලා පාහියංගල ආනන්ද සාගර හිමියන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරියකු වන රවී කුමුදෙශ් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ ඉඳුනිල් විජේසිංහ මෙනවිය මගින් ගොනු කර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු මුදල් ඇමැති අලි සබ්රි, මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, මහ බැංකු මූල්‍ය මණ්ඩලය සහ නීතිපතිවරයා නම් කර ඇත.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ විනිසුරු මඬුල්ලක් හමුවේදී අද (10 දා) සලකා බැලීමට නියමිතය. රට බංකොලොත් බවට තීරණය කිරීම සහ එකී නිවේදනය නිකුත් කිරීම සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව බවට අනාවරණය වී ඇති බැවින් එලෙස කටයුතු කළ වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය ත්‍රියාමාර්ග ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසටද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

වගඋත්තරකරුවන්ගේ එම ක්‍රියා කලාපය නිසා තමන් ඇතුළු රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව නිගමනය කරන ලෙසත් එම මූලික අයිතිවාසිකම් නැවත ස්ථාපනය වන ආකාරයට වෙනත් ක්‍රියාමාර්ග ගත හැකිනම් එලෙස කටයුතු කිරීම වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලා ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන දහයයි දශම හතක (10.7) ගලාඒම් (ලැබීම්) නිශ්චිතව තිබියදී ඉදිරියේදී කල් පිරෙන විදේශීය ණය නොගෙවා ණය පැහැර හැරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බවට සිදුකළ ප්‍රකාශය අතිශයින් මතභේදාත්මක බවත් ඒ මගින් ශ්‍රී ලංකාවේ පිරිසිදු ණය ගෙවීමේ ඉතිහාසය පලුදු වී ලංකා රජයට දැවැන්ත මූල්‍ය හානියක් සිදුවී ඇති බවත් පෙත්සම්කරුවන් ඒ මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ. ජේ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment